1. කොල්ලු ව්‍යාංජනය
කොල්ලු ටික ගරලා හෝදලා වතුර බේරෙන්න තියන්න. තියලා වතුර බේරුනාට පස්සෙ රන්වන් පාටට එනකම් කබලෙ බැදගන්න. බැදලා වංගෙඩියක හරි, ග්‍රයින්ඩර් එකක හරි, ටිකක් කෑලි තියෙන්න කොටා ගන්න. ඊට පස්සෙ මැටි වළඳකට දාලා තුනපහ, මිරිස්, කහ, ලුණු පදමට එකතු කරලා වතුර ටිකක් වැඩිපුර දාලා තැම්බෙන්න තියන්න ඕන. කොල්ලු ටික තැම්බීගෙන එනකොට හීනියට කපාගත් ලූනු, කරපිංචා, අමුමිරිස්, සුදුලූනු වෙනම තෙම්පරාදු කරලා මේ කරියට එකටම එකතු කරලා… අන්තිමට මිටි කිරි ටිකක් දාලා දෙපාර නටද්දි බාන්නයි තියෙන්නෙ.
2. වැල් තිබ්බටු කොළ ව්යෑංජනය
මුලින්ම වැල් තිබ්බටු කොළවල හීනි කටු පිහියෙන් රැහැලා අයින් කරගන්න ඕන. ඊට පස්සෙ ඒකත් එක්ක ඉඟුරු, සුදුලූනු එකට අඹරපු ගුලියක් මැටි ඇතිළියකට දාලා හොඳට අතගාන ගමන්… පොල්කිරි, හීනියට ලියපු රතුලූනු, අමු මිරිස්, ලුණු එකතු කරලා, ආයෙත් පොඩ්ඩක් අතගාලා ලිපේ තියන්න. තියලා ඉතින්… කිරි ටික දෙපාර නටනකොට, අනිවා බාන්න ඕන!
3. අලකොළ ව්‍යාංජනය
අලකොළ… වැස්ස කාලෙදි සාමාන්‍යයෙන් නොකන කෑමක්. කෑවත් කන්නෙ කඩලා, හෝදලා, දුමේ හරි වේලෙන්න තියලා. නැත්නම් සාමාන්‍ය දවසකට නම්, සෝදලා වතුර බේරෙන්න තිබ්බාම ඇති.
මුලින්ම අලකොළ මෝරපු දඬු කපලා අයින් කරගන්න ඕන. ඊට පස්සෙ හීනියට ලියා ගන්නත් ඕන. ලියලා… භාජනයකට දාලා, ඒකටම දාගන්න පොඩියට කපපු රතුලූනු, සුදුලූනු, රම්පෙ, කරපිංචා එක්ක දියකිරි. දාලා මදගින්නෙ ලිප තියන්න. තියලා අනික් පැත්තටම අඹරාගත්තු ගොරකා, මිරිස්, කහ, තුනපහ එකතු කරන්න. කරලා හොඳට හැඳි ගාන අතරට දියකිරි බාගෙට හිඳෙද්දි මිටි කිරි දැම්මා… තියෙනව නම් උම්බලකඩ ටිකකුත් ලියලා දැම්මා, පදමට ලුණු එකතු කළා… මිටිකිර හිඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෑවා…
ආහ්… මේක කන්න පංකාදුවට ගැලපෙනවා රතු බතක් හොඳද.
4. පැළ මුං තෙම්පරාදුව
පැළ මුං හදාගන්න විදිය දන්නව නේ? හරිම ලේසියි වැඩේ. මුං ඇට ටිකක් හෝදලා, ගරලා බොල් අයින් කරලා වතුරෙ දාලා තියන්න. වරුව දෙක යද්දි මොටෙයි ඇදෙන්න ගන්නවා. අන්න ඊට පස්සෙ ඒකෙ වතුර පෙරලා… වෙනමම පෑන් එකක බටර් ටිකක් රත් කරගන්න, මුං ටික ලාවට බැදගන්න. කරගෙන මුං පදමට බැදෙද්දී… මුං ටික පෑන් එකේ පැත්තකට කරලා තෙලට දාන්න කෑලි මිරිස්, ඉඟුරු සුදුලූණු තළලා, බැදපු තුනපහත් දශමයක් වගේ. ඒ එක්කම කරපිංචා කොළ ටිකක් එහෙමත් දාන්න. දාලා සුවඳ ගහද්දි ඉතින් සියල්ල කලවම් කරලා බාන්න පුළුවන්. එහෙම නැත්නම්… අර මිරිස් අඩුම කුඩුම ටික බැදෙද්දි ඒකට බිත්තරයක් කඩලා දාලා, කැරලි වෙන්න හැඳිගාලා… දිය කිරෙන් නටවල ගන්නත් පුළුවන් ඈ…