හැමෝම කැමති කොච්චර වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න. ඒත් ඉතින් අපි කොච්චර කැමති වුණත් තරුණ කාලේ හැම දාම පවතින්නෙ නෑනෙ. අවුරුදු තිහ හතලිහ වෙද්දි හැමෝම ශාරීරිකව සහ මානසිකව වියපත් වෙන්න පටන්ගන්නවා. ඒ සිද්ධ වෙන හුඟක් ශාරීරික වෙනස්කම් අපිට අඳුනගන්න පුළුවන් ඒවා. ඒත් සමහර වෙනස්කම් තියනවා අපි නොදැනුවත්වම අපේ ශරීරයේ සිද්ධ වෙන. මේ කියන්න යන්නෙ ඔබ දැනගෙන හිටියෙ නැති එවැනි වෙනස්කම් කීපයක් ගැන.
මොළය
කතාවට කියන්නෙ මිනිස්සු වයසට යන්න යන්න මොළේ පෑදෙනව කියල නේ. හැබැයි දන්නවද? වයස අවුරුදු 30 පැන්නම මිනිස් මොළයේ ඇතැම් කොටස් හැකිළිලා පුංචි වෙන්න පටන්ගන්නවා ලු. ඒ කියන්නේ දිනකට දළ වශයෙන් නියුරෝන 50000ක් පමණ මොළයට අහිමි වෙනවා. කොහොම වුණත් මේ ගැන කලබල වෙන්න දෙයක් නෑ. මොකද මේක ස්වාභාවික තත්ත්වයක්. ඒ වගේ ම ඒ ඒ වයසට අනුව හැඩ ගැහෙන්න මොළය දන්නවා.
දත්
වයස අවුරුදු 30න් පස්සෙ ඔබේ දන්ත සංවේදීතාව අඩු වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් ඔය උණු ම උණු, නැත්තං කූල් මොනාහරි කෑමක් බීමක් ගන්නකොට දත් හිරිවැටෙන ගතිය එහෙම අඩු වෙනවා. මේකට හේතුව ඩෙන්ටින් කියන පටකය අපි වයසට යද්දි ශක්තිමත් වීම.
දහදිය
අවුරුදු 30 ඉක්මවූවට පස්සෙ ඔබට දාඩිය දාන්නේ අඩුවෙන්. පුංචි කාලේ සහ අවුරුදු විසි ගණන්වලදි ශරීරයට දාඩිය දාපු තරම් 30න් පස්සේ දාඩිය දාන්නෙ නෑ. මේ තත්ත්වය කාන්තාවන්ට විශේෂයි.
නියපොතු
වයසට යන්න යන්න අපේ නියපොතු වැවෙන වේගය අඩාල වෙන බව ඔබ දැනගෙන හිටියද? තරුණ කාලේ අපේ නියපොතු ඉතා වේගයෙන් වැවෙන බවත්, වියපත් වෙන්න වෙන්න මේ වේගය අඩු වෙන බවත් පර්යේෂණවලින් හෙළි වෙලා තියනවා. රුධිර සංසරණය මන්දගාමී වීම මීට හේතු වෙන බව කියැවෙනවා.
පෞරුෂත්වය
කෙනෙක් ගැන වටහාගන්න හොඳ ම ක්‍රමයක් තමයි ඒ කෙනාගේ පෞරුෂත්වය නිරීක්ෂණය කරන එක. මේ පෞරුෂත්වය කියන දේ නිර්මාණය වෙන්නේ පුද්ගලයෙකු මානසික සහ කායික වශයෙන් කොයි තරම් ස්ථාවර ද කියන කරුණු මත. කොහොම හරි පොඩි කාලේ සහ තරුණ කාලේ තමන්ට ම කියලා අනන්‍යතාවක් හොයමින් විසිරිලා තිබුණු ඔබේ පෞරුෂය, අවුරුදු 30න් පස්සේ සෙට්ල් වෙන්න පටන්ගන්න බව පර්යේෂකයන් කියනවා. ඒ අනුව ඔබේ ශරීරයත් ඒ පෞරුෂයට අනුව හැඩ ගැහෙනවා.