තිබහ නිවෙන්න සිසිල් බීම, නැත්තං සොෆ්ට් ඩ්‍රින්ක්ස් බොන්න පුරුදු වෙලා හිටපු හුඟ දෙනෙක් සිසිල් බීමවලින් ඈත් වෙලා දැන් ෆෘට් ජූස් බොන්න පුරුදු වෙලා ඉන්නව නේ. සිසිල් බීම සිරුරට අහිතකරයි කියලා පලතුරු බීමට හුරු වුණාට මොකද ඒකෙත් ගුණාගුණ දෙක ම තියනවා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් හොයා බැලුවා.
1 ප්‍රතිශක්තිකරණය වැඩි කරයි
හිතන්නකෝ ඔයා හැම දාම උදේට ඔරේන්ජ් ජූස් වීදුරුවක් බොනවා කියල. මේකෙන් ඔයාගේ ශරීරයට සාමාන්‍යයෙන් දවසට අවශ්‍ය විටමින් ප්‍රමාණයෙන් 100%ක් ම වගේ ලැබෙනවා. විශේෂයෙන් විටමින් සීවලින් අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය ප්‍රතිඔක්සිකාරකත් නිපදවනවා. එතකොට අසනීපවලට එරෙහිව සටන් කරන්න සිරුරට ශක්තිය ලැබෙනවා.
2 බර වැඩි කරයි
නිතර පලතුරු බීම බොන්න පුරුදු වුණාම බර වැඩි වෙන්න පුළුවන් කියල දන්නවද? දිනපතා බොනවා නම් අවදානම තවත් වැඩියි. පලතුරු බීමක නිකම්ම පලතුරකට වඩා වැඩි සීනි සහ කැලරි ප්‍රමාණයක් අඩංගුයි. පලතුරක් කනකොට ශරීරයට ඇතුළු වෙන්නේ ඊට වඩා හුඟක් අඩු කැලරි ප්‍රමාණයක්. ඒ වගේ ම කැලරි ඇතුළු වීම සිදු වෙන්නේ මන්දගාමීව නිසා පලතුරකින් බර වැඩි වීමේ අවදානමක් නෑ. හැබැයි පලතුරු බීමෙන් ඒක වෙන්න හොඳට ම ඉඩ තියනවා. පලතුරක් බීමක් බවට පත් කරද්දි පලතුරේ තියන ඇතැම් විටමින් වර්ග අහිමි වෙලා යන්න පුළුවන් නිසා බීම හදන්නෙ නැතුව පලතුර ආහාරයට ගන්න එක වඩා වාසිදායකයි.
3 හදවතට හොඳයි
දෙළුම් වගේ බීමක් බොනව නම් සාමාන්‍යයෙන් දොඩම් වගේ බීමක අඩංගු විටමින් සීවලට අමතරව සිරුරට අවශ්‍ය පොටෑසියම් සහ යකඩ එහෙමත් ලැබෙනවා. ප්‍රෙෂර් හෙවත් අධි රුධිර පීඩනය හුඟක් වැඩිහිටියන්ට තියන සෞඛ්‍ය ගැටලුවක් නේ. රුධිර පීඩනය හොඳ මට්ටමක පවත්වාගන්න මේක හොඳ බෙහෙතක්. මේ විටමින් සහ පොටෑසියම් ප්‍රෙෂර් පාලනය කරලා හදවත සෞඛ්‍ය සම්පන්න කරන්න දායක වෙනවා.
4 දත් නරක් කරයි
දෙහි, දොඩම්, මිදි ඇතුළු සිට්රස් බහුල පලතුරුවලින් හදපු බීමවල ඇසිඩ් ප්‍රමාණය අධිකයි. ඒක අපේ එනැමලයට ඉතා ම හානිකරයි. දිගින් දිගට ම නිතර ෆෘට් ජූස් බොනවා නම් දත් කුහර හැදෙන්නත් ඉඩ තියනවා. ඒ වගේ ම නින්දට යන්න කලින් ෆෘට් ජූස් බොන්න එපා කියලා විශේෂඥයන් උපදෙස් දෙන්නේ, එහි ඇති සිට්රස් ඇසිඩ් එක නින්දේ සිටියදී බොහෝ කාලයක් දත්වල රැඳිලා තිබීමෙන් දත් දිරා යෑම සිදුවිය හැකි නිසයි.
5 මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි
දිනපතා අලුත් පලතුරු පාවිච්චි කරලා හොඳින් සකස් කරපු ෆෘට් ජූස් වීදුරුවක් බීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් පවත්වාගන්න පුළුවනි. ඔරේන්ජ් ජූස් මේකට වැඩි වශයෙන් දායක වෙනවා. එහි ඇති විටමින් සී, බී1 සහ බී6 මඟින් විශේෂයෙන් වැඩිහිටියන්ගේ මතකය අඩු වීම වගේ දේවල් අවම කරනවා.
6 දියවැඩියාව!
මේක තමයි පලතුරු බීමෙන් ඇඟට වෙන්න පුළුවන් ලොකු ම බලපෑම. අපි ෆෘට් ජූස් බොන්නේ සීනි දාල නේ. ඉතින් සාමාන්‍යයෙන් කඩෙන් අරං බොන ෆෘට් ජූස් එකක අර කලින් කියපු සිසිල් බීමක අඩංගු සීනි ප්‍රමාණය ම වගේ ඇතුළත් වෙනවා. ඉතින් වැඩි වැඩියෙන් ඒවා බිව්වොත් රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ ගිහින් දියවැඩියාව තත්ත්වයන්ට ගොදුරු වෙන්න මඟ පෑදෙන්න පුළුවන්. ඒ නිසා නිතර පලතුරු බීම බොන්න ම ඕන නම් සීනි නොදා ගෙදර ම හදාගන්න පලතුරු බීම බොනවා නම් වැඩිය හොඳයි.