හෙළයේ මහා ප්‍රෞඪත්වය ගැන කතා කරද්දි අලි ඇත්තු, සද්ධන්තයො අමතක කරල බෑනෙ. මොකද අදටත් ‘ශ්‍රී ලංකාව’ ලෝකයට යන්නෙ අලි, ඇත් සලකුණෙන්. අවුරුදු 5000කටත් එහා ගියපු මනුෂ්‍ය, හිත මිත්‍ර සබඳතාවයක්, සාක්ෂි සාධක වලින් සනාත කරගත්තු අපේ ඇත් පරපුරට තියෙන්නෙ ශ්‍රේෂ්ඨ වරිග පැවැත්මක්. අනේක විද හැල හැප්පිලි, දුක් කම් කටොළු මැද්දෙ මෙයාලා ආපු මේ ගමන හරිම ආඩම්බරකාරයි.
ඒ නිසාම වගේ අලි, ඇත්තු අතරෙත් ඉතිහාසයෙ නම් දරාපු වීර චරිත තියෙනව, තමන්ගෙ වරිගය වෙනුවෙන් නැත්නම් බුදු දහම වෙනුවෙන් පෙළක් වෙලාවට රට වෙනුවෙන් පවා කටයුතු කරන්න ගිහින් ජීවිතය පුදපු. ඉතින් එහෙව් සත්ව කොට්ඨාශයක් ගැන ගුණ කථනය කරන එක සත්තුන්ට ආදරෙන් ඉන්න අපේ යුතුකමනෙ. අන්න ඒ නිසයි අපි හිතුවෙ ඇත් පරපුරේ නම තියපු ශ්‍රේෂ්ඨ ‘ඇත්’ තුන් නමක් ගැන විස්තරයක් කෙටියෙන් හරි ඔයාලට කියන්න.
ගොඩක් දුරට මේ කතා තුනේම අවසානයන් ඔයාලගෙ ඇස් අගට කඳුළක් ගේන්න ඉඩ තියෙනව. හැබැයි ඒ කඳුළු ඇතුලෙ හැංගුනු ලොකු අභිමානයකුත් එක්ක.
1. කණ්ඩුල (කඩොල් ඇතා)
ගැමුණු කුමාරයගෙ උත්පත්තියත් එක්ක සිද්ධ වෙච්ච අපූරු සිදුවීම් අතරෙ, කොට විල්තෙර (වර්තමාන තංගල්ල, කපුහේන් වෙල) කඩොලානෙදි ධීවර පිරිසකට පුංචි ඇත් පැටියෙක් හමුවන කතාවත් උඩින්ම තියෙනව. ධීවර පිරිස ඒ ඇත් පැටියව ගෙනැල්ල භාර දෙන්නෙ කාවන්තිස්‌ස රජතුමාට. කාලයාගේ ඇවෑමෙන් කුමාරයත් එක්ක ලොකු වෙන කඩොල් තමයි කණ්ඩුල නමින් රට වෙනුවෙන් යුද්ධෙට යන්නෙ.
දන්නවද? මහා වංශයෙ හැටියට එළාර රජතුමාගෙ මහා පබ්බත ඇතා එක්ක කරට කර සටන් වැදුනු කණ්ඩුල තමයි රට වෙනුවෙන් ඉස් ඉස්සෙල්ලාම යුද්ධෙට ගියපු හස්ති රාජයා. කියවල නැත්නම් කියවන්න, විජිත පුර සටන ගද්‍ය පන්තියෙ තියෙනව කණ්ඩුලගෙ යුධ විස්කම්. ලේ වැගිරෙන තුවාල තියෙද්දිත් කණ්ඩුල සටනට ගියපු හැටි, වෙදැදුරෝ කණ්ඩුලට ප්‍රතිකාර කරපු හැටි, හරිම රසවත්.
ඒ විතරක් නෙවෙයි කණ්ඩුල කියන්නෙ ලොකු පින් බල මහිමයක් හිමි ඇතෙක්. රුවන් වැලි සෑයෙ ඉදිකිරීම් කටයුතු වලට අනන්ත අප්‍රමාණව දහදිය වගුරවපු කණ්ඩුල මිය ගියාට පස්සෙ මිහිදන් කරල තියෙන්නෙත් රුවන් වැලි සෑ මළුවෙ මයි.
ඒ නිසාම ගොඩ දෙනෙක් විශ්වාස කරන්නෙ කණ්ඩුලගෙ දළ දෙක රුවන් වැලි සෑ මළුවෙම නිදන් ගත වෙලා ඇති කියල. ඒත් වර්තමාන මතයට අනුව නම් කඩොල් ඇතුගේ දළ දෙක තියෙන්නෙ කතරගම දේවාලයෙ.
2. පනාමුරේ
“අපි හැම දෙනෙක්ම අපේ ගම් බිම්වල ජීවත් වුණේ එකා වගේ. අපේ රැහේ එකෙකුට දරුවෙක් ලැබුණොත් අපි හැමෝටම කිරු එරුණා. එහෙම හිටපු අපේ එවුන් කොටු කරගෙන වද දෙන හැටි මම කොහොම බලා ඉන්නද?…
හිතට ආපු ආවේගය කොහොමත්ම පාලනය කරන්න අමාරුයි. මේ මහ රූස්ස ගස් කඳන් මට අභියෝගයක් නෙවෙයි. ක්ෂණයකින් මේ හැම එකක්ම සුනු විසුණු කරගෙන නැඟිටින්න හිතෙනවා.
මිනිස්සුන් ගෙන් අපේ වරිගෙ ඇත්තන්ට වෙන හානිය එන්න එන්නම දරුණු වෙනවා. අනිත් හැම දෙනෙකුම කන්න බොන්න නැතුව ඩිංග ඩිංග අඩපණ වෙද්දි ඔවුන් එයාලව මෙල්ල කරගන්නවා.
කොහොමටවත් ඒකට නම් ඉඩ දෙන්න බෑ. මගේ හිතේ තවමත් මට උරුම වුණු සද්දන්ත කුලයේ අපූරු ශක්තිය, ධෛර්යය නොඅඩුවම තියෙනවා. මගේ එවුන් වෙනුවෙන් ජීවිතේ තියෙනතුරු මම සටන් වදිනවා…!” උපුටා ගැනීම: සිළුමිණ, හේමාලි විජේරත්න
රත්නපුර, කෑගල්ල යා වුනු අක්කර 90,000ක මහ කැළයක්. අයිතිකරුගෙ නම ෆ්‍රැන්සිස් මොළමුරේ. ඔහුට අයිති අක්රක 64ක ඇත් ගාලෙ මෙල්ල කරල තියෙන අලි ඇත්තු ගාණ 2550කට ආසන්නයි.
1950 අගෝස්තු 9 වෙනිදා හිමිදිරි හිරු කිරණ මහ පොළව සිප ගත්තට මොකද සතුටු සිනා මුව ගැන්වුනේ නම් සුද්දන්ගෙ විතරයි. වරිගයෙ එකා දෙන්නා මෙල්ල වුනත් අඩි 9ක් උස අඩි 13ක් දිග පනාමුරේ සද්ධන්ත අලි රජු 8 වෙනි දවසෙත් දෙපයින් නැගිටල හිටියෙ ගාල කඩා ගෙන කට්ටියත් අරන් පැනල යන සටන දියත් කරන්න. ගත්තු හැම උත්සාහයක්ම අසාර්ථක වෙලා තියෙද්දිත් මොලමුරේ තමන්ගෙ දළ ඇතාව පනාමුරේ අලියා ලඟට යැව්වෙ අන්තිම උත්සාහය කියල හිතා ගෙන නෙවෙයි. ඒත් සිද්ධ වුනේ හීනෙකින් වත් නොහිතපු දෙයක්. පනාමුරේ ගහපු පාරවල් වලට මොලමුරේගෙ ඇතා වැටුනෙ විසි වෙලා ගිහින්. ඒ කේන්තියටත් එක්ක තමයි මොලමුරේ, සැමුවෙල් කදිරගාමර්ට අණ දුන්නෙ පනාමුරේව මරන්න කියල.
ඉර අවරට යන්න හිතල වත් තියෙන්න නැතුව ඇති. පනාමුරෙත් එහෙම්මයි. තවමත් සටනෙ. ඒත් මොනව කරන්නද? කොහෙන්දෝ ආපු උණ්ඩයක් පනාමුරේගෙ හිස සිප ගත්ත. ගමේ මිනිස්සුන්ගෙ ඇස් වලින් කඳුළු දෝර ගලද්දි මේ සද්ධන්තයා බිම පතිත වුනේ පිටි පස්ස කකුල් දෙකෙන්. මැරෙද්දිත් ඔළුව කෙලින් මහත්තයො.
මතක තියා ගන්න, ඒ ලංකාවෙ ඇත් ගාල් වල අවසානය.
උපහාරය… පනාමුරේ පනාමුරේ
පනාමුරේ ඇත් රාජා…
3. රාජා (මාළිගාවේ රාජා)
එම්. උමේරු ලෙබ්බේට 1925 අවුරුද්දෙදි මන්නාරම් කැළෑවෙන් අලි පැටව් දෙන්නෙක් හමු වෙනව. ඔහු ඒ අලි පැටව් දෙන්න විකුණන්නෙ මහනුවර මාම්පිටිය වලව්වෙ පුංචි බණ්ඩාර දිසාවේට. දිසාවේ ලඟ හැදෙන වැඩෙන අලි පැටව් දෙන්නට නම් වැටෙන්නෙ රාජා, දත් පූට්ටුව කියල.
හොඳට හැදුනු වැඩුනු රාජගෙ උස අඩි 8ක්. මාළිගාවෙ නිළමෙට පූජා කලාට පස්සෙ තමයි රාජට කරඬුව වඩම්මන්න අවස්ථාව ලැබෙන්නෙ. දළදා කරඬුවත් එක්ක රාජගෙ තියෙන්නෙ පුදුම ලබැඳියාවක්. කොටින්ම කියනව නම් 1955 පෙරහැරේ යන ගමන් නුවර ක්වීන්ස් හෝටලය ලඟ නැවතුනු රාජා කරඬුවෙ රන් සිවි ගේ බැඳල තිබුනු පටි ටික තද කරන කම් අඩියක් වත් හෙල්ලිලා නෑ.
එක පාරක් නුවර කටුගස්තොටදි රාජට කේන්ති ගිහින් ලොරියකට ගහල. බැලින්නම් ඒක රා ගෙනියන ලොරියක්ලු. එතනදි සිද්ධ වෙච්ච සුවිශේෂීම සිද්ධිය තමයි මිනිස්සු කල බල වෙලා එහේ මෙහේ දුවද්දි කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉඳපු අන්ධ මනුස්සයෙක්ව රාජා හොඬෙන් අරන් පැත්තකින් තියපු එක. ඒ විතරක් නෙවෙයි 1959 පෙරහැරේ අලි කුලප්පුව වෙලාවෙත් රාජා නෙවෙයි එක පොඩ්ඩකට බය වෙලා තියෙන්නෙ. අඩියක් වත් හෙල්ලිලා නෑනෙ මේ සතා.
1986දි තමන්ගෙ ආදරණීය භාර කාර ඇත් ගොව්වා අසනීප වුනු නිසා රාජා තනියෙන්ම කරඬුව වඩම්මන වැඩ ටික බලා ගත්තා කියල කතාවකුත් තියෙනව. කොහොම වුනත් 1987 රිය අනතුරෙන් පස්සෙ ඔත්පල වුනු මාලිගාවෙ රාජා තේජස් පිට අවසන් ගමන් යන්නෙ 1988 ජුලි 16.
මේ ඇත් තුන් නම හැරුණාම සියඹලන්ගමුවෙ ඇතා, හෙයියන්තුඩුවේ රාජා, මිල්ලන්ගොඩ රාජා, ඉන්දු රාජා වගේ ඇත්තු ගැනත් විස්තර අපි ලඟදිම ඔයාලට ගේනව. ඒ නිසා ඊට කලින් ඔයාලා දන්න කියන, ලංකා ඉතිහාසයට නම ගෙනියපු අපේ අලි ඇත්තු ගැන අපිට කියන්න හොඳද.