2019 අග භාගයෙන් ලෝකයට උදාවූ අභාග්‍ය තවමත් විවිධාකාරයෙන් රට රටවල් වෙලාගනිමින් පවතිනවා. ලෝක වසංගත මදිවට ලෝක යුද්ධත් එන තැනට පාර හැදෙමින් තියෙද්දි ඇත්තටම අපිට මොනවා වෙයිද කියන අවිනිශ්චිතයක තමයි ලෝකවාසී බහුතරය ජීවත් වෙන්නේ. නාහෙට නාහන පුටින්ගේ මායිමේ ඉදගෙන නේටෝවට අත වැනීමේ ප්‍රතිඵලය මත නැවතත් අලුතෙන් ඇවිලෙමින් තිබුණත් යුක්රේනය කියන්නේ යුද්ධය හෝ දේශපාලන අර්බුධ අලුත් රටක් නෙමෙයි. බොහෝ දේශපාලන විචාරකයින්ගේ මතය වෙන්නේ යුක්රේනය “ඉල්ලගෙන කෑවා” කියන එකයි. “පුංචි වුනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ” කියන්න වගේ යුක්රේනයත් ගේම අත්හරින පාටකුත් නැහැ.
සහයට ඉඳී කියල හිතපු නේටෝ රාජ්‍යන් පවා මේ මොහොතේ පවතින ලෝක ආර්ථික අර්බුධය හමුවේ අනුන්ගේ කොස් ඇට බාන්න ගිහින් අත පුච්චගන්නේ නැතිව ඉන්න ජාතියේ උපායශීලි බවකින්, නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඉන්න බව පේන්න තියෙනවා. ඒ අතරේ යුක්රේන ජනාධිපති ව්ලැඩ්මීර් සෙලෙන්ස්කි විටින් විට කොටියාගේ වලිගයෙන් අදිමින් ඉන්නවා.
කොහොමවුණත් අපි බලමු ලෝක වාසීන් විදිහට අපි දැනගත යුතු ලෝකයම උණුසුම් කරමින් ඉන්න යුක්රේනයේ අලුත් නොවන කඳුළු කතාව ගැන දැනගත යුතුම කරුණු 10ක්
1. යුක්රේනය හා රුසියාව අතර මේ සීතල යුද්ධය අද ඊයෙක ඇවිලුණු එකක් නෙමෙයි. ඒක වසර අටක් පුරා අලු යට ගිනි පුපුරු වගේ දැවෙමින් තිබු තත්වයක් . මිලියන 5 කට අධික සිවිල් ජනතාවක් එම මුළු කාලය පුරා ඉන් පීඩාවට පත්ව සිටිනවා.
2. මෙම නවතම යුධ තත්වය ඇවිලී යාමට පෙර සිටම 2014 සිට වරින් වර ඇති වූ ගැටුම් හේතුවෙන් සිදුවූ යුක්රේන සිවිල් මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇති අතර පුද්ගලයින් 7,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. හානි වී හෝ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති නිවාස සංක්‍යාව 50,000 ක්.
3. 2022 වසර වන විට එරට ජනගහනයෙන් මිලියන 2.9 ක ජනතාවක් මෙම ගැටුම් හේතුවෙන් නිවාස හා ජීවන තත්වයන් අහිමි වී රජයේ ආධාර ලැබිය යුතු තත්වයේ පසුවන අතර ඔවුන්ගෙන් 1.3ක් රජයේ පාලන ප්‍රදේශ වලත් අනෙක් 1.6 රජයේ පාලනයෙන් ගිලිහුණු ප්‍රදේශ වලත් ජීවත් වෙනවා.
4. යුධ ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව අවශ්‍යතා ඇති එරට මිලියන 1.8 ක පුද්ගලයින්ට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 190 ක් 2022 වර්ෂය සඳහා අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රතිචාර සැලැස්ම යටතේ නිවේදනය කොට තිබෙනවා.
5. යුක්රේනය යනු ලෝකයේ පැරණිතම මානුෂීය අර්බුධයක් ඇති රටක් වන අතර, එයින් පිඩාවට පත්ව අවශ්‍යතා ඇති සෑම දස දෙනෙක් අතරින් තිදෙනෙක්ම වයෝවෘද්ධ වැඩිහිටියන් වනවා.
6. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුගත කිරීම් වලට අනුව රටේ වෙනත් ප්‍රදේශ වලට පලා යෑමට බලකෙරුණු අභ්‍යන්තරව අවතැන් වූ යුක්රේන වැසියන්ගේ සංඛ්‍යාව 854,000කට ආසන්නයි.
7. නැඟෙනහිර යුක්රේනයේ කිලෝමීටර් 427ක් දිග “සම්බන්ධතා රේඛාවක්” මගින් රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශ රාජ්‍ය නොවන ප්‍රදේශවලින් වෙන් කර ඇති අතර එහි ස්ථාන 7ක් හරහා සිවිල් වැසියන්ට එහා මෙහා මාරු වීමට ඉඩ ලබා දී තිබෙනවා. නමුත් 2020 වසරේ මාර්තු මාසයේ සිට, මෙම රේඛාව හරහා ගමන් කිරීම සැලකිය යුතු ලෙස සීමා කර ඇත්තේ Covid-19 වසංගතය ද සමඟයි.
8. යුක්රේනය යනු ලෝකයේ බිම් බෝම්බ වලින් පිරුණු භූමියක් ඇති රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක පවතින රාජ්‍යක්. බිම් බෝම්බ සහ විවිධ පිපිරුම් ද්‍රව්‍යවල ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන්ට හානි සිදු වන රාජ්‍යන් අතර ලෝකයේ පස්වන ස්ථානයට පත්ව සිටින යුක්රේනය, බිම්බෝම්බ මඟින් සිදුවන වාහන අනතුරු බහුල රාජ්‍යන් අතරින් ලෝකයේම තුන් වන ස්ථානයට පත්ව සිටිනවා. 2020 වසරේ ජූලි මාසයේ සිට එරට සිවිල් වැසියන්ගෙන් 70% ට ආසන්න ප්‍රමාණයක් බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය නිසා ජීවිත අහිමි වීම් හෝ තුවාල ලැබීම් වලට ලක්ව සිටිනවා.
9. යුද්ධයෙන් බැට කන යුක්රේනයට කිසිදු සහනයක් නොදෙමින් Covid-19 වසංගතයද එරටට දැඩිව ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල තත්ත්වය වඩ වඩාත් තීරණාත්මක වී තිබෙනවා. රජයේ පාලන ප්‍රදේශවල රෝහල් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන අතරේ රාජ්‍ය නොවන පාලන ප්‍රදේශවල වසංගත තත්වය සෞක්‍ය අංශ පාලනයෙන් ගිලිහී යමින් පවතිනවා. යුද්ධයෙන් අවතැන් වූ යුක්රේන වැසියන් මෙයින්ද දැඩිව පීඩාවට පත්ව සිටිනවා.
10. රාජ්‍ය නොවන සංවිධාන 2014 වසරේ සිට එරට 700,000 ට ආසන්න පිරිසකට ආහාර, නවාතැන්, ජලය, සනීපාරක්ෂාව සහ නීති ආධාර ලබා දෙමින් සිටියත් ඔවුන්ට රජයෙන් පාලනය නොවන ප්‍රදේශ වලට ළඟා වීමේ අසීරුතා නිසා තවමත් සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම යුධ ගැටුම් හා කොවිඩ් වසංගතයෙන් බැට කමින් සිටීම සැබෑම අභාග්‍යක්.
කෙසේවෙතත් තුන්වන ලෝක යුද්ධයක් වෙත ලෝකය ඇදී යමින් පවතින මේ මොහොතේ යුක්රේනයේ සහ රුසියාවේ මේ සෑම පියවරක්ම ගෝලීය වශයෙන් වැදගත් මෙන්ම බලපෑමක් ඇති ක්‍රියාදාමයක් බවට පත්වෙමින් තිබෙන බව කිව හැකියි