මේ දවස්වල කට්ටිය ඉන්නෙ හෙන බිසී එකේ. මොකද පහුගිය ලෝන්ග් වීක්එන්ඩ් එකට නිවාඩු එහෙම දාලා ටුවර් ගිහිල්ලා වැඩ ගොඩ ගැහිලනේ.
හැබැයි ඉතින් ඒ අතරට ඉන්නව ලෝන්ග් වීක්එන්ඩ් ටුවර් එක යන්න බැරි වෙච්ච යාළුවොත්. ඔෆිස්වල වැඩවලටම හිර වෙලා නිවාඩු ගැන තියා හිතන්නවත් බැරුව ඉඳපු අය. අන්න ඒ නිසයි අපි කල්පනා කලේ එයාලට, මේ වීක්එන්ඩ් එකේවත් පොඩි ටුවර් එකක් යන්න ලෑස්ති කරල දෙන්න. අඩුම තරමෙ තනි නයිට් එකේ එකක්වත්.
වැඩේ කියන්නෙ ඉතින් මේ ටුවර් යන්න එයාලට සිද්ධ වෙනව යාළුවෙක් දෙන්නෙක් කතා කරගන්න. මොකද එතකොටනෙ පොඩි හරි ෆන් එකක් තියෙන්නෙ. හැරත්, එහෙම වුණොත් බයික් එකේ හරි යන්න පුළුවන්. නැතත් බස් එකක කෝච්චියක ගියත් පාළු නෑනෙ.
ඒ ඔක්කොමත් හරි කියමුකො. ඒත් කොහෙද යන්නෙ?
අවුලක් ගන්න එපා, ඒකට තමයි අපි ඉන්නෙ. අපි කියන්නම් යන්න තැන් ඕන තරම්. අහගන්නකො! ඕන් පළවෙනි ලැයිස්තුව. ආයෙ සුපිරිම වන් නයිට් ටුවර් තමයි ඈ. ගම්බද සිරි අසිරිය වගේම කැලේ කොලේ, සතා සීපාවාගෙ ආශ්වාදයත් හිතේ හැටියට විඳගන්න කියාපු ටුවර්.
වගකීමෙන් කියන්නෙ, බය නැතුව යන්න. මතකයන් ගොන්නට මදි නොකියන්න, සොඳුරු දේ එකතු කරගන්න!
1. විසාරී ඇල්ල
ඔය පාරක් අයිනෙ ලන්දට කිට්ටු වෙන්න ටෙන්ට් එකක් ගහගෙන ඉන්න පුළුවන් අපූරු පිහිටීමක් තියෙන සුන්දර දිය ඇල්ලක්. පිහිටල තියෙන්නෙ ඇල්ල-වැල්ලවාය පාරෙ පූනාගල කඳු වැටිය පාමුලට වෙන්න. බස් එකේ යනව නම් බදුල්ල බස් එකක ගිහින් කුඹල්වෙලින් බැහැලා වැල්ලවාය පාරෙ යන බස් එකකින් හුණු කැටිය හංදියට යන්න පුළුවන්. වාහනයක යනව නම් බෙරගල පාරෙන් වැල්ලවායට දාලා එතනින් හුණු කැටිය හංදියට යන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම ගියත් හුණු කැටිය හංදියෙන් බඹරගස්යාය ගමට ගිහින් එතැනින් කන්ද දිගේ කිලෝමීටර බාගයක් විතර නැගලා තමයි දිය ඇල්ල මුදුනට යන්න තියෙන්නෙ. එතනින් එහාට ඉතින්…
නයිට් එකට ඕන කරන දරත් වටපිටාවෙ හොඳ හැටි තියෙනව. අනික දරුණු සත්තුත් නැති නිසා එළිපෙහෙලියෙ ඇවිදින්න බය වෙන්න ඕනත් නෑ. ඒ වගේම රෑ ජාමෙ, හිමිදිරියෙ වටපිටාවෙ තියෙන නිස්කලංක බව නිසා රිලැක්ස් වෙන්න කියාපුනෙ.
2. දන්දෙණි කුඹුර
අනුරාධපුර යුගයේ ඉඳපු රජ කෙනෙක් රහතන් වහන්සේලාට ‘දන් දුන් කුඹුර’, අද වෙද්දි ගූගල් මැප් එකෙත් නෑ කියන්නකො. හැබැයි, මැප් එකේ නැති නිසාමද කොහෙද දන්දෙණි කුඹුරෙ ඉතිහාසය, අදටත් හරි අපූරුවට රැකිලා තියෙනව. විශේෂයෙන්ම අනුරාධපුර, මහනුවර රාජධානි අතර සම්බන්ධතා ගොඩ නැගුණු මං මාවත හැටියට මේක ප්‍රසිද්ධයි. මේ ගම්මානය නකලස් නිම්න අතරෙ හැංගුණු ගම්මානයක්. මුළුමනින්ම කඳුවලින් වට වෙලා තියෙන්නෙ. සතා සීපාවා, කුරුළු කොබෙයියන්ගෙනුත් පිරිලා ඉතිරිලා. හැබැයි ඉතින් අද වෙද්දි නම් මේ පැත්ත තනිකරම ජන ශුන්‍යයි. කොටින්ම කියනව නම් දැනට ඉතුරු වෙලා තියෙන්නෙත් එක පාළු ගෙයක් විතරයි. ඒ නිසා, ඔයාලා ඒ පැත්තෙ යනව නම් අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ අරගෙන යන්න අමතක කරන්න එපා හොඳද.
3. ගලමුදුන ගම
මේ ගලමුදුන තියෙන්නෙ නුවර, මහියංගණ පාරෙ හුන්නස්ගිරිය, උඩුදුම්බර පැත්තට වෙන්න. උඩුදුම්බරින් තල්ගුණේ, හුළුගලට ගිහින් එතනින් උඩගල් දෙබොක්කට යන්න ඕන. වැඩේ කියන්නෙ එතනිනුත් කිලෝමීටර 2ක් විතර ගියාම තමයි ගලමුදුන ගම හමුවෙන්නෙ. බත බුලතින් හොඳ හැටි සරු සාර ගලමුදුන ගමේ ජීවන රටාව නම් ටිකක් දුෂ්කරයි. හැබැයි මිනිස්සු ඉන්නෙ හරිම සතුටින්. මොකද කුඹුරු කොරටු එහෙම හරි සාරවත්නෙ. ගංගා, ඇල දොළත් අඩු නෑ. ලකේගල, යහන් ගල, උහුණුගල,තෙලඹුගල, කුවේණිගල, තුන්හිස්ගල වගේ කඳු තොගයකුත් ගලමුදුන ගම ලස්සන කරනව. එ් හැරුණාම ගම මැදින් ගලා ගෙන යන හීන් ගඟත් ගමට ගේන්නෙ අපූරු සුන්දරත්වයක්නෙ.
4. බත්තලන් ගුණ්ඩුව
කල්පිටිය වෙරළ තීරයෙන් කිලෝමීටර 20ක් විතර මුහුද පැත්තට ගියාම හමුවෙන ලස්සන දූපතක් තමයි බත්තලන් ගුණ්ඩුව. කල්පිටිය ජැටිය ලඟට උදෙන්ම ගියා නම් බත්තලන් ගුණ්ඩුවට යන්න බෝට්ටුවක් අල්ල ගන්න පුළුවන්. ගමනට පැය දෙක තුනක් යනව. ඒ වුණාට හරිම සුන්දර ගමනක්. ඇත්තටම මේක ඇවිල්ලා ධීවර ගම්මානයක්. ඒ නිසා පාරිසරික සුන්දරත්වයක් නම් ඒ හැටි අත් විඳින්න බෑ. හැබැයි ‘ඉර බැහැගෙන යන හැන්දෑවක වෙරළ තීරයේ’ ආශ්වාදය නම් මදි නොකියන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි හොඳ හැටි අළුත් මාළු ටිකක්, ඉස්සො, දැල්ලො ටිකකුත් රහ බලන්න කියාපුනෙ. ඒත් එකක් මතක තියාගන්න. බොන්න වතුර නම් පුළුවන් තරම් ගෙනියන්න.
5. රණමුරේ
මීමුරේ හරහා යන්න තවත් අපූරු ගමනක්. ලකේගල පාමුලින් වැටුණු වන ගත අඩි පාරක පැය හතක් අටක් තිස්සෙ ඇවිදින්න තියෙන්නෙ. යන ගමනෙ රොටියක් පුච්චගෙන කාලා, ගලාගෙන යන ඔය පාරකින් සීතල වතුර ටිකක් බිව්වට පස්සෙ මහන්සිය කොහෙන් ගියාද නෑ. තුන්හිස් ගල නැගල, ගිණිකෙලියව පතන පහුකරගෙන රණමුරේට කිට්ටු වෙද්දි දූවිලි ඇල්ලෙන් නා ගත්ත නම් සැප නින්දක් දාන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ වීක්එන්ඩ් එක ඒ ගමනට හරියන්නෙ නෑ. ඒ නිසා ඔයාලා යන්න නාරංගමුව පාරෙන්. එහෙමයි කියල ඉතින් ගමේ සුන්දරත්වය අඩුවෙන එකක්යැ.
6. නානුඔය – බ්ලැක් පූල් – අඹේවෙළ – පට්ටිපොළ – හෝර්ටන් තැන්න – ඔහිය – බොරලන්ද
වෙනසකටත් එක්ක, මෙන්න බයික් රයිඩ් එකක්. නිකම් නෙවෙයි පට්ටම ලස්සන රයිඩ් එකක්. හැටන්, නානුඔය පැත්තෙන් පටන් ගත්ත නම් කන්දෙ ඇල ජලාශයත්, කැළේ පැත්තෙත් රවුමක් දාගෙන අඹේවෙල හරහා පට්ටි පොළට එන්න පුළුවන්. එතනින් ලෝකාන්තය පාරෙ හෝර්ටන් තැන්න හරහා ඔහියට එන්න. ඊට පස්සෙ කැලේ කොලේ සිරි නරඹගෙන බොරලන්දට එන්නයි තියෙන්නෙ. ඒ අතරට බදුලු ඔයේ අතු ගංගාවක් එහෙමත් හමුවෙනව. කොහොම වුණත් විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලගෙ වාහනේ පොඩි පොඩි රෙපෙයාර්වලට ඕන කරන ගැජමැටික්ස් වගේම කෑම බීම ටිකකුත් මතක ඇතුව දාගෙන ගමන පිටත් වෙන්න. මොකද අමු කැලේ මැදින් වැටිලා තියෙන මේ රයිඩ් එක සුන්දර වගේම දුෂ්කරයිනෙ.
කොහොම වුණත් ඔය අතරට කොයි කවුරුත් මතක තියාගන්න ඕන කෑම්පින්ග් කරල විනෝද වෙලා එන එක හැරුණාම ඒ ගම්වල සුන්දරත්වය ඉතිරි කරලා එන්න. එතකොටනෙ යාළු ඒ කොයි දේත් අගයක් තියෙන්නෙ නේ…!