බත් එක රස ඇති දාටත්, නැති දාටත්
රස කර කර කන්න
හදාගන්න පොඩි බැදුමක්
රස වැහෙන පිරවුමක් එක්ක.
මොකද ඒක මාර ගති!
සත්තයි යාළු, වෙන දෙයක් තියා හරියට හැදුවොත් මාළු මිරිස් පිරවුමක් වුණත් පංකාදු පහයි, ආ.. නැද්ද කියන්නකො. අනික ඒ වගේ දෙයක්, ඔය පවුලේ උදවිය පොඩි පොඩියට සෙට් වෙන රෑ කෑම මේසෙට වුණත් හරියනවනෙ. හැරත්, හදාගන්නත් ඒ හැටි මහන්සියක් නෑ. කිරට, මිරිසට හදන ඕන කෑමකටත් පෑහෙන නිසා දෙපාරක් හිතන්න දෙයකුත් නෑ.
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, මෙදා පාර ඔයාගෙ කෑම මේසෙ රස කරන්න, මේ වගේ බැදුම්, පිරවුම් ටිකක් ගැන කියන්න.
හැබැයි ඔට්ටුයි, ගෙදර හදනව තියා ඔයා මේවා ජීවිතේටවත් කාලා නම් නෑ කියල.
ඒ නිසා… අද හෙටම, ගෙදර කෑම වේල අල්ලල, එකක් දෙකක් හදල බලන්න, හොඳේ!
1. බිත්තර මාළු මිරිස්
දැන් ඉතින් කට්ටිය කට ඇරගෙන බලන් ඇති මේ මොකක්ද බොලේ මේ කියල.
ලොකු වෙනසක් නෑ. වෙනදට ඔයාලා නොසෑහෙන්න මහන්සිවෙලා මාළු මිරිස් පිරවුමට හදන අල, සැමන්, කැරට්, ලූණු තෙල්දැමුම වෙනුවට මෙදා පාර බිත්තරයක් කැරලි වෙන්න දාගන්නයි තියෙන්නෙ. හැබැයි මතක ඇතුව අබ, ලූණු, මිරිස්, ගම්මිරිස්, ලුණු දාන්න. ඒ හැරුණාම ඉතින් සෝයා සෝස් ටිකක් එහෙමත් දැම්මට කමක් නෑ. කොහොම හරි මාළු මිරිස් කරලට බිත්තර පුරවද්දි, කරලෙ මැද සම්පූර්ණයෙන්ම හිස් කරගන්න. මොකද, නැත්නම් සැර වැඩි වෙන්න ඉඩ තියෙනව. අන්තිමට ඉතින් සුපුරුදු පරිදි දවටල, ගැඹුරු තෙලේ බැදල රස බලන්නයි තියෙන්නෙ.
2. කොච්චි පතෝල
ෂප්පේ… මෙන්න කෑම. ආයෙ නිකම් වුණත් කන්න පුළුවන්. එහෙමයි කියල බත් කන්න, අල බතල, කොස් තම්බපුව කන්නත් නරකම නෑ. හැබැයි ටිකක් සැර නිසා පරිස්සමට.
මේක හදාගන්නෙ මෙහෙමයි. ඉස්සෙල්ලම පතෝල කරලක් අරගෙන මැද්ද රැහැලා සුද්ද කරගන්න. ඊට පස්සෙ ඒක පැත්තකින් තියල, තම්බපු අර්තාපල් එක්ක සැමන් හරි මාළු හරි අරගෙන පොඩි කරල තෙල් දාගන්න. තෙල් දාද්දි මතක ඇතුව අබ, ලූණු, සුදු ලූණු, මිරිස්, ගම්මිරිස්, ලුණු එහෙමත් දාන්න. වෙනසකට වගේ ලීක්ස්, කැරට් ටිකකුත් දැම්මට කමක් නෑ. කොහොම වුණත් මික්ෂර් එක බාන්න ඔන්න මෙන්න තියල හීනියට ලියා ගත්ත කොච්චි හරි ගලේ අඹර ගත්ත කොච්චි හරි එකතු කරන්න. අන්තිමට ඉතින් පතෝල කරලට මික්ෂර් එක පුරවල දවලට බැදගන්න තියෙන්නෙ.
3. චීස් දැල්ලො
නිකම් කිව්වට, මේවා සෙල්ලම් කෑම නෙවෙයි හොඳේ. රියල් ශ්‍රීලංකන් චයිනීස්.
දැල්ලා අරගෙන මැද්ද සුද්ද කරල හොඳට හෝදල කහ, ගම්මිරිස්, ගොරක මික්ෂර් එකක ටිකක් පදම් වෙන්න තියන්න. තියල හීනියට ලියපු කැරට්, ලීක්ස්, ලූණු, ලුණු, ගම්මිරිස් ටිකකුයි මොසරැල්ලා චීස් ටිකකුයි එකට දාලා කලවම් කරපු මික්ෂර් එකක් ලෑස්ති කරගන්න. පස්සෙ දැල්ලගෙ එක පැත්තක් ටූත් පික් එකක් ගහල වහල අනික් පැත්තෙන් මික්ෂර් පුරවන්න. පුරවල ඉවර වෙලා, අනික් පැත්තටත් ටූත් පික් එකක් ගහල සීල් කරගත්ත නම් බය නැතුව ගැඹුරු තෙලේ බැදගන්න පුළුවන්.
ඊට පස්සෙ ඉතින්, තෙල් බේරෙන්න තියලා කපල කන්නයි තියෙන්නෙ.
4. නිවිති රැප්ස්
පරිප්පුවලට නිවිති දාලා නොකන අයට මෙන්න හොඳම විසඳුම.
අල්ලක් සයිස් හරි ඊට ලොකු හරි නිවිති කොළ ටිකක් සෝදල කරල අරගන්න. අරගෙන ඒ මැද්දට ඔයාට කැමති දෙයක් තියන්න පුළුවන්. හැබැයි හොඳ සැරට හදපු මික්ෂර් එකක් වෙන්න ඕන. හොඳ සැමන් තෙල් දැමුමක්, බිත්තර කැරලි, සොසේජස් හරි මස් හරි තෙල් දැමුමක් වගේ. ඒ එක්කම මතක තියාගන්න, මික්ෂර් අතුරන්න කලින් හොඳට නිවිති කොලේ හොඳට ලුණු ගාන්න අමතක කරන්න එපා. මොකද නැත්නම් රස පදම එන්නෙ නෑ. ඊට පස්සෙ ඉතින් කොලේ, හැඩේට නවල ටූත් පික් එකක් ගහල බිත්තර සාරු, පාන්කුඩුවල දවටල ගැමුරු තෙලේ බැදගන්න. සෑහෙන වෙනස් රසක් වේවි. හැබැයි ටොප් එකට තියේවි.
5. චිකන් කෙසෙල්මුව
කිව්වට සමාවෙන්න, මේක බැදුමක් නම් නෙවෙයි, පිහුමක්.
ඒත් මේ ලැයිස්තුවට දාන්න ඕනමයි කියල හිතුවෙ, ඔතල කරල උයන නිසා.
මේකෙදි ඕන කරන්නෙ කෙහෙල් මුවයි, මස් වර්ගයකුයි තමයි. පෝර්ක් එහෙම වුණත් අවුලක් නෑ. හැබැයි හොඳට හෝදල කරල මිරිස් තුනපහ, කහ, ලුණු ගම්මිරිස්, අබ ගොරක, සුදු ලූණු දාලා පදම් කරල ගන්න ඕන. ඒ අතරට කෙහෙල් මුවේ පෙති වෙන් වෙන්ව ගලවල ඒවත් ලුණු ඇඹුල් දාලා පදම් කරගන්න. ඊට පස්සෙ කෙහෙල් මුව පෙත්ත මැද්දට මස් තියල ටූත් පික් එකකින් සීල් කරගන්න. මේවා පුළුවන් තරම් පොඩියට හදාගන්න තරමට තමයි රස වැඩි වෙන්නෙ. අන්තිමට කොහොම හරි ඇතිළියකට තෙල් ටිකක් ලිපේ තියල රම්පෙ කරපිංච, අබ දාලා හදාගත්ත කෑලි ටික දාලා ලාවට බැදෙද්දි සාමාන්‍ය මස් කරියක් හදා ගන්න විදියට හදාගත්ත නම් ටොපේ ටොප්! හැබැයි හොදි නම් තියන්න එපා. අඩි අල්ලන ගානට හරි හින්දුවත් කමක් නෑ.
ඒ හැරුණාම ඉතින් පදම් වුණාට පස්සෙ මේවා දවටල බැදල කන්නත් පුළුවන්. හැබැයි ඉස්සෙල්ලම අපි හදල බලල කියන්නම්. මොකද අවුලක් ගියොත් එහෙම. අනික මස් නේ…? කෙහොම වුණත් ඔයාලා දන්න මේ වගේ කෑම ජාති තියෙනව නම් ඒවත් අපිට කියන්න. අපිටත් හදල කරල රස බලන්න බැරියැ.