මේ දවස්වල වසංගත තත්ත්වය නිසා අපි හැමෝම ඉන්නෙ හුරුපුරුදු ජීවන රටාව ඇතුළේ නෙවෙයි. ගේ ඇතුළේ හිර වෙලා ඉන්න සිද්ධ වෙලා තියන නිසා, ඕන කෙනෙකුගේ මානසික සෞඛ්‍යය අසමබර වෙන්න ඉඩ තියනවා. මේකට සෞඛ්‍ය ගැටලු, මුල්‍යමය ප්‍රශ්න, පවුල් අවුල් සහ ප්‍රේමය සම්බන්ධ ගැටලු, රාජකාරි ප්‍රශ්න වගේ විවිධ හේතු බලපාන්න පුළුවන්.
මානසික ආතතිය හෙවත් ස්ට්‍රෙස් එකත් එක්ක හැම වෙලේ ම බඩගිනි හැදෙන එක හුඟ දෙනෙකුට තියන ප්‍රශ්නයක්. ඉතින් කොයි වෙලෙත් මොනාහරි කන ගමන්මයි. මේකට කියන්නෙ ස්ට්‍රෙස් ඊටිං කියලා. මේක කායික සෞඛ්‍යයට නං එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද කිව්වොත්, ස්ට්‍රෙස් ඊටිං නිසා නොදැනුවත්ව ම ශරීරයේ බර වැඩි වෙන්න, සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යන්න එහෙම ඉඩ තියනවා.
ඉතින් මෙහෙම අනවශ්‍ය විදිහට බඩගිනි එන එක පාලනය කරගන්න විදිහක් නැත්නම්, ඒ වෙලාවට බර කෑම ජාති සහ සීනි, තෙල් අඩංගු කෑමබීම ජාති පරිභෝජනය නොකර, සිරුරට හානිකර නොවෙන විකල්ප හොයාගන්නේ කොහොමද කියලා හොයලා බලන්න අපි කල්පනා කළා.
චුවින්ගම්
ස්ට්‍රෙස් වුණ වෙලාවට චුවින්ගම් එකක් හපන එකෙන් සෑහෙන ස්ට්‍රෙස් අඩු කරගන්න පුළුවන්. නිතර ස්ට්‍රෙස් වෙනව නං චුවින්ගම් එකක් බෑග් එකේ දාල ළඟ තියාගත්තත් වටිනවා. හැබැයි ඔයා පාවිච්චි කරන්නෙ සීනි රහිත චුවින්ගම් එකක් ද කියල සැලකිලිමත් වෙන්න. සීනි සහිත චුවින්ගම් නිතර හැපීම දත්වලට හොඳ මදි. චුවින්ගම් හැපීමෙන් අපි දිනකට සිරුරට ඇතුළු කරගන්න කැලරි ප්‍රමාණය අඩු වෙනවා වගේ ම, දිනකට ශක්තිය වැය කරන ප්‍රමාණය වැඩි කරන බවයි පර්යේෂකයන් කියන්නේ.
තේ
බඩගිනි හැදෙන හැදෙන සැරේට ගිහින් ෆ්‍රිජ් එක අරින්නෙ නැතුව, හෙමීට තේ එකක් හදාගෙන බොන්න. බඩගින්න අඩු වෙලා යන්නත්, මනස සන්සුන් වෙන්නත්, ඇඟට ශක්තියක් එන්නත් ඒකෙන් පුළුවන්. හැබැයි අර කලින් කිව්ව දේ ම ආයෙත් කියන්න වෙනවා. තේවලට සීනි දාද්දි කල්පනාවෙන්.
තව දෙයක්. හුඟ දෙනෙක් කාර්යබහුල වෙලාවට කාර්යක්ෂම ව වැඩ කරන්න කෝපි හෝ එනර්ජි ඩ්‍රින්ක්ස් බොන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේවයේ තියන කැෆේන් නිසා මනසේ ආතති සහ කාංසා තත්ත්වය වැඩි වෙනවා.
සැර කෑම
සැර කෑම කනකොට අපි කන කෑම ප්‍රමාණය අඩු වෙන බව පර්යේෂකයන් කියනවා. ඒක වෙන්නේ මෙහෙමයි. මිරිස්, ගම්මිරිස් වගේ දේවල් වැඩිපුර දාපු කෑම කද්දි අපිට බඩ පිරිලා වගේ ඉක්මනින් දැනෙනවා. ඒ වගේ ම මේවයින් අනෙක් කෑම ජාතිවලට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරනවා. ඉතින් කන කෑම ප්‍රමාණය අඩු කරගන්න ඕන නං සැර කෑම කන එක හොඳ උත්තරයක්. ඒත් මේක දිනපතා ම කරන්න සුදුසු දෙයක් නෙවෙයි. මොකද දිනපතා සැර කෑමවලට පුරුදු වුනොත් අපේ ශරීරය ඒකට අනුගත වෙනවා. එහෙම වුණොත් අර කියපු ඉෆෙක්ට් එක සිද්ධ වෙන්නේ නෑ.
පලතුරු
බඩගින්න අමාරුවෙන් ඉවසගෙන ඉන්නවට වඩා පලතුරක් වගේ හානි අඩු දෙයක් කන එක හොඳයි. ඉතින් ස්ට්‍රෙස් වැඩි වෙලාවට බිස්කට්, කේක්, අයිස්ක්‍රීම්, චොක්ලට් අනංමනං වෙනුවට කෙසෙල් ගෙඩියක්, කොමඩු කෑල්ලක්, ඇපල් ගෙඩියක් කන්න පුරුදු වෙලා බලන්න. ඕන ම දෙයක් ඕනවට වඩා ඕන ම නැති නිසා මොනවා කෑවත් කන ප්‍රමාණය ගැන සැලකිල්ලෙන් ඉන්න.
සෙරටොනින් වැඩි වෙන කෑම
සෙරටොනින් කියන්නේ හැපිනස් හෝමෝන් එක. ඒ කියන්නේ අපේ මනසේ සතුට නිපදවන්නේ සෙරටොනින්වලින්. ස්ට්‍රෙස් වෙලා, මූඩ් අවුල් වෙලා කියන්නේ අපේ සෙරටොනින් ලෙවල්ස් බැහැල කියන එකයි. ඒ නිසා මෙහෙම වෙලාවට සෙරටොනින් වැඩි කරන්න පුළුවන් කෑමබීම ආහාරයට ගන්න. අන්නාසි, අලිගැටපේර, මුද්දරප්පලම්, නිවිති, සැමන් වගේ ජාතිවලට මේක කරන්න පුළුවන්.