“ආ..පෝ… දූරියන්!
හතර මායිමේ ගේන්න එපා ඈ…”
අනේ ඇත්තට, යාළු. අපේ ගෙදර කවුරුත් දූරියන්වලට කැමති නෑ කියන්නකො. ආසාවට ගෙඩියක් කන්න, ගෙදර ගෙනියන්න විදියක් නෑ, බොරේ දානව.
අන්න ඒකට අපේ වාඩියෙ සෙට් එක, දූරියන් නෙවෙයි ඔය ඕන පලතුරක්, ගහ පිටින්ම වුණත් කාබාසිනිය කරයි. වැඩිය ඕන නෑ, කට්ටියට මේ ළඟදි පළු වගයක් හම්බ වෙලා… හැන්දෑවෙ අපි යනකොට හතර වටේටම පළු ඇට, එක විමානයයි.
මම මේ ආර්ටිකල් එක ලියන්න හිතුවෙත්, හිතේ ගොඩ ගැහිලා තියෙන, ඒ වගේ සුන්දර මතක ගොන්න නිසාමයි. වැඩි හරියක්ම ඔය, එහෙ මෙහෙ ඇවිදිද්දි හමුවෙන ගස් ගෙඩිවල රස, ජීවිතේට කාලා තිබුන නැති එළවළු, මාලුවල ගුණ සුවඳ නිසා.
එහෙනම් ලෑස්ති වෙමුද, ආයෙත් ඒ රස මතක ටික අවදි කරගන්න. කොළඹ, බැස්ටියන් මාවතේ, ‘කැළෑ පොළේ’ නැත්නම්, හොයාගෙන ගිහින් හරි කමු යාළු! අපේ, ගමේ රටේ පලතුරුනේ…
1. බෝවිටියා
පටන් ගැන්මම බෙහෙතක් අයියේ. ගැස්රයිටීස්වලට, රතු රුධිරාණු වර්ධනයට කියාපු පලතුර. උතුරකරේ හැරණාම, ලංකාවෙ අනිත් පළාත් පුරා ව්‍යාප්ත වෙලා තියෙන නිසා, මේව හොයා ගන්නත් ඒ හැටි අමාරු නෑ. වැඩි හරියක්ම මේ කොළඹින් පොඩ්ඩක් එපිටට ගියත් බඩු තියෙනව. බෝවිටියා ගෙඩි පුංචි වුණාට, පොඩි බූවක් වගේ තිබුණට, ඉදුණට පස්සෙ එන තද දම්පාට නිසා කන්නමයි හිතෙන්නෙ. හැරත් ක්ෂණිකව දැනී නොදැනී යන පැණි රස ගතිය නිසා එක පේළියට කාගෙන කාගෙන යන්න පුළුවන්.
2. පඩ
දන්නැති අය නම් හිනාවෙයි. ඒත් දන්න අය? හොය හොයා කයි. මොකද පඩ ගෙඩි ඒ තරම් රසයි. තද මදයක් නැති වුණත්, ඉදිලා කහ පාට වුණාට පස්සෙ මේවයෙ තියෙන පැණි රසයි, පිටි ගතියයි ඇත්තටම පංකාදු පහයි. විටමින් ඩී සෑහෙන්න තියෙන පලතුරක් විදියටත් පඩ ගෙඩි ප්‍රසිද්ධයි. ඒ හැරුණාම ඉතින් පඩ දලුත් මැල්ලුම්වලට එහෙම ගන්නවනේ.
3. කිරිල්ල
අමු ගෙඩි,වලු පිටින් කඩාගෙන බට තුවක්කුවට දාලා වෙඩි තියපු කාලෙ මතකද?
එහෙම නැත්නම්, අමතක වෙලා සාක්කුවල ඉතිරි වෙච්චවලු රතු පාටට ඉදුණාම, රස කර කර කාපු කාලෙ?
මතකයි, නැතෙයි කියල අවුලක් නෑ. කොහොම වුණත් කිරිල්ල කියන්නෙත් සුපිරි පලතුරක්. ඒවයෙ ගුණ ගැන කියන්න අපි ඒ හැටි නොදන්නව වුණාට, ඉදුණු කිරිල්ලවල පැණි රස මිශ්‍ර කහට රහේ තියන ගතිය නම් හොඳ හැටි කිව්වහැකි.
4. හිඹුටු
අතුරුපසට නෙවෙයි පොඩි බඩගින්නකට වුණත් කන්න පුළුවන් පලතුරක්. මොකද ඒ තරම් පෝෂණයක් තියෙන්නෙ. විශේෂයෙන්ම දියවැඩියාවට එහෙමත් සෑහෙන්න හොඳයිලු. ලා ඇඹුල් ගතිය එක්ක කලවමේ එන පැණි රස නිසා හිඹුටුවල රස නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. අනික මේවා පළු, වීර වගේ පොඩි ගෙඩිත් නෙවෙයිනෙ. 8ක් 10ක් ගිල්ල නම් තත්වෙකට එන්න පුළුවන්. වැඩේ කියන්නෙ ලංකාව පුරාම ව්‍යාප්ත වුණාට, හිඹුටු ගස් දැන් දැන් හොයා ගන්න හරි අමාරුයිනෙ. කැලේකටම රිංගන්න වෙනව.
5. කෝන්
විටමින් සී, ඩී වගේ විටමින් තොගයකින් පිරිලා. ඒ නිසාමද කොහෙද මේවා ටිකක් ඇඹුලයි. හැබැයි හොඳටම ඉඳුණු ගෙඩිවල පොඩි පැණි රස ගතියකුත් නැත්තෙම නෑ. කොහොම වුණත් කෝන්, තවමත් කොළඹ අහල පහළින් පවා හොයා ගන්න තියෙන එක ගැන නම් සෑහෙන්න සන්තෝසයි.
6. කොට්ටම්බා
අමු කොට්ටං ගෙඩි කෙසේ වෙතත් වේලිලා වැටුණු ඒව නම් පංකාදු පහයි. ගලේ තියල තැළුවා, මදේ එවෙලෙම ආමාශ ගත කළා. හැබැයි ඉතින් ඔය වැටිච්ච කොට්ටං අහුලං කනකොට එහෙන් මෙහෙන් වවුල්ලු බීපුවත් සෙට් වෙනව. ඒක ඉතින් ඒ හැටි ගණන් ගන්න ඕන නෑ. ගස්වල ගෙඩි කාටත් පොදුයිනෙ. හැරත්, කොට්ටං මදවලට බඩ පණුවො පොඩ්ඩක් ඇවිස්සෙන ගතියකුත් තියෙනව. කොහොම වුණත් දඟලන වයසෙ පොඩ්ඩන්ට නම් කියාපු කෑම. මොකද කජු මද වගේම ඇඟට හයියයිනෙ.
7. පළු
මෙන්න තවත් බී විටමින් කරලක්. ටිකක් ශුෂ්ක කලාපවල තමයි මේවා හැදෙන්නෙ. ඒ නිසාමද කොහෙද පළුවලත් රස මරේ මරු. හැබැයි පොඩි කහට ගතියක් නම් තියෙනව. ඒත් පිටි ගතියට, පැණි රසට හැපෙද්දි ආයෙ ගහක් පිටින්, වුණත් පාළු කරතහැකි.
8. වීර
ලොවි ගෙඩි වගේමයි. හැබැයි ඊට ටිකක් පොඩියි. මේකත් පොඩි ඇඹුල් ගතියක් එක්ක කන්න තියෙන පලතුරක්. හැබැයි හොඳටම ඉඳුණු ගෙඩිවල ලා පැණි රසකුත් තියෙනව. කොහොම වුණත් පළු කනව වගේ ගහේ ඉඳගෙනම කන්න පුළුවන් තරම් රස පලතුරක් තමයි. අවාසනාවට දැන් දැන් වීර ගසුත් සෑහෙන්න අඩුයි කියන්නකො.
හ්ම්ම්… පොඩ්ඩක් ඉවසල ලබන සතිය වෙනකම් හිටියොත්, මේ වගේ තවත් පලතුරු වර්ග තොගයක් ඔයාලට දැනගන්න පුළුවන් වේවි. හැබැයි ඉතින්, ඒ ඉන්නකම් ඔයාලා දන්න ඒවත් අපිට කියන්න ඕන. එතකොටනෙ වටිනකමක් තියෙන්නේ…