සෑහෙන්න කාලෙකට ඉහත. මතකය සුන්දර වුණාට හැබැයි ඒ දවස් කීපය නම්..?
2012 අවුරුද්දෙ.. යුද්ධය ඉවරවුණත් හරි නිසා මටයි මගේ යාළුවෙක්ටයි අවස්ථාවක් ලැබුණා වයිල්ඩ් ලයිෆ් රිසර්ච් කරන අයියල කට්ටියක් එක්ක කෝකිලායි යන්න. ගිහිල්ලා හිටං එහේ දවස් 3ක් ඉඳලා ඊට පස්සෙ චුන්ඩිකුලම් දවස් 3-4ක් ඉන්නයි තිබ්බෙ. ඇත්තටම අපිට තිබ්බෙ වැඩේට සයිඩ් සපෝට් එකක් දීගෙන කාලා බීලා ඉන්න. ඒත් ගියාට පස්සෙ ඉතින් දන්නෙ නැද්ද, කොල්ලො නිසා.. හතර දිග්බාගෙ කරක් ගහන්නමයිනෙ හිත.
කොහොම කොහොමින් හරි ගමන යෙදිලා තිබුණෙ මේ වගේම ජුනි අවසානයක, ඒ පැත්තට කාස්ටකේ පටන් ගන්න කාලෙ. ගිහිල්ලා ගොඩ බැස්සත් හරි පොල්ලෙන් ගහන්න වගේ අව්ව. අර පරිසරයෙ තෙත ගතිය ටිකක් ඉතුරු වෙලා තිබ්බ නිසා මිසක් නැත්නම්.. වසලා හමාරයි.
ම්.. මේ ගමනම ඇත්තටම හරිම රසවත් අත්දැකීම් ගොන්නක්. ඒත් මම කියන්න කළ්පනා කළේ නම් අපි කෝකිලායිවලින් පිටත්වෙලා චුන්ඩිකුලම් කැලේ, බංගලා චමරියෙ ගතකරපු දවස් ටිකේ අත්දැකීම් ගැන. ඒකත්.. ගොඩක් දුරට කාපු කෑම ගැන තමයි!
ඇත්තටම බංගලාවෙ උයන්න කියලා වෙනමම කෙනෙක් හිටියෙ නෑ. සියලු වැඩ කළේ බංගලෝ කීපර් මාමා. මනුස්සයා වැඩ්ඩා හැබැයි. ආයෙ ගහක පොත්තක් ගෙනිහින් දුන්නත් කන්න පුළුවන් වෙන්න හදන්න තරම් දක්ෂයි. ඊටත් ඔය වගේ දිග ටුවර් ගියාම.. සැපට කාලා බීලා ඉන්න පොටක් කොහෙමත් නෑනෙ.
දෙවනි දවසෙ මගෙ මතකෙ හැටියට..
දවල් කෑමට හිත ගියා ලෙසටම. කොටින්ම කියතොත් එදා හැන්දෑවෙ කැළේ යන්න තිබ්බත් කට්ටියම කාපු කෑමක් කියන්නේ.. බුදිමතට වැටුණු වැටිල්ල නැගිටිද්දි 7යි.
වැඩේ වුණේ ඇත්තටම මාමාගෙ රෙසපියක් නිසා තමයි. ම්.. ලොකු දෙයක් නම් නෙවෙයි, රතුබත් ටිකකුයි කරවල හොද්දකුයි, හැබැයි ස්පෙෂල් එකක් තිබ්බා. ජීවිතේට කාලා නොතිබ්බ ගැට දිවුල් සම්බෝලයක්! ඒක හදන්නත් හේතු වෙලා තිබ්බෙ ලූණු සම්බෝල හදන්න ලූණු තිබ්බෙ නැති නිසා.
ඒ විතරක්මත් නෙවෙයි. කරවල එකෙත් ස්පෙෂල් එකක් තිබිලා තියෙනව කියලා දැනගත්තා රෑ වඩියට සෙට් වෙද්දි..
“මාමා.. ඒ මොකක්ද මාමා ඒ කෑම එක. මම නම් ඇරියා ඇරිල්ලක්.. බත් පිඟන් දෙකක් ගෙඩිය පිටින්ම ඈ..” කණ්ඩායමේ ගුරා, පළවෙනි ගල් ෂොට උගුරට ගලා ගන්න ගමන්.
“ආයෙ මොනවද.. දවස් ගාණකට පස්සෙනෙ බං එහෙම කෑමක් කෑවෙ. මටත් බඩු බනිස් වෙන්න නින්ද ගියා හොඳේ” තව ලොක්කෙක්..
“මේ.. ඇත්තටම මාමා මොනවද ඒ සම්බෝලෙ?” මම වචනෙ ඉස්සර කළා.
“ආහ්! පුතා..ඕක අපි හදන්නෙ නම් මඤ්ඤොක්කා කන්න. ඒත් අද හැදුවා මොකද කඩේට යන්න වෙලා තිබ්බෙ නෑ ලූණු ගේන්න..
ඔ්ක ගැට දිවුල්වලින් හදන්නෙ. ගැට දිවුල් හූරලා අරගෙන ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස්, දෙහි හරි විනාකිරි හරි එක්ක සැර ගාන බලලා කොච්චිත් දාලා වංගෙඩිය කොටන්නඕන හොඳට. ඊට පස්සෙ කබලට අබ, සේර, ඉඟුරු ටිකක් තලලා තෙල් පොඩ්ඩකින් බැදෙන්න දාලා සුවඳ ගහගෙන එද්දිම කළවම දාලා හැඳිගාලා ගත්ත නම්..
වැඩේ වුණේ අද සේර තිබ්බෙත් නෑනෙ.”
“හප්පට.. සේර නැතුව ඔහොම නම්?
ඇත්තටම මාමා ඒක නම් සුපිරියක් ඈ.. ඒ කරවල හොද්දත් එක්ක බැස්සා නිකම් බස බස ගාලා. ඒක නෙවෙයි මාමා කටු තිබ්බට ඒ කරවල එකත් හරි රහයිනෙ. මොකක්ද මාළු?”
“අනේ පුතා.. මං මාළුවව නම් දන්නෙ නෑ කොහොමහරිඕවා ඔය දවසෙ විකිණෙන්නෙ නැති පොඩි කූරි. වැල්ලෙ මිනිස්සු දවස පරණවුණ හැටියෙ මාළු කරවල කරනවනෙ. හැරත් උං කරවල කන්නෙත් නෑ. අළුත් මාළු විතරයි. කරවල ඔක්කොම කඩවල්වලට.
ඔ්කත් ඇවිල්ලා ඔය හොඳ ලුණු රහට තියෙන්නෙ වේලන විදිය නිසා. වැල්ලෙ පඩංගුවල නෙවෙයිනෙ පුතා මෙහේ කරවල වේලන්න. ගල් උඩ. එතකොට දෙපැත්ත දාන්න දෙයක් නෑ, කරන එකම දේ එතනින් යන යන සැරේට කළපු වතුර ටිකක් වත් කරනවා. ඒකෙන් තමා ඔය හොඳ ලුණු රහත් තියෙන්නෙ.ඕක මම හදද්දිත් පොඩි වෙනසක් කළා හැබැයි.
මුලින්ම.. කරවල හෝදලා අඟුරෙ දැම්මා හම් පිච්චෙන්න. ඊට පස්සෙ හම ඇරලා මිරිස් තුනපහ ඔක්කොම එක්ක තෙලේ පොඩියක් කර කළා. කර කරලා තමයි කබලෙන් ඇතිළියට දාලා කිරි දාලා ගත්තෙ, හ්ම්..”