උදේට කන්න වෙලාව නැති ප්රශ්නය අපේ අයට අමුතු දෙයක් නෙවෙයිනෙ. දවසෙ කරන්න තියෙන වැඩ රාජකාරි ටික මතක් වුනාම මොන කෑමද ඉතින්. ඒ වෙලාවට බඩ ගින්නක් තියා නිදිමතක් වත් එන්නෙ නෑ. කොටින්ම කියනව නම් ගෙදර උයල තියෙන කෑම ටික කන්නවත් පින නෑනෙ.
වැඩේ කියන්නෙ, ඔය ප්‍රශ්නයට හරි හමන් විසඳුමකුත් නැති නිසා වැඩි කල් නොගිහින්ම ගොඩදෙනෙක් ගැස්රයිටිස් වගේ ලෙඩත් හදා ගන්නව. අන්න ඒ නිසයි අපි හිතුවෙ යන ගමන්, නැත්නම් වැඩ කරන ගමන් වුනත් කන්න පුළුවන් කෑම ටිකක් ගන්න පුළුවන් හොඳ කඩ ටිකක් ඔයාලට කියන්න.
එහෙනම් හෙට උදේ ඉඳන්වත් උදේට කන්න පටන් ගන්නකො.
1. Klassy
බත්තරමුල්ල, පන්නිපිටිය පාරෙ තියෙන ක්ලැසි එක ෂෝටීට්ස් වලට ලොකු ප්‍රසිද්ධියක් දැරුවට මෙයාලගෙ චීස්, චිකන් සැන්ඩ්විච්, ටූනා සැන්ඩ්විච් එහෙම උදේ කෑමට නියමයි. රු. 100කට, 150කට මේ සැන්ඩ්විච් දෙකක් එක්ක ඔරෙන්ජ් ජූස් එකකුත් ගන්න පුළුවන් නිසා පොකට් එකටත් ගාණක් නෑ.
2. Health Factor
සැර ලුණු මිරිසක් එක්ක රස කුරක්කන් රොටි කන්න, යන්න දෙහිවල දුටුගැමුණු මාවතේ තියෙන හෙල්ත් ෆැක්ටර් එකට. රු. 200කට බඩ පිරෙන්න කන්න පුළුවන්. හරියට සෙට් වුනොත් දවල්ට කන්න ඕන වෙන එකකුත් නෑ. කුරක්කන් රොටි හැරුණාම මෙයාල ලඟ තියෙනව පොඩියට කපපු එළවළුයි, රෝස්ට් චිකනුයි දාලා හදන සුපිරි සැලඩ් එකක්. රස වගේම පෝෂ්‍ය පදාර්ථ වලිනුත් අනූනයි. ඒකත් රු. 350ක් වගේ වෙන්නෙ.
3. Family Baker
ගල්කිස්සෙ ෆැමිලි බේකරස් කියන්නෙත් රුපියල් දෙතුන් සීයකට රසයෙන් අනූන, උණු උණු ෂෝටීට්ස් ගන්න පුළුවන් තැනක්. මෙයාල ලඟත් චීස්, චිකන් සැන්ඩ්විච් එහෙම තියෙනව. ඒ හැරුණාම පට්ට රස, පෆ් වගේ කෑමත් ගන්න පුළුවන්. වැඩට යන ගමන් වගේම වැඩ කරන ගමන් වුනත් රස බලන්න කියාපු මේ ෆැමිලි බේකර්ස් එකේ ෂෝටීට්ස් වල රස දෙගුණ තෙගුණ වෙන්න ඔරේන්ජ් ජූස් එකකුත් එකතු කරගත්ත නම් තමයි.
4. Bread Talk
සෙන්සාල් එක පාන්, බනිස් වලින් වැඩ දැම්මට ඕකෙ සුපිරිම වැඩකාරයා බ්‍රෙඩ් ටෝක්. ඉස්සෙල්ලම කියන්නම්කො මෙයාලගෙ සැන්ඩ්විච් වල රස. පදමට තම්බල හීනියට ලියපු කුකුල් මස් ගම්මිරිස්, ලුණු දාලා රස කරල පාන් පෙති මැද්දට වැටෙන්නෙ චීස් පෙත්තකුත් එක්කමයි. දෙකක් කෑවනම් බඩ පිරෙනව. හැබැයි රස ඩබල් කරගන්න ඕන නම් අයිස් කෝපි එකක් නැත්නම් කිරි තේ එකකු කර ගන්න වේවි. කොහොම ගියත් ඔයාගෙ උදේ කෑම වේල රු. 200කින් ෂේප් කර ගන්න පුළුවන්. ඒ හැරුණාම මෙයාල ලඟ තියෙන චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි, ක්‍රීම් වගේ දේවල් මැද්දට දාලා හදන බනිස් වර්ග, ඩෝනට් වගේ දේවලුත් පංකාදු පහයි. අපි කියනවට ගිහින් බලන්නකෝ.
5. Toaskanth's Roast Paan
හරිම දුර්ලභ කෑවොත් හැමදාම කන තරම් රස පාන් ටෝස්ට් එකක් තමයි ටෝසකාන්ත් ලඟ තියෙන්නෙ. ගන්න ඕන නම් විහාර මහා දේවී පාර්ක් එක පැත්තට යද්දි හමුවෙන හෝර්ටන් ප්ලේස් වලට යන්න ඕන. චිලි චිකන්, කේජන් චිකන්, ඇඹුල් තියල්, පොල් සම්බෝල සහ චීස් වගේ රසම රස පිරවුමක් මැද්දට දාලා දෙපැත්තෙ මදි නොකියන්න බටර් ගාලා ටෝස්ටරේට වැටෙන මේ රෝස් පාන් රස බලන්න ඕන උණු වෙන්මයි. රසට වගේම සුවඳටත් වහ වැටෙනව, ෂුවර්. සමහර විට හැමදාම හොයාගෙන යන්නත් ඉඩ තියෙනව. හැබැයි ඉතින් අවුලකුත් නෑ. රු. 150යිනෙ වෙන්නෙ.
6. Lifestyle Gym Snack Bar
මේකත් තියෙන්නෙ විහාර මහා දේවී පාර්ක් එක කිට්ටුව මාකස් ප්‍රනාන්දු පාරෙ. ඔන්න මෙයාල ලඟ නම් තියෙනව උදේ කෑමට නියමෙට ගැලපෙන ටිකක් වෙනස් කෑමක්. පොඩියට කපපු ගොටුකොළ, පිපිඤ්ඤා, කැරට්, සලාද කොළ, ළූණු වල රස පදමට ගැලපෙන්න චීසුත් එකතු වෙලා හැදෙන සලාදය තුනී රොටියක එතිල තමයි මේසෙට එන්නෙ. රසයෙන් නම් අනූනයි. ගාණ රු. 200යි. ඔයාට ඕන නම් චිකන් දාපු එකක් වුනත් ගන්න පුළුවන්. හැබැයි ඒකක් නම් රු. 300ක් විතර වෙයි.
7. Green Cabin
මේ නමත් ෂෝටීට්ස් වලට සෑහෙන්න ප්‍රසිද්ධියක් උසුලන නමක්. වෙන දෙයක් නිසා නෙවෙයි. ෂෝටීට්ස් වල වගේම මෙයාලගෙ අනිත් කෑම වලත් තියෙන හොඳ තත්වයයි රසයි නිසා. උදේ කෑමට නැගලම යන්නෙ මෙයාල ලඟ තියෙන චීස්, චිකන් නැත්නම් චීස්, ටූනා සැන්ඩ්විච් තමයි. රු. 200කට කෑලි දෙකක්ම ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සැන්ඩ්විච් එකටම කියාපු රසම රස ඔරෙන්ජ් ජූස් එකකුත් මෙයාල ලඟ තියෙනව. ඔය ඔක්කොටම යන්නෙ රු. 250ක් වගේ නිසා පොකට් එකට නම් සෑහෙන්න වාසියි.
8. Little Star
අපේ කට්ටියට හුරු පුරුදු උදේ කෑම වේලක් කනව නම් මෙන්න තැන. රස හැලප දෙකක් කාලා කිරි තේ එකක් බොන්න, රු. 150යි. එහෙම නැත්නම් අර සුපුරුදු චිකන්, ටූනා වගේ සැන්ඩ්විච් ජාතිත් මෙයාල ලඟ තියෙනව. හැබැයි පට්ට රස බේකන්, බිත්තර බනිස් එක තමයි නැගලම යන්නෙ. ඒකත් රු. 70ක් 80ක් වගේ වෙන්නෙ.
9. The Fab
අන්තිමටම කියන්න යන මේ තැන ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. ෆැබ් එකේ ෂෝටීට්ස් කියන්නෙ රසයෙන් වගේම තත්වයෙනුත් සෑහෙන්න හොඳ ෂෝටීට්ස්නෙ. ඒවටම දෙවනි වෙන්නෙ නැති සැන්ඩ්විච් ටිකකුත් තියෙනව මෙයාල ලඟ. චිකන්, ටූනා රස වලින් මේසෙට එන මේ සැන්ඩ්විච් වල රස පදම එන්න චීස් ටිකකුත් දාලමයි තියෙන්නෙ. චිකන් සැන්ඩ්විච් එකක් රු. 100ක් වගේ වෙන්නෙ. හැබැයි මෙයාල ලඟ තියෙන රසම රස කිරි තේ එකකුත් උණු උණුවෙම උදේ කෑම වේලට එකතු කර ගත්ත නම් තමයි නියම.
ඔය කඩ ටික හැරුණාම කවුරුත් දන්න කියන P&S වගේ කඩ වලිනුත් රස සැන්ඩ්විච් ගන්න පුළුවන්. ඒ වුනාට ඒවගෙ හැම කඩේකම කෑම එක වගේ නැති නිසා අපිට වගකීමෙන් කියන්න බෑනෙ. කොහොම වුනත් මේ කඩ ටිකට හැරුණාම 'වැඩට යන ගමන්' ගොඩ වෙලා උදේ කෑම වේල බඩට දාගන්න කියාපු, ඔයාලා දන්න තැන් තව ගොඩක් ඇති. ඒ තැනුත් කමෙන්ට් කලා නම් නේද හොඳ?