මේ දවස්වල හැමෝම වගේ වෙනදා තරම් එළියට පහළියට බහින්නෙ නෑනේ. ඉතින් වැඩියෙන් කාලය ගත කරන්නෙ ගේ ඇතුළේ. ඇඳිරි නීතිය දාල තියන පැතිවල අය විශේෂයි. ඒ ඇරුණම අනෙක් අයත් බොහෝ දෙනෙක් රාජකාරි සහ අධ්‍යාපන කටයුතු කරන්නෙ ගෙදර ඉඳන්.
ගෙදරින් පිට ගෙවෙන කාලයට වඩා ගෙදර ඉන්න කාලය වැඩි වෙලා තියන හින්දා, ගෙදර ඔබට ප්‍රියජනක, සුවපහසු, ප්‍රසන්න තැනක් ද කියන එක හිතා බැලීම වැදගත්. රාජකාරි කළත්, පාඩම් වැඩ කටයුතු කළත් ඒවා සාර්ථක කරගන්න ලැබෙන්නේ, ගෙදර ඊට ගැළපෙන පරිසරයක් තියන තැනක් නම් විතරයි.
ඉතින් ගෙදර ඉන්නකොට ඔබ දවසේ වැඩි වෙලාවක් ගත කරන කාමරේ ඔබේ වැඩ කටයුතුවලට පහසු වෙන පරිදි ආලෝකමත් වෙලා තිබීම අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් ඔබේ කාර්යාල වැඩ, පාඩම් වැඩ ආදියට බාධා වෙන්න පුළුවන්. ඊට අමතරව කාමරේට පාළු ස්වභාවයක් ඇවිත්, වැඩි වෙලාවක් ඉන්න හිතෙන්නෙ නැති තැනක් බවට පත් වෙන්නත් පුළුවන්.
ඔබේ කාමරෙත් අඳුරුයි නම්, හරියට ආලෝකය ලැබෙන්නේ නැත්නම්, වැඩි කරදර නැතිව ලේසියෙන් කාමරේ එළිය කරගන්න ක්‍රම කීපයක් ගැනයි අපි මේ ලිපියෙන් පෙන්නලා දෙන්න හදන්නේ.
බඩුමුට්ටු අඩු කරන්න
කාමරේ ඉඩකඩ අනුව, අනවශ්‍ය සහ වැඩිපුර ගොඩ ගහලා තියන බඩුමුට්ටු හැකි තරම් එළියට දාන්න. බඩු අඩු වෙලා, වැඩියෙන් හිස් වෙලා තියෙනකොට කාමරේට නිදහස් ගතියක් එනවා. ඒ නිසා අත්‍යවශ්‍ය ම දේවල් විතරක් කාමරේ තියාගන්න. අඳුරු ගතිය පහ වෙලා යන්න ඒක උදව්වක්.
ඒ වගේ ම කාමරේ තියන බඩුවල සයිස් එක ගැන හිතන්න. වැඩි ඉඩකඩක් නැති පොඩි කාමරයක් නං ලොකු ඇඳක්, ලොකු පුටු මේස, ලොකු කබඩ් එකක් එහෙම ගෙනත් තියාගන්න එපා. ඉඩ ඇහිරුණාමත් අඳුරු ගතිය දැනෙනවා වැඩියි.
ළා පාට තිර රෙදි
ජනෙල්වලට, දොරට පාවිච්චි කරන කර්ට්න්ස්වලට තද පාට ඝන රෙදි පාවිච්චි කරන්න එපා. සුදු හෝ සුදට හුරු ළා පාට, දුහුල් තිර රෙදි පාවිච්චි කරන්න පුළුවන් නම් ආලෝකය කාමරේ ඇතුළට එන්න වඩා පහසුයි. ඒත් විනිවිද පෙනෙන තිර රෙදි නිසා පෞද්ගලිකත්වයට බාධාවක් වෙන්න ඉඩ තියන හින්දා සමහරු ඒවට අකැමැතියි. ඒ අයට පුළුවන් එහා මෙහා නොපෙනෙන, ඒත් බරින් අඩු, සැහැල්ලු ළා පැහැති තිර රෙදි තෝරගන්න.
තිර රෙදි දානකොට ඒවා එහා මෙහා කරන්න පුළුවන් විදිහට සකස් කරගන්න. අනවශ්‍ය වෙලාවට වහලා තියන්නත්, ආලෝකය අවශ්‍ය වෙලාවට දෙපැත්තට විවෘත කරලා තියන්නත් එතකොට පුළුවනි.
වීදුරු දොර ජනෙල්
ඔබේ කාමරේ දොර ජනෙල් ලීවලින් කරපු ඒවා නම්, ඒවායින් ඇතුළට ආලෝකය එන්න ඉඩ අඩුයි. ඒ නිසා හැකි නම් කාමරේට වීදුරු සහිත දොරක් යොදන්න. ආලෝකය වැඩිපුර ඇතුළට එන විදිහට සැකසුණු ඇලුමිනියම් දොර ජනෙල් එහෙමත් දැන් වෙළෙඳපොළේ සුලබයි. ජනෙල්වල වීදුරුත් මාසයකට වරක්වත් හොඳින් අතුල්ලලා පිරිසිදු කරන්න. නිතර බැඳෙන කුණු දූවිලි ඉවත් වෙලා හොඳින් කාමරේට ස්වාභාවික එළිය වැටෙන්නෙ එතකොටයි.
බිත්ති සහ කන්නාඩි
මේක නං ඇතැම් අයට කරන්න ටිකක් අපහසු ක්‍රමයක් වෙන්නත් පුළුවන්. ඒත් බෑ කියලා නොහිතා කළොත් කාමරේට ආලෝකය ගන්න පුළුවන් හොඳ ම ක්‍රමයක්. කාමරේ බිත්තියකට දෙකකට තරමක් ලොකු කන්නාඩි සවි කරන්න. කාමරේ ජනේලේ තියන පැත්තට විරුද්ධ පැත්තේ හයි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට ජනේලෙන් එන හිරු එළිය කන්නාඩියට පරාවර්තනය වෙලා කාමරේ දීප්තිමත් වෙන්නත්, ඉඩකඩ විශාල වෙලා පේන්නත් හේතු වෙනවා. කන්නාඩියක් හයි කරනවා කියන්නේ කාමරේට තව ජනේලයක් හයි කළා වගේ.
කන්නාඩි සවි කිරීමේ හැකියාවක් නැත්තං අඳුරු කාමරේක බිත්තිවලට තීන්ත තෝරනකොට සුදු හෝ ළා පාට තෝරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම සිවිලිමේ හයි කරපු බල්බ් එක ගැන විතරක් විශ්වාසය තියන්නෙ නැතුව බිත්ති ලාම්පු හයි කරගත්තොත් රාත්‍රී කාලයට එහෙම ආලෝකය බිත්තියට පතිත වෙලා වඩා හොඳ එළියක් ලබා දෙයි.
සිවිලිමට සහ පොළොවට
අර කලින් කිව්වා වගේ කාමරේක පෙනුමට පාටවල් ලොකුවට බලපානවා. ඔබේ කාමරේ පොළොව කළු හෝ ඊට හුරු අඳුරු පාටක් නම් බිමට සුදු පාටට හුරු ලොකු පාපිස්සක් නැත්තං කාපට් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. අඳුරු ගතිය නැති වෙලා යන්න ඒක හොඳ විසඳුමක්.
කාමරේ තියෙන්නේ ලීවලින් කරපු හෝ තද පාටින් පාට කරපු සිවිලිමක් නං, කරන්න පුළුවන් හොඳ ම දේ තමයි සිවිලිමේ සුදු පාට තීන්ත ආලේප කරන එක. ඇහැට ප්‍රිය නිමාවක් දෙන්න වගේ ම, සුවපහසු ඉඩකඩක් සහිත පෙනුමක් ගන්නත් මේ ක්‍රමෙන් පුළුවන්.