හැමෝටම කරන්න කියනව නෙවෙයි..
ඒත් එහෙම කරන්න පුලුවන් නම්, හරිම වටියි. මොකද.. කවුරු කවුරුත් දන්නවනෙ කොළකැඳ වීදුරුවක තියෙන ගුණය. හැරත් ඒකෙන් ඇඟට ලැබෙන ගැම්ම. උදේට ව්‍යායාම කරන්නවත් වෙලාවක් නැත්නම්.. අඩුම තරමෙ අපි කියන්නෙ කිරි වීදුරුව වෙනුවට කොළ කැඳ වීදුරුවකට හරි හුරු වෙන්න කියල.
අනික ගණනුත් මෙච්චර අඩුවට යද්දි, දැන දැන ඇයි අප්පේ.. වැඩකට නැති දේවල් බොන්නෙ?
1. Kola Kenda (071 3062414)
කියල තමයි මේක නම තියෙන්නෙත්. පිහිටල තියෙන්නෙ වැල්ලවත්ත කිරුල පාරෙ. දන්න විදියට නම්.. මෙතන උදේ 6 වෙද්දිම අරිනව. ඒ විතරක් නෙවෙයි, ජාති වලින් ගත්තොත් කොළ වර්ග 8, 10කට වැඩියි. විශේෂයෙන්ම ගොටුකොළ, මුකුණුවැන්න, රණවරා, කරපිංච, ගොනිකා වගේ..
හැරත් අනිත් කැඳ ජාතිත් මෙතන එලෙසින්මනෙ. සව්, මෙනේරි, මුං ඇට..
කියල වැඩක් නෑ ඉතින් හොඳේ. ඊටත් එයින් වීදුරුවක් උණු උණුවෙ තොල ගානව කියන්නේ, හකුරු කෑල්ලක් එක්ක.. වරුවක් දුවන්න පුලුවන් ගානයි යාළු කෑම මුකුත් නැතුව.
2. Ranbath (077 3235555)
තුම්මුල්ලෙ වෙජිටේරියන් ප්ලේස් එක. කෑම බිම නම් ටිකක් ගණන්. හැබැයි තත්වයෙන් උසස්. ම්.. මෙයාලගෙ උදේ කෑමත් දෙන අතරට.. කොළ කැඳ එහෙමත් තියෙනව, හොඳ රසට. හැබැයි ජාති ගොඩකින් නෑ. මිශ්‍ර කොළකැඳ, නැත්නම් සුදුළූණු-කරපිංච කැඳ වගේ දෙක තුනක් තමයි, හ්ම්..
3. Dunhinda Herbal Park
නම කියද්දිම දන්නව නේ, අත්තිඩිය පාරෙ තියෙන මේ ප්ලේස් එක. කැඳ බොන්න විතරක් නෙවෙයි යාලු උදේට රසම රස සිංහල කෑම වේලක් කන්නත් කියාපුම. ඔය.. හැලපයක් එක්ක ආනමාළු ගෙඩියක්, නැත්නම් කුරක්කන් පිට්ටුවක් එක්ක සුපිරි කිරි හොද්දක් වගේ. එහෙම කාලා, බොන්න හොඳ කැඳ වීදුරුවක්. ගොටුකොළ, මුකුණුවැන්න, කරපිංච, පොල්පළා, හාතවාරිය, වැල්පෙනෙල එහෙම නැත්නම් මිශ්‍ර එකක් වුනත්. ඒත්.. කොළ කැඳ වලට එච්චරම හිතක් නැත්නම් ඔයාට පුලුවන් සව්කැඳ එකක්, කුරක්කන් කැඳ එකක් වුනත් රස බලන්නත්, හොඳද.
4. Neeroga Kola Kenda
හරිම පිළිවෙලට, වැදගත් විදියට කොළ කැඳවල රසගුණ කාට කාටත් බෙදල දුන්නු තැනක්. හැබැයි.. ඔක්කොටම කලින් හොයන්න ඕන මේ තැන තවමත් තියෙනවද කියල. එහෙම තියෙනව නම් යාළු.. ආයෙ දෙකක් නෑ බය නැතුව ගොඩ වෙන්න. කෙලින්ම තමන්ට හරියන කැඳ ජාතිය බිත්තියෙන් බලල තෝරල ඕඩර් කරන්න පුලුවන්. මොකද එයාල ලඟ තියෙන සියළුම කැඳ ජාති, අඩංගු දෑ සමඟින් සහ සියළු ගුණ සමඟින් බිත්ති වලම ගහල තියෙනවනෙ. ඒ නිසාම ඉතින් මම තියෙන ජාති කියන්න යන්නෙ නෑ. ගිහිල්ලම බලන්න ඉඩ තියන්නම්.
5. Kola Kanda Osupan Shop
කොළඹ 7 අනගාරික ධර්මපාල මාවතේ තිබ්බ මේ ඔසුපැන්හලත් උදෙන්ම කැඳ එකක් බොන්න කියාපුම තැනක්. මේක කරගෙන ගියෙත් මං දන්න විදියට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන්. කොහොම වුනත්.. ජාති 7, 8කින්ම කොළ කැඳ ගන්න වගේම, සව්කැඳ, කුරක්කන් කැඳ, කිතුල්පිටි කැඳ, මෙනේරි කැඳ වගේ උදේ කෑමට තකට තක යන කැඳ එකක් බොන්නත් මෙතන කියාපුම.
ඒ නිසාම..
ඔන්න යාලු අද ඉඳන්වත් බලන්න,
වැඩකට නැති කිරි බොනවද, වැඩකට ඇති කැඳ බොනවද කියල
හෙට ඉඳන් උදේට උදේට..!