පාට පාට කොඩි වැල්, මල් වැල්, සැරසිලි වලින් පිරුණු ලස්සන මූදු වෙරළක්. 'රෙගේ' තාලයට නැටවෙන පොල් ගස් වල කරටි ඉර අව්වට දිස්නය දෙන්නෙ ඈත ඉඳන් බලන අයටත් මෙහෙට එන්න කියල අඬ ගහනව වගේ. හැමෝගෙම මූණු වල තියෙන හිනාවන්, සුහද පිළිගැනීමක් කියල ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. හරිම නිදහස්. වෙනදට කට ගොන්නක් බීලා බෙරිහන් දෙන මිනිස්සු ඉන්න වෙරළ තීරයකට අද අපූරු තේමාවක් ඇවිල්ල තියෙන්නෙ.
‘හිපි’ සම්ප්‍රදාය තවමත් ලංකාවෙ ලොකුවට මුල් බැහැගෙන නැති වුනත් උපන් හැකියාවන් ප්‍රගුණ කරලා කාටවත් ඔළුව නවන්නෙ නැතුව ගත මනාව හොයාගෙන ගොඩක් සතුටින් ජීවත් වෙන පොඩි හිපි ප්‍රජාවක් අපේ රටෙත් ඉන්නවා. අන්න එයාලාගෙ වැඩ කිඩ ටික පෙන්නපු ලස්සන පොළක් පහුගිය සෙනසුරාදා ගල්කිස්ස වෙරළ තීරයෙ තිබුණා. හරිම සාමකාමීව වගේම උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු Colombo Hippie Market එක දෙවැනි වතාවට තමයි මේ විදියට පැවැත් වුණේ.
එක පැත්තකින් ඩ්‍රෙඩ් ලොක්ස් දාපු මිත්‍රෙයක්ගෙ පුංචි කඩ කෑල්ලෙන් ඇහෙන රෙගේ සංගීත තාලය කණට වැටෙද්දි අනිත් පැත්තෙන් පරණ පොප් සංගීත තාලයක් ඈතින් ඇහෙනව. රෙගේ තාලයට ඇඟ පැද්දෙද්දි හිපි මිත්‍රයන්ගෙ පුංචි පුංචි කඩ පිල් ටිකේ රවුමක් දාපු මගේ හිතේ ඇති වෙලා තිබුණෙ හරිම නිදහස් වගේම සතුටින් ඉපිලෙන හැඟීමක්. තම තමන්ගෙ හැකියාවල් වලට අනුව හදපු අත් කම් නිර්මාණ, ඇඳුම් පැළඳුම්, කෑම බීම වලින් පිරිලා තිබුණ කඩ අතරෙ මගේ හිත වැඩියෙන්ම ඇදිලා ගියේ සෑම්ගෙ බොඩි පේන්ටින් වලටයි ජනක අයියගෙ චිත්‍ර වලටයි. එයාලා දෙන්නම නියම වැඩකාරයෝ. සෑම් ලඟ තියෙන අපූරු පින්තූර වලින් එකක් ඇඟේ ඇඳගෙන හැඩ වෙන්න ලංකාවෙ හිපි මිත්‍රෙයා විතරක් නෙවෙයි පිට රටින් ආපු මිත්‍රයොත් ගොඩක් හිටියා. ඒ වගේම ජනක අයිය අඳින ජීවමාන ප්‍රතිමූර්ති චිත්‍ර ඇඳ ගන්නත් ගොඩක් දෙනා ඇවිත් හිටියා. තමන්ගෙ ත්‍රිමාණ චිත්‍රයක් පොඩි වෙලාවකදි පැන්සල් තුඩකට ගොනු කරල සුදු කොලේකින් අතට ගන්න කවුද අකමැති.
මේ දේවල් අතරෙ ගෙදර හදන ප්‍රමිතියට එවෙලේ කෑම හදල දෙන කඩ පිල් වගේම හරිම ලස්සන අත්කම් නිර්මාණ තියෙන කඩ පිලුත් ගොඩක් තිබුණා. කප් කේක් වගේ රස කැවිලිත් ක්ෂණික ආහාරත් තිබුණ කඩ පිල් අතරෙ විශේෂ තැනක් ගත්තෙ RTM Delights එක. හැබැයි හිපි සම්ප්‍රදායෙම ඇඳුම් පැළඳුම් නම් විකුණන්න තිබුණෙ එකම එක කඩයක විතරයි. අපූරු හිපි ඇඳුමකින් සැරසිලා ඉඳපු මිතුරියක් තමයි කඩේ කරගෙන ගියේ. එයා ලඟ තිබුණ හම් සපත්තු ටිකයි ඩෙනිම් ටිකයි නම් ඇත්තෙන්ම හරිම ලස්සනයි.
හිතේ හැටියට පොළ පුරාම රවුම් ගහපු මම හැන්දෑ වේගෙන එද්දි වෙරළ අයිනට ගියේ රතුම රතු පාටට ක්ෂිතිජයේ හැංගිලා යන ඉර දිහා බලාගෙන මගේම කල්පනා ලෝකයක රවුමක් දාන්න. ටිකෙන් ටික නෑසී ගියපු රෙගේ සංගීත තාලය වෙනුවට දෙසවනට වැටෙන්න පටන් ගත්තෙ පරණ පොප් සංගීත පද පේළියක්. සැඳෑ අඳුර ගල්කිස්ස වෙරළ තීරය ගිල ගන්න හදද්දි හිපි පොළ නිමාව සනිටුහන් කරන්නයි සූදානම. පොප් සංගීතයෙන් හිතට ගේන වියෝවක හැඟිම නම් දරාගෙන ඉන්න ටිකක් අමාරුයි. පළවෙනි වතාවට මුණ ගැහිලත් මේ තරම් මිතුරු වෙන්න නම් හිපි මිත්‍රයින්ගෙ හිත් කොයිතරම් සුන්දර වෙන්න ඕනද? මම ගල්කිස්ස වෙරළ තීරයට සමුදුන්නෙ නොමියෙන මතකයන් ගොන්නක් හිතේ තුරුළු කරගෙන.
'හිපි' කිව්වාම ලංකාවෙ උදවියට නම් ඒ තරම් ලොකු තේරුමක් නෑ. සමහරක් වැඩිහිටියො 'ඊයා' කියද්දි සමහරක් තරුණ අය 'වාව්' කියනව. ඇත්තටම එහෙම වෙලා තියෙන්නෙ හිපි කියන්නෙ මොකක්ද කියන එක ගැන හරි හැටි නොදන්න නිසා. හිපි සම්ප්‍රදාය ආරම්භ වෙන්නෙ 1940 ගණන් වල ඇමරිකාවෙ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රාන්තය මුල් කරගෙන.
එයාලා ලොකු පිරිසක් නොවුනත් ගොඩක් දුරට එක වගේ හිතන පතන මිනිස්සු කොට්ඨාශයක්. හැම දෙයකටම වගේ නිදහස හොයපු හිපි කට්ටියට එයාලටම ආවේණික වුණ ජීවන රටාවක් තිබුණා. තැන තැන ඇවිදමින් කඳවුරු බඳිමින් ගෙවුනු එයාලගෙ ජීවිත වල කලාව කියන්නෙ ආහාරයටත් දෙවැනි නොවුන දෙයක්. සංගීතය, චිත්‍ර, පච්ච කෙටීම, ඇඹීම් වගේ කලාත්මක සම්ප්‍රදායන් විතරක් නෙවෙයි එයාලගෙ ඇඳුම් පැළඳුම්, යාන වාහනත් තම තමන් නිදහසේ දකින හැඩ තල වලින් ලස්සන කර ගත්තු හිපි ප්‍රජාව ගොඩක් දුරට පරිසරයට හානි නොවෙන විදියට තමයි ජීවත් වුනේ. ඒ විතරක් නෙවෙයි එයාලා අතරින් ගොඩක් දෙනා නිර්මාංශිකයි. හැබැයි කාලයක් යද්දි ඒ කියන්නෙ 1960 ගණන් වලින් පස්සෙ හිපි සම්ප්‍රදායටත් නිදහස් ලිංගික සබඳතා, විවිධ මත් ද්‍රව්‍ය වර්ග භාවිතය වගේ ආභාෂයනුත් ටිකෙන් ටික මිශ්‍ර වෙන්න පටන් ගත්තා.
ඒත් ලෝකයේ ගොඩක් රටවල් වලට ව්‍යාප්ත වුනේ මුල් හිපි සම්ප්‍රදාය නිසා ඒ ඒ රටවල් වලින් පටන් ගත්තු හිපි කට්ටියගෙ ජීවිත ගොඩක් හොඳ දේවල් වලින් පිරුණා. ඒක සිද්ධ වුනේ ඒ ඒ රටවල් වල පාරම්පරික සම්ප්‍රදායන් අනුව. අපේ අසල් වාසී රට, ඉන්දියාවෙ හිපි ප්‍රජාව නම් ගොඩක් ශීලාචාරයි වගේම යෝග භාවනා වගේ ආධ්‍යාත්මික දියුණුව වඩන දේවල් වලටත් යොමු වෙලා අල්පේච්ඡ ජීවිත ගෙවන හරි අපූරු පිරිසක්.
හිපි කට්ටියගෙ අල්පේච්ඡ ජීවිත වල රස්සාවල් කෙරුවාවක් නම් නෑ. මොකද එයාලා ගොඩක් දෙනා උපන් හැකියාවන් ප්‍රගුණ කරපු අය. සමහර අය චිත්‍ර අඳිනවා. සමහරු නටනවා, සංගීත භාණ්ඩ වාදනය කරනවා. සමහරු විශ්මය ජනක ක්‍රියාවන් කරනවා. සමහරු ලස්සන අත්කම් නිර්මාණ කරනවා. ඒ විතරක් නෙවෙයි එයාලා ඒ දේවල් සාමාන්‍ය ජනතාවට පෙන්නලා තමයි දවසෙ වියදමත් හොයාගන්න. එහෙම දවස ගෙවන හිපි මිත්‍රය හවස් ජාමෙට එක තැනකට එකතු වෙලා පොඩි සාදයක් දාන්නෙ ' එකට කෑවත් බොක්ක වෙනස් නෑ' කියන ආදර්ශය සමාජයට දෙන ගමන්.