ඉස්කෝලෙ කාලෙ අපි හිතාගෙන හිටියෙ ඉස්කෝලෙ යන එක තරම් කරදරයක් තවත් නෑ කියලනෙ. ඒත් කොහොමද දැන්?
විකාරෙන් වගේ නැගිටල උදෙන්ම වැඩට යන කට්ටිය හවසට ගෙදර එන්නෙ බාගෙට මැරිලා. ඉතින් ඔය විදියට සතියෙ දවස් පහ වුනාම වීක් එන්ඩ් එකක් තිබුණද නැද්ද වගක් ඇත්තෙත් නෑ. එහෙමයි කියල ඉතින් මේක අත ඇරල දාන්නත් බෑනෙ. අනාගතය වෙනුවෙන් ඇදගෙන යන්න එපැයි.
හැබැයි කවුරු කොහොම කිව්වත්, කොච්චර ප්‍රශ්න තිබුනත් ෆුල් සැපේ, ජොලියෙ ඉන්න අයත් ඔය අතරෙ ඕන තරම් ඉන්නව. පොඩි අවුලකට තියෙන්නෙ එයාලා සතුටු වෙන්න පාවිච්චි කරන්නෙ මත් පැන්, මත් ද්‍රව්‍ය මොනවහරි වෙච්ච එක තමයි. බඹර පදමට ආවට පස්සෙ ඉස්කෝලෙ කාලෙ කරපු වැඩ, සිද්ධ වෙච්ච සිද්ධි මතක් කරල පුදුම ආතල් එකක්නෙ ගන්නෙ.
වැඩේ කියන්නෙ කන්නෙ බොන්නෙ නැති අයට ඒ වගේ ආතල් එකක් ගන්න ක්‍රමයක් නැද්ද? යමු අපි කල්පනා කලා. කරල තමයි හොයා ගත්තෙ මෙන්න මේ මේ අපූරු ක්‍රමය.
කරන්න තියෙන්නෙ මෙච්චරයි. දවල් දවසට පාර තොටේ ඇවිදින වෙලාවක් අල්ලල යන්න ලඟම තියෙන ඉස්කෝලයක් ලඟට, හැබැයි ඉස්කෝලෙ ඇරෙන්න කිට්ටු කරල. ඊට පස්සෙ කෙලින්ම ටාගට් කරන්න ගේට්ටුවයි තාප්පයයි අරක්ගෙන ඉන්න කඩචෝරු වෙළෙන්දො ටික. ආයෙ මොනවද ඉතින්, රු. 100ක් වියදම් කලා නම් ඇති ළමා කාලයට යන්න. ඔයා ආසම කඩචෝරු ජාති වලින් මල්ල ගාණෙ අරගෙන එතන ඉඳන්ම කන්න පටන් ගන්න. ඒ අතරට ඉස්කෝලෙ ඇරිලා කෑ ගගහ ගෙදර දුවන පොඩ්ඩො දිහාත් බලාගෙන හිටිය නම් ඔයාටත් නොතේරීම ඔයාගෙ හිත, ඔයාව ළමා කාලයට ගෙනයාවි.
ඒක නෙවෙයි, හදිස්සියෙවත් ඒ කාලෙ කාපු දේවල් මතක නැත්නම් ඔන්න පහළින් තියෙනව මිහිරි මතක කඩචෝරු ලැයිස්තුවක්ම. බලල මතක් කර ගන්නකො.
1. බොම්බයි මොටයි සහ නයිස්
ට්‍රිලිං ට්‍රිලිංං… ට්‍රිලිං ට්‍රිලිංං…
අහල පුරුදු සද්දයක් නේ. පියුම් මාමා හැරුණාම… ආ… බොම්බයි මොටයි මාමා!
ටින් පෙට්ටියක් පුරවල රෝස පාට බොම්බයි මොටයි, පෙට්ටියෙ පැත්තක කම්බියෙ අමුණපු නයිස් තොගයයි. ඉස්සර නම් මේවා රු. 5යි, දැන් නම් කොහොමද දන්නෙ නෑ. මතක තියා ගන්න ඔය පැණි රසට කාගෙන කාගෙන ගියා වගේ නෙවෙයි කට දෙපැත්ත ඇලෙන්න ගත්තාම. ඉස්සර නම් ෂර්ට් එකේ හරි පිහිද ගත්ත, ඒත් දැන් එහෙම බෑනේ.
2. අයිස් පලම්
පී… මෝ…
අයිස් පලම් වලට ආවේණික නලා සද්දෙ. මතකද? අර රබර් බෝලෙ තද කරද්දි සද්දෙ එන දිග නලාව. එතකොට… සින්ගර් බයිසිකලේ පිටිපස්සෙ ලොකු සෘජුෆෝම් පෙට්ටියක් ගැට ගහ ගෙන ඉස්කෝලෙ ගේට්ටුව ලඟ ඉන්න අයිස් මාමා.
එක එක පාටට කෝටුවල ගහල හදපු අයිස් පලම් තොගයක් තිබුනට මොකද අපි වැඩියෙන්ම ආස කලේ රසටත් වඩා ඒකෙ සීතලට. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට අයිස් පලමක් කියන්නෙ දිව්‍ය භෝජනයක් වගේ.
3. අච්චාරු
“කන්න එපා ජරාව” අම්මා හැමදාම කියනව.
එපා කියන නිසාම අපි හැමදාම කනව.
කවුරු එපා කිව්වත් අච්චාරු කියන්නෙ නම් නොකා ඉන්න පුලුවන් කෑමක් නෙවෙයි. විශේෂයෙන්ම දිවුල් අච්චාරුයි, වෙරළු අච්චාරුයි. එතකොට අඹ අච්චාරු, මිශ්‍ර අච්චාරු එහෙමත් පට්ට රසයි. වැඩේ කියන්නෙ ඔය කෝකත් පරාදයි අලුත් අවුරුදු කාලෙට හැදෙන පළතුරු වලින් දාන අච්චාරු වලට. ජම්බු, ලොවි, කජු පුහුලම් අච්චාරු වල රස… මතක් වෙද්දිත් කටට කෙල උනනව.
4. ලුණු, මිරිස් කලවමයි තීරු ගහපු පළතුරුයි
ගෙදරදි කොච්චර ට්‍රයි කලත් අංකල් කපන විදියට අඹ ගෙඩිය කපන්න අපිට බැරි වුනානෙ. 8ට කපන්නත් ඕන. මල වගේ විහිදෙන්නත් ඕන. හැබැයි මික්‍ස්චර් එක දාද්දි කෑලි කැඩිල වැටෙන්නත් බෑ. අඹ විතරක් නම් බැරියැ, පොඩි ඇඹරැල්ල ගෙඩියත් ඒ විදියට කපනවනෙ. අමු අඹ නම් කොහොමත් මික්ස්චර් එකත් එක්ක යනව. හැබැයි කට්ටිය පොර කන්නෙ ඉදුණු අඹ ගෙඩියක් ඔය අතරට තිබුනොත් තමයි. මොකද හැමදාම කන රසට වඩා වෙනස් රසක්නෙ.
5. අයිස් පැකට්, බීම පැකට්
අයිස් පලම් මාමා ලඟ තිබුනු අයිස් පැකට් බීම පැකට් කියන්නෙත් අපි හිතේ හැටියට රස බලපු කඩචෝරුවක් තමයි. වෙනසකට තියෙන්නෙ ගාණ අඩු එක. උපරිම රු. 5ක් වගේනෙ වුනේ. අයිස් පැකට් ගොඩක්ම ආවෙ කිරි මිශ්‍ර රසවල් වලිනුයි පළතුරු මිශ්‍ර රසවල් වලිනුයි වුනාට බීම පැකට් නම් තනිකරම සරුවත්. ඒත් මොකද රු. 10 අයිස් පලම් ගන්න සල්ලි නැති දවස් වලට අයිස් පැකට්නෙ තනිකරම සෙට් එක රන් කලේ?
6. මල් බිස්කට්
ගෑණු ළමයි අතරෙ නැගල ගියපු කෑමක්. හේතුව තමයි ඒවයෙ තිබුනු පාට. රෝස, නිල්, කොළ, තැඹිලි, රතු, කහ වගේ පාට තොගයක්. මේව හදන්නෙ ජෙම් බිස්කට් උඩට අයිසින් වගේ මිශ්‍රණයක් දාලා හයි වෙන්න තියල. පාට පාට, චූටි චූටි මල් බිස්කට් ලොකු වීදුරු බෝතලයකට දැම්මාම හරිම ලස්සනයි. ඉතින් ගෑණු ළමයි නොකා ඉඳියිද නේ?
7. පාර්ටි ටයිම් චුවින් ගම්
“ලොකුම බෝලෙ පුම්බන එක්කෙනා දිනුම්. මොකෝ කියන්නෙ”
ඔය විදියට ඔට්ටු දාලා චුයින් ගම් බෝල පුම්බද්දි කවුරු හරි ඇඟිල්ලෙන් ඇන්නොත් කේස් එක. ඊට පස්සෙ ඉතින් හෙන රණ්ඩුව. හදිස්සියෙවත් දෙකක් කාලා මාට්ටු වුනොත් එතනත් වලිය. කොහොම හරි ලොකුම බෝලෙ පුම්බල දිනන කෙනාට පාර්ටි ටයිම් චුවින් ගම් එකත් එක්ක එන පච්ච දෙකම හම්බ වෙනව. ඒත් ඉතින් වැඩක් නෑ, මොකද ලොකුම බෝලෙ පුම්බද්දි පිපුරුවුට පස්සෙ මූණ පුරා ඇලවිච්ච චුවින් ගම් කෑලි ගලවන්න ගියාම එපා වෙනවනෙ.
8. ඇඹුල් පේර, දං, කිරිල්ල
ගම් පැතිවල විතරක් නෙවෙයි, කොළඹ පවා තිබුනු පළතුරු ජාති තුනක්නෙ ඇඹුල් පේර, දං, කිරිල්ල කියන්නෙ. අවාසනාවට දැන් නම් බෙහෙතකට වත් කොළඹ කිට්ටුව පාතින් හොයා ගන්න බෑ. මොනව කරන්නද අද කාලෙ ළමයින්ගෙ අවාසනාවනෙ. ඉස්සර අපි ඇඹුල් පේර ලන්දකට, දං ලන්දකට රිංග ගත්තාම පැය ගාණකට එළියට එන්නෙ නෑ. ආවත් සාක්කු වල පුරවගෙන එන්නෙ.
දං කන්නෙ නම් ගෙදර ගිහින් රස පදමට සීනි එහෙම දාලා. කාලා ඉවර වෙලා කෙලින්ම දුවන්නෙ කණ්නාඩිය ඉස්සරහට, දිවේ දම්පාට බලන්න.
එතකොට ඇඹුල් පේර, කිරිල්ල කඩද්දි, ඉදිච්ච ඒව ගහේදිම දෙසා බාලා ඉතිරිය තමයි ගෙදර ගේන්නෙ. එහෙමෙ ගෙනැල්ල ගෙඩි පිරුණු අත්තක් අම්මට දික් කරන්නෙ ලොකු වැඩක් කලා වගේ.
9. පැළ පොල්
එදා ඉඳන්ම කඩෙන් පොල් ගත්තු ගෙවල් වල ළමයි නම් පැළ පොල් ගැන ඒ හැටි දන්නෙ නැතුව ඇති. ඒත් අපි නම් අදටත් කනව. වේලිලා වැටුනු පොල් ගෙඩියක් පැල අංකුරය ආවට පස්සෙ ලෙලි ගහල, බිඳග අරගත්තාම තමයි මදය කන්න පුලුවන් වෙන්නෙ. ඒකත් පිහිතුඩෙන් හෙමිහිට ගලව ගත්ත නම් රස කර කර හිතේ හැටියට කන්න පුලුවන්.
10. සාර විට
කට සුවඳ කරයි
දත පණුවො නොකයි…
ඒ කෙසේ වෙතත් සාර විට අයියගෙ අතේ තියෙන ටොනික් මූඩි සිලිං බිලිං එක නම් අදටත් මතකයි. පොඩිම කාලෙ සාර විට නොකෑවට මොකද ටිකක් ලොකු වෙද්දි නම් සාර විට කියන්නෙ අහන්නෙ බලන්නෙ නැතුව කාපු කෑමක්. රු. 10ට පවා තිබ්බනෙ. කහට රසට පදමට ගැලපෙන පැණි රසකුයි, සුවඳ එන්න කරදමුංගු, කරාබු නැටි, ඉඟුරු පියලි ටිකකුයි පදමට වැටිල හැදෙන සාර විටේ රස ඩබල් වෙන්නෙ සූකිරි පොඩ්ඩකුත් වැටුනාම. ආයෙ පංකාදු පහයි ඈ…
අපි මෙතන 10ක් කිව්වට ඔයාල දන්න තවත් මේ වගේ කෑම වර්ග සෑහෙන්න ඇතිනෙ, ඔය බුල්ටෝ ටොපි, කජු පුහුලම වගේ. එහෙනම් ඒවත් එකතු කරල දාමුද අපිට පොඩි කමෙන්ට් පාරක්.