සිංහල භාෂාවෙන් කාව්‍යකරණයේ යෙදෙන කවියන් කිවිඳියන් ගැන අපි පටන්ගත්ත ලිපි මාලාවේ සිව්වැන්න මේ. එහි පළමු ලිපිය මෙතනිනුත්, දෙවැනි ලිපිය මෙතනිනුත්, තෙවැනි ලිපිය මෙතනිනුත් කියවන්න පුළුවන්.
මෙවර ලිපියෙනුත් අපි ලංකාවේ දක්ෂ කවියන් කිවිඳියන් දස දෙනෙක් ගැන කතා කරනවා.
රෝහණ පොතුලියද්ද
අහස හැඩි වී ඇත, ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක් යන කාව්‍ය කෘති ලියා පළ කළ රෝහණ පොතුලියද්ද අද සිංහල සාහිත්‍ය ක්ෂේත්රයේ සිටින ප්‍රතිභාපූර්ණ කවියෙක්. ඔහුගේ නම ඔබට එතරම් හුරු නැතත්, ඔහු ලියූ ‘අපිට කොහෙ හරි වැරදුණා බං’ යන කවිය නම් ෆේස්බුක් හෝ වෙනත් මාධ්‍යයක් ඔස්සේ ඔබේ කන වැකී ඇති බවට සැකයක් නෑ.
වර්ණ රසිකා ගුණවර්ධන
ෆේස්බුක් ඔස්සේ කවි ලියන කවියන් කිවිඳියන් අතර හරවත් සේ ම රසවත් කවි රචනා කරන්නට තරම් ප්‍රතිභාවක් සහිත අය දුර්ලභයි. වර්ණ රසිකා ගුණවර්ධන එවැනි දුර්ලභ කිවිඳියක්. https://warnarasi.blogspot.com/ බ්ලොග් අඩවියෙන් හෝ ඇගේ ෆේස්බුක් ගිණුමෙන් ඔබට ඇගේ කවි කියවන්න පුළුවනි.
සෞම්‍ය සඳරුවන් ලියනගේ
හැටේවත්තේ මග්දලේනා, නුඹ නොඒ නම් කියන්න නම් කාව්‍ය කෘති දෙක රචනා කළ සෞම්‍ය සඳරුවන් ලියනගේ පසුව ලෝටස් නමින් නවකතාවක් ද ලිව්වා. පහුගිය කාලේ යූටියුබ් ඔස්සේ බොහොම ජනප්‍රිය වුණු, විදුල රවිශාර ගයන ‘කවිය’ නම් ගීතය ඔබ අසා ඇතිවාට සැකයක් නෑ. ඒ ගීයේ රචකයා තමයි සෞම්‍ය. ඔහුගේ හැටේවත්තේ මග්දලේනා කවි පොතට 2013 වසරේ හොඳ ම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා.
සුහර්ෂිණී ධර්මරත්න
බොල් බිජුවට, ගිරිහිස තරණය, සිහින අසපුව, සුදුවත ඇඳි කෙකිනිය, එහෙම වරදක් කරල නෑ මම ආදී කාව්‍ය සංග්‍රහ පළ කළ සුහර්ෂිණී ධර්මරත්න කිවිඳිය, හන්තාන සිහිනය නම් ගේය පද රචනා සංග්‍රහයක් සහ තවත් ළමා කෘති කීපයක් ද ලියා තිබෙනවා. ඇගේ ගිරිහිස තරණය කෘතියට 2012 වසරේ හොඳ ම කාව්‍ය සංග්‍රහයට හිමි ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා.
නදුන් යසිත දසනායක
සියුම් අත්තටු නාද නම් කවි පොත රචනා කරමින් කාව්‍ය ක්ෂේත්රයේ නමක් දිනාගත් නදුන් යසිත දසනායක, පසුව විල් නෙතක මල් මතක, මගේ ආලයෙ ග්රැමෆෝන්, සුළඟෙහි ම සුළඟක් ව යන කාව්‍ය සංග්‍රහ ද ප්‍රකාශයට පත් කළා. ඔහුත් නව පරපුරේ සිටින දක්ෂ කවියෙක් ලෙස නම් කරන්න පුළුවනි.
අනුරාධා නිල්මිණි
ලාලි කෙළිය, සවරංපාලිය යන නවකතා ද, යුගස්ත්‍රී, වත් සියපත්, මඳහසක මැදියම, රිදුම් පිරි පිරිමැදුම් යන කාව්‍ය කෘති ද, තවත් ළමා කතා පොත් කිහිපයක් ද රචනා කර ඇති අනුරාධා නිල්මිණි, කලකට පෙර පුවත්පත් කලාවේදිනියක ව සිටියා. ඇගේ රිදුම් පිරි පිරිමැදුම් කාව්‍ය සංග්‍රහය, 2020 රජත පුස්තක සම්මාන උළෙලේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය දිනාගත්තා.
ඉසුරු චාමර සෝමවීර
අප දෙදෙන මැද මහ මුහුද, සුද, තාණ්ඩව යන කවි පොත් රචනා කරමින් සාහිත්‍ය ක්ෂේත්රයට අවතීර්ණ වූ ඉසුරු චාමර සෝමවීර, පසුව වඩාත් පාඨක අවධානය දිනාගත්තේ කෙටිකතාකරුවෙකු වශයෙන්. ඒ මලක් කතා කරයි සහ ගැහැනු පිරිමි මල් පලතුරු යන කෙටිකතා සංග්‍රහ ඔස්සේ. මලක් කතා කරයි කෘතියට වසරේ හොඳ ම කෙටිකතා සංග්‍රහයට හිමි ගොඩගේ සාහිත්‍ය සම්මානය ලැබුණා.
ධනුෂ්කා නිශාදි කුලරත්න
ධනුෂ්කා නිශාදි කුලරත්න කිවිඳිය දැනට සඳ මුදුව මැවෙන්නැති, ත්‍රිවේණි සංගමම් යන පද්‍ය සංග්‍රහ ලියා පළ කර තිබෙනවා. ඒකාකාරී කාව්‍ය නිර්මාණ සහ කාව්‍ය සංග්‍රහ රාශියක් අතරේ ඇගේ කවි කැපී පෙනෙන්නේ ඒවායේ අමුතු රචනා ශෛලිය සහ වෙනස් පද රටා හේතුවෙන්. එවැනි කවි කියවන්න ඇගේ ෆේස්බුක් ගිණුම පැත්තේ ගිහින් බලන්න.
ඉලක්ෂ ජයවර්ධන
කවි ලියන උප පොලිස් පරීක්ෂකතුමා විදිහට ප්‍රසිද්ධ ඉලක්ෂ, කාව්‍ය රසිකයන්ගේ හදවත් දිනාගත්තේ ‘කඩා වැටෙනා තරුවක්’ කවි පොතෙන්. එය 2019 රජත පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශ වුණා. ඒ හැර ඉඳහිට ඔහු අමුණන අපූරු කවි සිතුවිලි, ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ඔබට හොයාගන්න පුළුවන්.
දිනූ රාජගුරු
දිනූත් ෆේස්බුක් ඔස්සේ කවි ලියන කිවිඳියක් ලෙස බොහෝ දෙනා හඳුනනවා. ඇය රචනා කළ ‘මල්වඩම් සිනාසිය යුතු ය’ පද්‍ය සංග්‍රහය 2019 වසරේ සියලු ම සාහිත්‍ය සම්මාන උළෙලවල පාහේ හොඳ ම කාව්‍ය සංග්‍රහයට හිමි නිර්දේශිත නාම අතරට එක් වුණා.