පෝර්ක් කිව්වාම ඉතින්! නේ…
කඩෙන් කෑවාම මොකෝ ගෙදරින් කෑවාම මොකෝ. හැබැයි ඉතින් කඩෙන් කනව වගේ නෙවෙයි ගෙදරදි කද්දි, පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව. අනිත් එක, ඒවා හදාගන්නත් හොඳහැටි දැනගන්න වෙනවනෙ. ඊටත් ඒකෙ අමුතු ගතියකුත් තියෙනව. කඩේට ගිහිල්ල බඩු ටික ගෙනැල්ල තමන්ගෙම රෙසිපියකට වැඩේ කරද්දි? කරල, අන්තිමට රස පෝර්ක් පිඟානක් හිතේ හැටියට රස බලද්දි?
සුප්ප නේ…
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ හැමදාම කඩේට ගිහිල්ල කන බ්ලැක් පෝර්ක්, පෝර්ක් කරි, ඩෙවිල් පෝර්ක් වලින් එහාට ගියපු අළුත්ම රෙසිපි ටිකක් ඔයාලට කියන්න. ඒවා හදල බලන එක නම් ඔයාලට බාරයි. හැබැයි ෂුවර්, මේවා හැදුවොතින් නම් ගෙදර කුස්සිය බාර උදවිය පරාදයි!
1. දුමේ පෝර්ක්
කිව්ව ගමන් හිතෙයි මේක වෙස්ටර්න් ටයිප් කෑමක් කියල. නෑ… සම්පූර්ණ වැරදියි. මේ අපේ ලංකාවෙ පාරම්පරික මස් වේලපු ක්‍රමයක්. මේකෙදි මුලින්ම කරන්න තියෙන්නෙ ලුණු, ගම්මිරිස්, ගොරක, සියඹලා, දෙහි, අබ, සුදුලූණු, එනසාල් හරි කරාබුනැටි හරි ඇඹරුමක් එක්ක මස් ටික පදම් කරන එක. හැබැයි ඒකෙදි අල්ලක් සයිස් එකට වගේ මස් ටික කැපිලා තියෙන්න ඕන. අනිත් එක, ඒ පදම් කිරිල්ල වරුවක් වත් කෙරෙන්න ඕන. ඊට පස්සෙ මිරිස් කුඩු, කහ, බැදපු තුනපහ මිශ්‍රණයක මස් ටික අතගාලා, වරු බාගයක් විතර ගියාට පස්සෙ පෙත්තෙන් පෙත්ත වෙන වෙනම කෙහෙල් කොළවල ඔතලා දුමේ දාන්න. ගෙදර දර ලිපක් නැත්නම් ඉතින් එළියෙ ලිපකින් තමයි වැඩේ කරගන්න වෙන්නෙ. කොහොම හරි ඉතින් පෝර්ක් පෙත්ත, අඩුම වරුවක් වත් දුමේ තියෙන්න ඕන හොඳද.
2. පෝර්ක් තෙල් දැමුම
කරවල මොකෝ පෝර්ක් මොකෝ කියල කොහොමද පෝර්ක් තෙල් දැම්මොත්. හැබැයි ඉතින් ඊට කලින් පෝර්ක් කෑලි ටික පෑන් එකේ ෆ්‍රයි කරගන්න ඕන. ඒකත් තෙල් නොදා. ඒ කියන්නෙ පෝර්ක්වල තියෙන තෙල් ටිකෙන්ම කෑලි ටික පිච්චෙන්න. එහෙම කරල ඒ පෑන් එකටම ලූණු, සුදු ළූණු, කෑලි මිරිස්, කොච්චි ටිකක්, රම්පෙ කරපිංච දාලා හොඳට කලවම් කරල ගන්නයි තියෙන්නෙ. ඕන නම් ඉතින් මාළු මිරිස් කරලක් වගේ වුනත් ලියල දාගන්න පුළුවන්.
3. පෝර්ක් ඇඹුල් තියල්
මේවා ඉතින් අපි කලිනුත් කියල තියෙනව.
කාරි නෑ, ආයෙත් මතක් කරන්නම්කො. ඇඟිලි පුරුකක් සයිස් එකට පෝර්ක් ටික කපල දාන්න මැටි ඇතිලියකට. ඊට පස්සෙ පදම බලල මිරිස් කුඩු, කහ, බැදපු තුනපහ, මස් කරි පවුඩර් ටිකත් දාන්න. දාලා… හොඳට අතගාලා… පැයක් හමාරක් පදම් වෙන්න තියන අතරට හදාගන්න රම්පෙ කරපිංච, ගොරක, සියඹලා, සුදු ලූණු, අබ, බැදපු පොල් ඇඹරුමක්. පස්සෙ ඒකත් දාලා පෝර්ක් ටික හොඳට අතගාන්න. ඒ අතරට මතක ඇතුව දෙහි ගෙඩියකුත් දාන්න. කොහොම හරි වරු බාගයක් වගේ මස් ටික පදම් වෙන්න ඇරලා, මස් මට්ටමටම වතුර දාලා බොර ඉතුරු වෙනකම්ම හින්ද ගන්න. ඊට පස්සෙ ඉතින්… පාන්, පරාටා, ගෝදම්බ රොටි එහෙම නතින්ග්!
4. කිරි පෝර්ක්
කිරි මාළු කෑවට පෝර්ක් කිරට හැදුව නම් ඒ ඉස්ටු විතරයි නේ?
ඒකනෙ කියන්නේ… මාළු වගේම පෝර්කුත් කිරට හදන්න පුලුවන්. හැබැයි ඊට කලින් පෝර්ක් කෑලි පොඩියට කපාගෙන මස් කෑලි තරමක් පෑන් ෆ්‍රයි කරලා, තෙල් කෑලි හොඳටම පෑන් ෆ්‍රයි කරගන්න ඕන. ඊට පස්සෙ ඒ ටික ලුණු, ගම්මිරිස්, ඉඟුරු, සුදු ලූණු, දෙහි මිශ්‍රණයක ටික වෙලාවක් පදම් වෙන්න අැරලා මුලින්ම දිය කිරෙන් හින්ද ගන්න. ඒ අතරට අමු මිරිස්, රතු ළූණු ටිකකුත් දාන්න අමතක කරන්න එපා. කොහොම හරි දිය කිරි හිඳීගෙන එද්දි මිටිකිරි දාලා දෙපාර උතුරද්දි බාලා ගත්ත නම් හරියටම හරි.
5. චීස් පෝර්ක්
බේකන් ගන්න සල්ලි නැත්නම්…
ගන්න අල්ලක් විතර සයිස් පෝර්ක් කුට්ටියක්. අරගෙන හොඳට කැපෙන පිහියකින් හැකි උපරිම තුනී පෙති කපාගන්න. කපාගෙන ඒ ටික පෑන් එකට දාලා මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු, එක්ක හොඳ හැටි ෆ්‍රයි කරගන්න. ඊට පස්සෙ ඕන කරන්නෙ පතෙි පාන් ගෙඩියකුයි චීස් පෙති ටිකකුයි. මුලින්ම පාන් පෙත්තක් පෑන් එකට දාලා බටර් ටිකක් එක්ක ලාවට ෆ්‍රයි වෙද්දි ඒ උඩට චීස් පෙත්තක් දාලා ස්නිකවම ෆ්‍රයි කරගත්ත පෝර්ක් පෙත්තකුත් දාන්න. දාලා ඉවරවෙලා ඉතින් ඕන නම් ඒක උඩට අමු මිරිස්, ලූණු අඩුම කුඩුම ටිකකුත් දාන්න පුළුවන්. අන්තිමට කරන්න තියෙන්නෙ පාන් පෙත්ත පොඩ්ඩ අඩි අල්ලගෙන එද්දි බාලා කරලා කාලා බලන එක තමයි.
ආයෙ ඉතින් වගකීමෙන් කියන්න පුලුවන් එක පාරක් මේවා කෑවොත් අනිවා තව පාරක් හදල බලනව කියල. අනිත් එක තමයි… අපිත් ආසයි ඔය වගේ ඔයාලා දන්න තව මොනව හරි පෝර්ක් කෑම තියෙනව නම් දැනගන්න. මොකද ඒවා හදල කරල, රස බලල අපේම යාලුවන්ට කියන්න පුළුවන්නෙ.