ලංකාව කියන්නේ බහු ජාතික රටක්නේ. ප්‍රධාන වශයෙන් ම ලංකාවේ ඉන්න සිංහල ජාතිකයන් වුණත්, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් තවත් ජාති කීපයකට අයත් වෙන මිනිස්සු මේ රටේ ජීවත් වෙනවා. මැලේ කියන්නෙත් ඔය අතරින් එකක්. මැලේවරුන් ලංකාවට ආවේ දාහත්වෙනි සියවසේ අන්තිම කාලේ. ඒ කාලේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය තිබුණේ ලන්දේසීන්ගේ අතේ. ලන්දේසි පුරාවිද්‍යා ලියකියවිලිවලට අනූව ඉන්දුනීසියාව වගේ රටවල්වල මිනිස්සු ලංකාවට ගෙනල්ලා තියෙනවා.
Image Source : wikipedia.org
ජාවා, බෝර්නියෝ, බණ්‌ඩා, බූගිස්, බාලි, ටියුඩෝර්, මදුරා, සුන්ඩා වගේ දූපත්වලින් ආව මේ උදවිය අයිති වෙන්නේ මැලේ මුස්ලිම් වර්ගෙට. මැලේ භාෂාව කතා කරපු මේ අයගෙන් කොටසක් දේශපාලන සිරකරුවන් විදියට ඉන්දියාවෙන් පිටුවහල් කරපු අය. අනිත් කට්ටිය ලන්දේසි හේවායන්, හමුදා නිලධාරීන් විදියට කටයුතු කරපු අය. ලංකාවේ මැලේ රණවිරුවන්ගේ ආරම්භය සිද්ධ වුණේ අන්න ඒ වගේ උදවියගෙන් කියලා තමයි කතාව තියෙන්නේ.
Image Source : wikipedia.org
ලන්දේසි සමයේ පටන්ගත්ත මැලේ රණවිරුවන්ගේ කතාව මට මතක් වුණේ ඊයේට (මැයි 31) වෙනිදට යෙදුණු තුවාන් නිසාම් මුතාලිෆ්ගේ ගුණ සමරුව නිසයි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එක්ක පැවතුණු යුද්ධයේදී තමන්ගේ කාර්ය භාරය ඉහළින් ඉටු කරපු ඔහු මිය ගිහින් දැනට අවුරුදු 12ක්. මුතාලිෆ් විතරක් නෙවෙයි, ඒ විදියට තමන්ගේ රට රැකගන්න කැපවුණු මැලේ ජාතික රණවිරුවෝ ගොඩක් ම ඉන්නවා. මේ ඒ අය අතරින් කීපදෙනෙක් ගැන පුංචි සටහනක්.
1. තුවාන් සාබාන්
ඡායාරූපය (උතුවන්කන්ද) : wayfarersnotes.wordpress.com
තුවාන් සාබාන් ගැන අපට අහන්න ලැබෙන්නේ උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ කතාවත් එක්කමයි. සරදියෙල් තමන්ගේ සගයිනුත් එක්ක සංවිධානය වෙලා කරපු මංකොල්ලකෑම් නිසා ගොඩක් සල්ලිකාර මිනිස්සු හිටියේ හරි බයෙන්. ඒ කාලේ ඉඳපු ඉංග්‍රීසි පොලිසියත් මේ පිරිස අල්ලගන්න සෑහෙන්න උත්සහ කළත්, ඒ හැම වතාවේ ම බේරිලා යන්න සරදියෙල්ට පුළුවන් වුණා. මේ කල්ලිය ගැන තොරතුරු දෙන අයට තෑගි පිරිනමන්නත් පොලිසිය කටයුතු කළා.
කොහොමින් කොහොමහරි 1864 අවුරුද්දේ මාර්තු මාසේ දවසක සිරිමලාගෙන් (මෙයා සරදියෙල්ගේ ම සගයෙක්) සරදියෙල්ගේ වංහුං ගැන ඔත්තු ලැබුණා. මාවනැල්ලේ අබ්දුල් කාදර්ගේ නිවස වටලන්න පොලිසිය ගියේ ඒ නිසාමයි. ඔය කණ්ඩායම ඇතුළේ තමයි තුවාන් සාබාන් හිටියෙත්. මේ මෙහෙයුමේදී ගොඩක් මහන්සි වුණු නිලධාරියෙක් විදියට ඔහු සැලකෙනවා.
ඡායාරූපය (සූර සරදියෙල්) : wikipedia.org
පොලිසිය එල්ල කරපු වෙඩි පහරවල්වලින් සරදියෙල්ට තුවාල වුණත්, සරදියෙල්ගේ දකුණු අත වගේ උන්නු මම්මලේගේ වෙඩිල්ලකින් තුවාන් සාබාන් එතැනම මියගියා. අත්අඩංගුවට ගත්ත සරදියෙල් ව සහ මම්මලේ තුවාන් සාබාන් මරණයට පත් කිරීම ඇතුළු තවත් හොරකම් අපරාධ ගණනකට වැරදිකරුවන් වුණා. ඔවුන්ව එල්ලලා මැරුවේ ඒ අවුරුද්දේ ම මැයි මාසේ දවසකයි. තුවාන් සාබාන් මියගිය ඒ මාර්තු 21වෙනිදා ජාතික පොලිස් දිනය විදියට නම් වුණේ ඔහුගෙන් වෙච්ච කාර්ය භාරය ඇගයීම වෙනුවෙනුයි.
2. ටී. එස්. බී. සලේ
ඡායාරූපය : divaina.com
දෙවැනි ලෝක යුද්ධය තිබුණු කාලේ යුධ හමුදාවේ වගකීම් රැසක් දරපු දක්ෂ මැලේ රණවිරුවෙක් විදියට බ්‍රිගේඩියර් ටී. එස්. බී. සලේ මහත්මය ව හඳුවන්න පුළුවන්. ඉන්දියාවේ මෝටාර් අවි ගැන විශේෂ පුහුණුවක් ලබලා, මැලේසියාවේ සහ සිංගප්පූරුවේ හමුදා පොලිස් බලඇණිවල පවා කටයුතු කරපු ඔහු ලංකා රාජකීය ආරක්ෂක බල ඇණියෙත් සේවය කළා. දෙවැනි ලෝක යුද්ධ කාලේ ලංකාවේ ඉඳපු ජපන් ජාතිකයන් ආයේ එයාලගේ රටට යවන්න කරපු මෙහෙයුමෙත් සෑහෙන්න වැඩ කොටසක් කළේ ඔහුයි. ඒ විතරක් නෙවෙයි, 1954දී දෙවැනි එලිසබෙත් රැජින ලංකාවට ආව වෙලේ, එතුමියගේ ප්‍රභූ ආරක්‍ෂක රාජ්‍ය නිලධාරියා විදියට කටයුතු කරන්නත් ඔහු සමත් වුණා.
ඔහු මේජර් තනතුරට පත්වුණේ 1956දී. ඒ එක්ක ම සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය සේනාධිනායක වෙන්නත් ඔහුට පුළුවන් වුණා. කීපවරක් හමුදාපති තනතුරේ වැඩ බලන්නත් ඔහු කටයුතු කළා. 1978දී හමුදාවෙන් විශ්‍රාම ගිය සලේ මහත්මයා සමාජ, ජාතික සහ ආගමික සංගම් කීපයක ම තනතුරු දරුවා. 2012 අවුරුද්දේ ඔහු මියගියේ අපේ රටට අමිල සේවයක් ඉටු කරපු තවත් මැලේ ජාතික රණවිරුවෙක් විදියටයි.
3. ෆස්ලි ලෆීර්
ඡායාරූපය : warheroeslk.wordpress.com
යුධ හමුදා විශේෂ බලකායේ කර්නල්වරයෙක් විදියට සේවය කරපු ෆස්ලි ලෆීර් ගැන කියද්දී අපට මුලින් ම මතක් වෙන්නේ “ත්‍රිවිධ පහර” ක්‍රියාන්විතයයි. 1996 ජූලි 18 වෙනිදා මුලතිව් හමුදා කඳවුර වෙත එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පහර දෙන්න පටන්ගත්තා. එවෙලේ මේ කඳවුරේ ඉඳපු ලංකාවේ හමුදාව බේරන්න දියත් කරපු මේ ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයේ ප්‍රධානියා වුණේ ලෆීර් මහත්මයයි.
ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරත් එක්ක මුලතිව් කඳවුරට ගොඩබිමින් ළඟා වෙන්න පුළුවන් විදියේ කිසිම ඉඩක් තිබුණේ නැහැ. ඒත් එකෙන් පසුබට නොවුණු මේ රණවිරුවා ගුවනින් ගොඩබැහැලා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කඳවුරේ දකුණු පැත්තට ගියා. සතුරාගේ වෙඩිල්ලකින් තුවාල වෙලා හිටියත්, තමන්ගේ කණ්ඩායමේ සෙබළුන් මෙහෙයවන්න ඔහු කටයුතු කළා. ඔහු මියගියේ මේ සටනේදී දෙවැනි සැරේට වැදුණු වෙඩි උණ්ඩයෙනුයි.
තමන්ගේ ජීවිතය අනතුරේ තියෙද්දීත්, සහෝදර සෙබළුන්ගේ ජීවිත වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කරපු ෆස්ලි ලෆීර් මහත්මයාට පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබුවා.
4. තුවාන් අහමඩ් පකීර්
ඡායාරූපය (රිවිරැස මෙහෙයුම) : sslr.lk
1965දී ඉපදුණු තුවාන් අහමඩ් පකීර්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 4 වැනි බලඇණියේ අනුයුක්ත සෙබලෙක්. දෙවැනි ලුතිනන්වරයකු විදියට උසස්වීම් ලබපු ඔහු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කරපු වඩමාරච්චි, ජයශක්‌ති, හයිනයිටි 1, හයිනයිටි 2, බලවේග අකුණු පහර, වාලම්පුරි 1, වාලම්පුරි 2, චතුරංග ශීඝ්‍ර පහර, සුමන බඹර චක්‍ර හා රිවිරැස වගේ ක්‍රියාන්විත ගානකදී අභීතව කැපවුණා. ඒවායේදී දක්වපු දක්ෂකම් නිසා ම, කපිතාන් නිලයකට පත්වෙන්නත් ඔහුට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි, වඩමාරච්චි, පූර්ණභූමි සහ දේශපුත්‍ර පදක්‌කම්වලින් ඔහුගේ ඒ දක්ෂතාවයන් ඇගයුණා.
1996දී ඔහු මියගියේ පේදුරුතුඩුවේදී එල්ලවුණු සතුරු ප්‍රහාරයකින්. ඒ වෙද්දී ඔහුට යන්තම් අවුරුදු 31ක් පිරුණා විතරයි. මරණයෙන් පස්සේ කර්නල් පදවියට ඔහුව උසස් කෙරුනෙත් ඔහුට ගෞරවයක් විදියටයි.
5. තුවාන් මොහොමඩ් නිෂාම්
ඡායාරූපය (ජයසිකුරු මෙහෙයුම) : archives.sundayobserver.lk
තුවාන් මොහොමඩ් නිෂාම් හමුදාවට බැඳෙන්න ගුරු වෘත්තිය අත හැරපු කෙනෙක්. ඒ තරම් තමන්ගේ රට ගැන කැක්කුමක් ඔහුට තිබුණා. ඔහුව අනුයුක්ත වුණේ විජයබාහු පාබල රෙජිමේන්තුවට. නිෂාම් පෙන්වපු හැකියාවන් නිසා ම, ඔහුට ඒ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි තනතුරට පත්වෙන්න හැකියාව ලැබුණා.
ඒ 9 මාර්ගය ත්‍රස්තවාදීන් අල්ලාගෙන ඉඳපු කාලේ, ඔවුන්ගෙන් ඒක මුදාගන්න සැලසුම් කරපු “ජයසිකුරු" මෙහෙයුමේ විශාල වගකීමක් ගන්න නිෂාම් කටයතු කළා. 1997දී ඕමන්තේ ප්‍රදේශයේදී එල්ලවුණු සතුරු ප්‍රහාරයකින් මියයද්දීත් ඔහු නිරත වෙලා හිටියේ ඒ මෙහෙයුමෙමයි. මරණයෙන් පස්සේ ඔහුට ගෞරවයක් විදියට ඔහුව කර්නල් තනතුරකට උසස් කරනු ලැබුවා.
ජාති, ආගම් භේද නිසා එක එක නම්වලින් අපි බෙදිලා හිටියත්, අපි හැමකෙනෙක්ගේ ම ඇඟේ දුවන්නේ එක පාට ලේ. ඔය කොයි දේ කිව්වත්, සීමිත කට්ටියකගේ කිසි පදනමක් නැති වැඩ, විශ්වාස නිසා ඒ ජාතියේ හැමදෙනා ම ඒ මිම්මෙන් මනින එක අපේ ගොඩක් අයගේ පුරුද්දක්. හැබැයි පන්සල්, පල්ලි, කෝවිල් මොකකට ගියත්, තමන්ගේ රටට තියෙන ආදරේ අඩුවක් වෙන්නේ නැති වග කියන්න, මේවත් සාක්කි.