1. කෑගල්ලේ පාරම්පරික ක්‍රමයට ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රව්‍ය – බල මාළු 500g, ගොරකා 25g, සුදුළූණු බික් 3යි, පොඩි ඉඟුරු කෑල්ලක්, ගම්මිරිස් කුඩු, රස අනුව, මිරිස් කුඩු මේස හැදි 1යි, බැදපු තුනපහ මේස හැදි 1යි, ලුණු රස අනුව, අබ තේ හැදි 1/4යි, උළුහාල් තේ හැදි 1/4යි, කුරුඳු කෑල්ලක්, සේර පොඩි කෑල්ලක්, කරපිංචා, රම්පෙ, පොල්තෙල්.
හදන්නේ.. මුලින්ම ගොරකා වලට වතුර කෝප්ප 1/4ක් එකතු කරලා තම්බාගන්න. ඊට පස්සෙ ඒ ගොරකා සහ සුදුළූණු, ඉඟුරු හොඳට අඹරගන්න. අඹරලා.. පොඩි භාජනයකට දාලා ඒකටම දාන්න, මිරිස්, තුනපහ, ගම්මිරිස්, ලුණු එක්ක වතුර කෝප්ප 3/4ක්. දාලා දැන් මැටි හට්ටියකට තෙල් ටිකක් රත්කරගෙන ඒකට අබ, උළුහාල්, ළූනු, කරපිංචා, රම්පා දාලා තෙම්පරාදු කරගන්න. ඊට පස්සෙ කුරුඳු, සේර එහෙමත් එකතු කරගෙන, ගොරකා මිශ්‍රණයත් කලවම් කරලා මාළු කෑලි සියල්ලම දාන්න. දාලා.. මාළු හට්ටිය නටන්න ගත්ත වෙලාවෙ ඉඳන් ඉස්සරහට මද ගින්නෙ හින්දගන්න.
2. කොළඹ ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රව්‍ය – කෙලවල්ලන් හෝ බල මාළු 250g, ගොරක පේස්ට් මේස හැඳි 1 1/2යි, ගම්මිරිස් කුඩු මේස හැඳි 2යි, කුරුඳු, කරදමුංගු 2ක්, කරාබු නැටි 3ක්, තෙල් මේස හැන්දක්, ලුණු අවශ්‍ය පමණට, කරපිංචා ඉති 2ක්
මුලින්ම රම්පෙ, ගොරකා, කරදමුංගු, කරාබු නැටි, කරපිංචා, තෙල්, ගම්මිරිස්, ලුණු සහ කුරුඳු සියල්ල එකට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සෙ මාළු වලට දෙහි ඇඹුල් ටිකක්, ලුණු ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. බැදලා.. අර මිශ්‍රණය කලවම් කරලා පැයක් හමාරක් තියන්න පදම අල්ලන්න. අන්තිමටම මැටි හට්ටියක් අරගෙන අඩියේ රම්පේ කොළ එලලා, මාළු මිශ්‍රණය ඒ මත අතුරලා, වහලා, හිඳෙනකම් අඩු ගින්දරේ පිසගන්න.
3. දකුණේ ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රව්‍ය – බල මාළු 500g (කෙලවල්ලන් හෝ තලපත්), මිරිස් කුඩු, බැදපු පහේ, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, අඹරා ගත්, ගොරකා, කරපිංචා.
මාළු ටික හෝදලා කපන්න. ඒ අතරට වෙනමම මිරිස්, තුනපහ, වියලි මිරිස් තාච්චියක බැදගන්න. ඊට පස්සෙ ඒකට ලුණු, ගම්මිරිස් සහ ගොරකාත් දාලා මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා වතුර කෝප්පයකුත් එකතු කරලා මාළු කෑලි ටික හොඳට අතගාලා පැයක් විතර තියන්න පදම් වෙන්න. ඊට පස්සේ.. හට්ටියකට කෙහෙල් කොළයක් අතුරලා, කෙහෙල් කොලේ උඩින් කරපිංචා තට්ටුවක් දාලා, මාළු කෑලි ටික තියන්න. තියලා ඊට උඩින් අර මිශ්‍රණය දාලා තුනී කරන්න. කරලා ඒකෙම වතුර ටිකත් දාලා, මදි පාඩු වතුර ප්‍රමාණයක් එකතු කරලා මද ගින්දරේ හොඳින් හින්දගන්න.
4. පොඩි මාළු ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රව්‍ය – සාලයො, හාල්මැස්සො, හුරුල්ලො, හැඳැල්ලො.. 1 kg, ගොරකා, සුදුලූනු, ගම්මිරිස්, මිරිස්කුඩු, ලුනු කුඩු, කුරුඳු, කරපිංචා
මුලින්ම ගොරකා හෝදලා, තම්බලා ගලේ අඹර ගන්න. ඊට පස්සෙ ඒකට සුදුලූනු, ගම්මිරිස්, මිරිස්කුඩු, ලුනු දාලා තව ටිකක් අඹරලා හොඳ මිශ්‍රණයක් හදාගන්න. දැන් හොඳින් සුද්ද කරගත්ත (ඔළු, බඩ, වරල් අයින් කරපු) මාළු කූරි ඇතිලියකට දාලා, අර මිශ්‍රණයෙන් අතගා ගන්න. අතගාලා ඒකට කරපිංචා, කුරුඳු ටිකකුත් දාලා, වතුරත් පදම බලලා දාලා.. මුලින්ම හොඳට නටවලා, ඊට පස්සෙ මද ගින්දරේ හින්දගන්න.
5. ඔරිජිනල් මාළු ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රව්‍ය – තලපත් හෝ වෙනත් ලොකු මාළු 500g, ගොරකා, ගම්මිරිස් මේස හැදි 3ක්, සුදුළුණු, ඉඟුරු, කරපිංචා, අමු මිරිස්, කුරුඳු, ලුණු අවශ්‍ය ප්‍රමාණයට.
මුලින්ම මාළු හෝදලා තරමක් ලොකු කෑලි කපාගන්න. ඊට පස්සෙ ගොරකා, ගම්මිරිස්, අමු මිරිස්, කරපිංචා, කුරුඳු, ඉඟුරු, සුදුළුණු, ලුණු එකට දාලා අඹරපු මිශ්‍රණයක් හදාගන්න. දැන් මැටි හට්ටියක පතුලෙ මේ මිශ්‍රණය, ගාලා, ඒ උඩින් මාළු කෑලි අතුරලා පැයක් හමාරක් ගානෙ, මාළු කෑලි දෙපැත්ත ද දා පදම් කරගන්න. අන්තිමටම වතුර දාලා මද ගින්දරේ හොඳින් හින්දගන්න.