දැන් කාලේ පොඩ්ඩෝ පොත් කියවන්න හොරයි කියන එක හුඟක් වෙලාවට අහන්න ලැබෙන චෝදනාවක්. මං හිතන්නේ අන්තිමට පොත්ගුල්ලො වෙලා හිටියෙ අනූව දශකයෙ ඉපදුණ පරම්පරාව වෙන්න ඕන. ළමයි පොත් කියවන්නෙ නෑ කියන චෝදනාව කරන්නෙ වැඩිහිටියො වුණාට ඒකට වග කියන්නත් ඕන වැඩිහිටියො ම තමයි. මොකද කියවීම පොඩ්ඩෙකුට හුරු කරන්න පුළුවන් පුංචි කාලෙමයි. ඒක පුරුද්දක් බවට පත් වෙන්නේ එතකොට.
කොහොම වුණත් සමහරුන්ට හිතෙනවා ඇති මේ තාක්ෂණයෙන් පිරුණ ලෝකේ මොන පොත් කියවිලි ද කියලත්. හැබැයි ස්ක්‍රීන් එකක් දිහා බලන් හිටිය කියල ලැබෙන්නේ නැති හුඟක් දේවල් පොත් කියවීමෙන් දරුවන්ට ලැබෙනවා. කියවල බලන්නකො.
භාෂා කුසලතාව
සාමාන්‍යයෙන් පුංචි ළමයි පුංචි කාලේ දේවල් ඉක්මනින් ඉගෙනගන්නවා. අපි එක වචනයක් එක වරක් කියපු පමණින් ම ඔවුන් ඒක ග්‍රහණය කරගන්නවා ඔබ දැකල ඇති. දරුවන් සහ වැඩිහිටියන් අතර සිදු වන එදිනෙදා කතාබහ තියෙන්නෙ බොහොම සීමිත රාමුවක. මොකද පොඩ්ඩෝ එක්ක කවුරුත් දේශපාලනේ, මනෝ විද්‍යාව වගේ විෂයන් කතා කරන්න යන්නෙ නෑනේ. හැබැයි පුංචි කාලේ ඉඳන් ම ළමා පතපොතට හුරු කළොත් ඔවුන්ට නිරාවරණය වෙන විෂය පථයන් පුළුල් වෙනවා. ඒ අනුව එයාල හුඟක් වචන ඉගෙනගන්නවා. ඒ ඔස්සේ භාෂාත්මක හැකියාව දියුණු කරගන්නවා. විශේෂයෙන් දෙවැනි බසකින් කියවන්න හුරු කළොත් ඒක ඔවුන්ගේ අනාගතයට වඩාත් ඵලදායී වෙනවා. ඒ වගේ ම පසුකාලීනව ලේඛන හැකියාව සහ මනා සන්නිවේදන කුසලතා වර්ධනය කරගන්නත් මේක බලපානවා.
දැනුම් පිපාසය
දැනුම සම්බන්ධයෙන් පොඩි ළමයි තුළ පිපාසයක් ඇති කළොත් තමයි ඔවුන් අලුත් අලුත් දේවල් ගැන හොයාගෙන යන්න පෙළඹෙන්නේ. ඉතින් පොත්පත් කියවීමට හුරු කළොත් අලුත් දැනුම ගැන ඔවුන් තුළ කුතුහලය හටගන්නවා. පොඩ්ඩෙක් පොතක් කියවගන්න පුළුවන් තරමට වැඩෙන්න කලින්, ඔවුන්ට ඇහෙන්න ශබ්ද නඟා ළමා පොත් කියවීමෙන් මේ උනන්දුව ඇති කරන්න පුළුවන්. ඉස්ඉස්සෙල්ලා ම ඔවුන් කියවීමට පොළඹවන්න ඒක හොඳ ක්‍රමයක්.
සහකම්පනය
පොඩ්ඩෝ කියන්නේ වැඩිහිටියෝ වගේ අත්දැකීම් රාශියකට මුහුණ දීල තියන පිරිසක් නෙවෙයි නේ. අපි ලෝකය ගැන ඉගෙනගන්නේ අපි ලබන අත්දැකීම් එක්ක. මේ නිසා පොඩ්ඩන්ගේ ලෝකය පටුයි. ලෝකය ගැන ඔවුන්ගේ අවබෝධයත් පටුයි. මිනිසුන් අතර තියන විවිධත්වය අගය කරන්න, අනෙකා ගැන වටහාගන්න, වෙනත් කෙනෙකුට දැනෙන දේ තේරුම්ගන්න, පරාර්ථකාමී වෙන්න පුංචි අයට හුරු කළොත් තමයි ඔවුන් ශිෂ්ට සම්පන්න වැඩිහිටියන් බවට පත් වෙන්නේ. මේ හැඟීම් පොඩි අයගේ මනස ඇතුළේ වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ කියවීමෙන් විතරයි. මොකද ඔවුන් තව ම ලබලා නැති අත්දැකීම් සහිත විචිත්‍ර ලෝකයකට කියවීමෙන් ඔවුන්ව කැඳවාගෙන යනවා. ඒ ලෝකය ඇතුළේ විවිධාකාර සංස්කෘතීන්ට අයත් විවිධාකාර මිනිස්සු ඉන්නවා. එක ම දෙයක් විවිධ අය විවිධ දෘෂ්ටිකෝණවලින් දකින විදිහ හඳුනාගන්න එතකොට පොඩ්ඩන්ට පුළුවන් වෙනවා.
මොළයට ව්‍යායාම
කියවීම මොළයට ලැබෙන ව්‍යායාමයක්. ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉඳීමෙන් ඒ ව්‍යායාමය ලැබෙන්නේ නෑ. රූපයක් දිහා එක එල්ලේ බලන් ඉන්නවට වඩා, අපි කියවන වචන ඔස්සේ ඊට අදාළ රූප මනසේ මවාගැනීමෙන් තමයි මේ ව්‍යායාමය සිද්ධ වෙන්නේ. මේකට විෂුවල් තින්කිං කියලත් කියනවා. ඒ වගේ ම තර්කානුකූල ව හිතන්න මොළය පුරුදු කරන්නත් කියවීමට පුළුවන්.
අවධානය රඳවාගැනීම
හුඟක් දරුවන්ට හිත එකඟ කරගෙන පාඩම් කරන්න එහෙම බැරි වෙලා තියෙන්නේ අවධානය එක තැනක රඳවාගන්න බැරිකම නිසා. එක දෙයකට මනස ෆෝකස් කරගන්න විදිහ හුරු කරගන්න, කියවීම හොඳ අභ්‍යාසයක්. ඉතින් ඔබේ පොඩ්ඩගෙත් හිත එහෙ මෙහෙ දුවන එක නවත්තලා සන්සුන් කරන්න ඕන නම් කියවීමට පුරුදු කරන්න.
නිර්මාණශීලීත්වය
කලින් කිව්වා වගේ වචන කියවන විට ඊට අදාළ චිත්‍ර මනසේ ඇඳෙන්න ගන්න එක හරිම නිර්මාණාත්මක ක්‍රියාවලියක්. කවදාවත් ගිහින් නැති තැන්වලට යන්න, කවදාවත් නුදුටු මිනිස්සු අඳුනගන්න, කවදාවත් ලබන්න බැරි අත්දැකීම් ලබන්න, පුංචි අයට පොත්වලින් අවස්ථාව ලැබෙනවා. මේ ඔස්සේ පොඩ්ඩන්ගේ පරිකල්පන ශක්තිය දියුණු වෙන නිසා, එයාලව නිර්මාණශීලී වැඩිහිටියන් බවට පත් කරගන්න නම් පුළුවන් තරම් පොත් එක්ක ගැවසෙන්න දෙන්න.