කරුණාවයි කරුණාවයි…
සමන් දෙවිඳු කරුණාවයි!
බෙග් මහත්තයගෙ හඬ දෙසවන වැකෙද්දිම බෞද්ධ අපේ හිත්වලට එන්නෙ අපූරු සිතිවිල්ලක්. ගොඩක් වෙලාවට ඒක පින්බර පෝය දවසක උදාවක් වගේ හැඟෙන්න පුලුවන්. වැඩි හරියක්ම ඒ වෙසක්, පොසොන්, ඇසල වගේ පෝය දවසක් වුනාට මොකද උඳුවප් පෝය කියන්නෙත් අපි නොහිතා නොපතාම වැඳුම් පිදුම් කරන පෝය දවසක්. වෙන දෙයක් නිසා නෙවෙයි බෞද්ධ අපේ මුදුන් මල්කඩ වගේ තියෙන සිරි පතුල කරුණා කරන කාලය පටන් ගන්න නිසා.
‘සිරිපා වාරේ’ කියන්නෙ ගොඩ දෙනෙක්ට සිරිපා කරුණා කරන්න යන්න උවමනාවක් ඇති වෙන ඒත් තේරිලා බේරිලා පොඩි පිරිසක් විතරක් යන අපූරු කාලයක්. උඳුවප් පෝයෙන් පටන් ගත්තාම වෙසක් පෝයෙන් තමයි මේ කාලය ඉවර වෙන්නෙ. ඒ අතරින් ලස්සනම පෝය දවස් දෙක විදියට මැදින් පෝයයි බක් පෝයයි හඳුන්වන්නත් පුලුවන්.
කොහොම වුනත් වාරෙ හැම පෝයකටම වගේ නම් සිරිපා මළුව සෙනඟින් පිරිලා. හැරත් සති අන්තත් හැම එකක්ම වගේ එහෙමයි. වැඩේ කියන්නෙ මේ වන්දනා නඩ අතරින් 70%ක් විතරම සිරිපා කරුණාවට තෝරගන්නෙ හැටන්, නල්ලතන්නි පාරනෙ. ඉතින් නිවාඩු දවස් වලට මේ පාරෙ පඩි පේලි දිගේ තියෙන්නෙ පුුදුම තදබදයක්, වැඩි හරියක්ම උඩට නගින්න. සමහර උදවිය පොඩි දරුවොත් වඩාගෙන පුදුම කට්ටක් කන්නෙ. ඒ හැරුණාම ආච්චිලා සීයල එහෙමත් ගොඩක් දුක් ගැහැට විඳිනව. බැති බර සිතේ අධිෂ්ඨානයෙන් දවස දෙක තුන වැය කරල හරි සිරි පතුල වැඳගෙන ආවට මොකද හැමදාමත් මෙයාලට මේ විදියට දුක් විඳින්න දෙන්න බෑනෙ.
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ සිරිපා කරුණා සමයෙ හැටන්, නල්ලතන්නි පාරෙ ඇතිවෙන තදබදයට විසඳුමක් දෙන්න. ඇත්තටම මේ වැඩෙන් තදබදය අඩු වෙන එක විතරක් නෙවෙයි අපේ කොල්ලො කෙල්ලන්ට අපූරු සොබාදහම් අත්දැකම්ක් ගන්නත් පුලුවන්.
මේ තියෙන්නෙ එදා මදා තුර හොයා ගත්තු, සිරිපා වන්දනාවටම කියාපු වනගත මංපෙත් 5ක්. හැබැයි මේ මංපෙත් 5 ගැන විස්තර දැන ගත්ත වගේ නෙවෙයි
“දාහකින් පිං අත්වෙයි, හැටන් පාර පොලිතින් වලින් සරසනව වගේ මේ පාරවල් පොලිතින් වලින් සරසන්නෙ නැතුව ආවොත්”
මොකද මේ පාරවල් හොඳ හැටි ගහ කොළ, මල් පළතුරු වලින් සැරසිලනෙ යාළු තියෙන්නෙ.
1. රත්නපුර, පලාබද්දල පාර
කොළඹ-රත්නපුර පාරෙ මලන්ගම හංදියෙන් හැරිලා හරි රත්නපුරට ඇවිත් මල්වල හරහා හරි ආවාම තමයි මල්වල, ශ්‍රී පා ගමට යන පාර මුණ ගැහෙන්නෙ. ඒ පාර දිගේ ශ්‍රී පා ගම පුරාණ විහාරය ලඟට ගියා නම් එතන ඉඳන් පලාබද්දල හරහා සිරිපා කඳු මුදුනට පිහිටල තියෙන පඩි පේලිය හොයා ගන්න අමාරු වෙන්නෙ නෑ. විහාරය ලඟින් පටන් ගන්න මේ පා ගමනෙ මුලු දුර කිලෝමීටර 9ක් විතර වෙනව.
ලොකු, තෙත් කලාපීය ජෛව විවිධත්වයක් තියෙන පලාබද්දල පාරෙ අඩු නැතුව සමනල්ලු, කුරුල්ලො, සර්ප, ගෙඹි විශේෂ එහෙම ඉන්න නිසා කොහොමටවත්ම පාළුවක් දැනෙන්නෙ නෑ. හැරත් මග දිගට හමුවෙන ලිහිණි හෙළ, කටු කිතුල වංගුව, ගැට නිටුල, කොඩිය, දිය බෙත්ම(ගජමන්සල, කළු ගඟ පටන් ගන්න තැන), ගෙත්තම් පාන, ධර්මරාජ ගල, සීත ගඟුල, හැරමිටි පාන වගේ තැන් වල සුන්දරත්වය අත් විඳ විඳ යද්දි මොන මහන්සියක්ද නේ? අනික පරණ ශ්‍රී පාද පාරෙ ගල් පඩි ටික දැක බලා ගන්න, නගින්න ඉඩ ලැබෙන්නෙත් මේ පාරෙන් ගියාමනෙ.
2. කුරුවිට, අඩවි කන්ද පාර
සිරිපා කරුණාවට කියාපුම පාර. සොබා දහමෙ සුන්දරත්වයත් හිතේ හැටියට අත්විඳින්න පුලුවන්. මේ පාරෙ දුර කිලෝමීටර 13ක් විතර දුර වුනාට මොකද ඝන කැළේ මැදින් වැටිලා තියෙන නිසා මහන්සියක් කාන්සියක් දැනුනත් එහෙමත් වෙලාවක තමයි.
කුරුවිට, එරත්න පාරෙන් අඩවි කන්ද, පලන්දෙනියට ඇවිල්ලා පිවිසෙන්න තියෙන මේ මං පෙතේ සීත ගඟුලට පහළින් ගොඩ දෙනෙක් නොදන්න සුවිශේෂී ස්ථානයක් පිහිටල තියෙනව. ඒ තමයි සමන්දේවාලය අවට කැළේ ඇතුලෙ පිහිටල තියෙන ලෙන්, කුටි ආරණ්‍ය ටික. වාරෙට කෙසේ වෙතත් පුලුවන් කෙනෙක් ඉන්නව නම් අවාරෙට ගිහින් ඒ ආරණ්‍යවල භාවනා කරන හාමුදුරුවරුන්ට දානයක් දෙන්න. ලොකු පිනක් සිද්ධ වේවි.
ඒ හැරුණාම ජම්බෝල ගහ, දියමොඳ ගල, වාන ගල, කුරු ගඟෙන් පෝෂණය වෙන වානගල දිය ඇල්ල, තුම්මෝදර වගේ ලස්සන තැනුයි සීත ගඟුලෙන් උඩ පැත්තෙ ඉඳිකටු පාන වටේට පිහිටල තියෙන බට ගාල්වල නිතර දෙවේලෙ හැසිරෙ කුරු අලියි බලන්න යන්නත් ඔයාලට පුලුවන්. හැබැයි මෙහෙමයි, අදටත් ඔය පැත්තෙ අලි දැකල තියෙන්නෙ නම් එක්කෙනයි දෙන්නෙක් විතරයි.
3. මාලිබොඩ, පන්දෙනිය පාර
කොහොම ගියත් මුළු දවසක්ම ගතවෙන කිලෝමීටර 13ක 14ක දුරක් තියෙන පාරක්. මේ ගමනෙදි කඳු දෙකක් තරණය කරන්න වෙනව. ඒ කරල දෙවනි කන්ද බැහැගෙන එද්දි තමයි කුරුවිට පාරට සෙට් වෙන්නෙ. බය වෙන්න එපා එතන ඉඳනුත් සිරිපා කරුණාවට තව කිලෝමීටර 4කට එහා පැත්තෙ යන්න තියෙනව.
තෙත් කාලාපීය වනාන්තරයක සුන්දරත්වය උපරිමයෙන් අත්විඳින්න පුලුවන් මේ පාරෙත් සීත ගඟුලට පහළින් ලස්සන තැන් දෙකක් පිහිටල තියෙනව. එකක් ලොකු, තනි ලෙනක්. අනික ලෙන් දෙක තුනක් පිහිටපු තැනක්. වැඩේ කියන්නෙ මේ තැන් පිහිටල තියෙන්නෙ අඩි පාරෙන් ටිකක් කැලේ ඇතුලට වෙන්න නිසා මේවා බලන්න ඕන නම් දන්න කෙනෙක් එක්ක යන්න ඕන. නැත්නම් කොහේ අතරමං වෙයිද දන්නෑ. ඒ හැරුණාම මහ ඔය මැද්දෙ ලොකු ගල් තලාවකුත් තියෙනව සුපිරි කෑම්පින්ග් පාරක් දාන්න පුලුවන්. ඒක නෙවෙයි මේ පාරෙ පටන් ගත්තු තැන ඉඳන්ම වගේ අලි බෙටි හමුවෙන නිසා පරිස්සම ගැන වගබලා ගන්න එක ඔයාලගෙ යුතුකම.
ආ.. කියන්න බැරිවුනානෙ, මෙහෙට එන්න තියෙන්නෙ දැරණියගල, මාලිබොඩ හරහා උඩ මාලිබොඩ පාරෙන්, හැබැයි එතන ඉඳන් පන් දෙනියට නම් පයින් තමයි.
4. දෙහෙන කන්ද, මුක්කු වත්ත පාර
මේ පාර නම් ලේසි නෑ. ගමේ කෙනෙක් නම් එක්කන් යන තරමට හොඳයි. මොකද මේ පාරෙ තුම්මං හන්දි එමටයි. ඒ හැරුණාම අම්බලමකට කියල තියෙන්නෙත් සෝමරත්න අම්බලම කියල පොඩි කෑල්ලක් විතරයි. ටෙන්ට් එකක් ගහ ගන්න ඕන තරම් තැන් තිබුනට මොකද කූඩැල්ලො විමානෙ නිසා දෙපාරක් හිතන්න වෙනව.
රත්නපුර, ගලබඩ හරහා හපුගස්තැන්න, දෙහෙනකන්ද, මුක්කුවත්ත වත්තට ඇවිල්ල පටන් ගන්න තියෙන මේ ගමනෙ දුර කිලෝමීටර 20කට කිට්ටු නිසා දවස් දෙකකට ලෑස්ති වෙලා යන එක තමයි නුවණට හුරු. විශේෂයෙන්ම කියන්න ඕන මුක්කු වත්ත පාරෙත් ලොකු ජෛව විවිධත්වයක් තියෙනව. කුරුල්ලො වගේම සර්ප විශේෂ, කටුසු විශේෂ, වෙන වෙන උභය ජීවී විශේෂත් හොඳ හැටි අධ්‍යයනය කරන්න පුලුවන්.
ගමනෙ පටන් ගැන්මත් එක්කම වගේ මුණ ගැහෙන රත් ගඟ, වේවැල් දොළ විඩාව නිවා ගන්න හොඳ තැන් වගේම වැල්ලක්කාර ගල් ගේ කියන්නෙ වැස්සට මුවා වෙන්න කියාපු තැනක්. මගදි හමුවෙන භෝතිය දොළ පහු කලාට පස්සෙ මුණ ගැහෙන බත්තළු ඔයත්, ඔයෙන් කඩා හැලෙන දිය ඇල්ලත් හරිම ලස්සනයි. දෙහෙන කන්ද පාරෙ සීත ගඟුල විදියට ගලාගෙන යන මැණික් ගඟෙන් එගොඩ වුනාට පස්සෙ තමයි වුෂිමලේ, ඉඳිකටු පාන හමුවෙන්නෙ. ඒ, හරියටම බෑන සමනොළ නිම්නයේ. ගොඩ දෙනෙක් නොදන්නව වුනාට මේ පාර කෙලින්ම ගිහින් එකතු වෙන්නෙ පලාබද්දල පාරෙ මහගිරි දඹේ මැද්දට.
5. මරේ වත්ත, සඳගල තැන්න පාර
හරිම ලේසි කැළෑ පාරක්. ඒ වගේම තමයි උරග, උභය ජීවීන් අධ්‍යයනය කරන්නත් කියාපු පාර. මුලු ගමනටම තියෙන්නෙ කිලෝමීටර 6ක විතර දුරක්.
මරේ වත්තෙ උඩම හරිය වෙන රජමලේ හරහා කිලෝමීටර දෙකක් විතර ගියාම මුණ ගැහෙන ලොකු ගල් තලාවක් තමයි සඳගල තැන්න කියන්නෙ. එතන ඉඳන් තවත් කිලෝමීටරයක් විතර ගියාම නල්ල තන්නි පාරෙ මහගිරි දඹේට පොඩ්ඩක් පහළින් සෙට් වෙනව. ඒ කිට්ටුවම තමයි ඔය හොයා ගත්ත කියන දිවා ගුහාව තියෙන්නෙත්. ඒ නිසා සඳගල තැන්න පාරෙ යනව නම් අනිවාර්යයෙන් කැමරවක් අරන් යන්න, හොඳද.
හැබැයි ඒ විතරක්මත් මදි, අපි ඔය කියපු මොන පාරෙන් ගියත් ආපහු එන ගමනෙදි අපේ ඈයො පරිස්සටම තියල ගියපු පොලිතින් ප්ලාස්ටික් ටිකකුත් එකතු කරන් එන්න ඕන. සත්තයි යාළු, එතකොට තමයි ඔයාලා ගියපුු ගමනට නියම අරුතක් එන්නෙ.