කවුරු මොනවා කිව්වත් කැම්පස් කාලේ වගේ ආතල් කාලයක් නම් ආයේ එන්නේ නෑ. යාළුවොත් එක්ක ඒ නටපු පිස්සු මතක් වෙද්දී අදටත් ඉල ඇට ඇදෙනකන් හිනාවෙන්න පුළුවන්. මේ විනෝදෙට පොඩ්ඩක් වගේ පරහකට තිබුණේ විභාග ටික තමයි.
එක පතේ බත් කාලා හිටියත්, මේ කාලෙට සමහර අයගේ බොක්ක වෙනස් වෙනවා. ඒ නිසා මේ කාලෙට ඉන්නේ වෙනම ම ජීවී කොට්ඨාශයක්. ඉතින් කැම්පස් ජීවිතේ මතකයත් එක්ක, අපේ සිහියට එන මේ අය ගැන කතා කරන්න අපි කල්පනා කළා.
1. සැමට හිත ඇත්තෝ
විභාග දවස්වලට තමන්ගේ යාලුවන්ගේ කණෙන් ඇදගෙන ගිහින් හරි පාඩම් කියලා දීලා, උන්ව ගොඩදාන ඇත්තෙක් තමයි මේ. ගොඩක් වෙලාවට මේ කුප්පි ආරම්භ වෙන්නේ ම “මේක එච්චර අමාරු නැහැ මචං” කියන වචන ටිකත් එක්කයි. වැස්සකටවත් ලෙක්චර් එකකට නාව උදවිය පවා මෙයාගේ කුප්පිවල උදව්වෙන් ගොඩ යන අවස්ථා ඕනෑ තරම්. විභාගෙට කියලා අමුතුවෙන් පාඩම් කරන සිරිතක් හෝ, ඒ වගේ කතා කියලා යාළුවන්ට උගන්වන එක මඟ හරින පුරුද්දක් මේ ළමයා ළඟ නැහැ. තමන් වගේ ම අනිත් මිනිස්සුත් ගොඩ යන්න ඕනේ කියන දේ අදහන මේ වගේ ළමයි ඉන්න එකත් හරි ම වාසනාවක්.
2. ලෙඩ වාට්ටු
“අනේ මගේ බඩ දැවිල්ලයි වගේ"
“මගේ ඔළුව රිදෙනවා අනේ දවස් ගානක ඉඳන්"
“විභාගේ ගැන මතක් වෙද්දී මට වමනෙට වගේ"
විභාගේ කිට්ටුවෙද්දී සමහර අයගෙන් මේ වගේ කතා ඇහෙන එක අමුතු දෙයක් නෙවෙයි. දවස් කීපයකට කලින් ගස් ගල් වගේ යහතින් ඉඳපු මේ කට්ටියට විභාග කාලසටහන දැක්කම ලෝකේ නැති අමාරුකම් හැදෙනවා. හෙට අනිද්දට මැරෙන ගානට කතා කරන මේ කාණ්ඩෙගේ ලෙඩ බොහොමයක් ඉතින් විභාග ආතතිය නිසා හැදෙන ඒවා. පොතක් අතේ තියාගෙන කෙඳිරි ගගා ඇවිදින එක තමයි මුන්දැලගේ රාජකාරිය.
3. හැංගි හොරා
ඇහුවොත් ඇත්තන් “පොතක් අතින් අල්ලලා නැති” ගානට කතා කරන මේ උදවිය, කාටත් හොරෙන් පාඩම් කරන බව නම් කවුරුත් දන්න රහසක්. තමන් පාඩම් කරන වග දැනගෙන, අනිත් අයත් පාඩම් කරලා විභාග පාස් වේවි කියන ඊර්ෂ්‍යාව මෙයාලා ළඟ හරියට තියෙනවා. ඒ නිසා පාඩම් කරන එක වහන් කරන්න හෙණ රඟපෑම් දෙනවා. “මේ සැරේ නං මං ෂුවර් එකට රිපීට් බං”; කතාවට කියන්නේ ඔහොම වුණත්, හරි අපූරුවට විභාග ටික සමත් වෙන්න නම් මේ කට්ටියට පුළුවන්.
4. බැරි-සේන
“අයියෝ මට බෑ බං මේ විභාග ලියන්න"
“අඩෝ මම මේ ඩිග්‍රිය නවත්තනවා බං"
කට ඇරියොත් බෑ කියන මේ ජාතියේ කෙනෙක් ඕනෙ ම විභාග කාලෙක දැකගන්න පුළුවන්. තක්කෙට ම විභාගේ ෆේල් වෙන නැකත බලලා එළියට බහින පුරුද්දක් මේ පුද්ගලයන්ගේ තියෙනවා. හැබැයි ඔයින් මෙයින් වෙන්නේ අගේට ඩිග්‍රිය කරගෙන ඉඳපු උගේ යාළුවොත් හෝන්දු මාන්දු වෙන එක.
5. තනියෙන් බුදු වෙන්න හදන ඈයෝ
තමන්ට වඩා පාඩම් කරන කෙනෙක්ව මෙයාට පෙන්නන්න බැහැ. නිකමට හරි තමන්ට වඩා වැඩි ලකුණක් ගත්ත කෙනෙක් හිටියොත් මේ කට්ටියට එදා රෑට නින්ද යන්නෙත් නැහැ. කොයිම වෙලාවකවත් කුප්පියකට සම්මාදම් නොවෙන මේ උදවිය පාඩම් කරන්නේ තනියමමයි. මෙයාගෙන් නෝට් එකක් ඉල්ලගන්න එක ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්.
6. කොපි කැට්ස්
“අනේ බං මට පෙන්නපං ඇහ්?”
මේ උදවිය විභාග ශාලාවට ඇවිදින් වාඩිවෙන්නේ ම මෙහෙම කියාගෙන. බෙහෙතකටවත් පොතක් පතක් නොබලා විභාගෙන එන කට්ටියක් තමයි මේ. තමන්ගේ පාඩුවේ කොපි කිරිල්ල කමක් නැහැයි කියමුකෝ. වටේ ඉන්න මිනිස්සුන්ට කරදර කර කර කොපි කරන්න ගත්තම නම් මොනවා වුණත් එපා වෙනවා.
ඔය කොයි වගේ චරිත හිටියත්, කාණ්ඩෙ එකතුවෙලා නයිට් ගහලා, කුප්පි දාලා පාඩම් කරද්දී, ඒවායින් විභාගේ පාස් වෙද්දී එන සතුට වෙන කිසි දේකට සමාන කරන්න බැහැ. ප්‍රතිඵලේ මොකක් වුණත්, පහුවෙනිදට එකතුවෙලා අපි ආයෙත් පිස්සු කෙළින්න ගත්තේ ඒ කෝන්තර සේරම අමතක කරලයි.
ඔයාලට මතක් වෙන, තවත් මේ වගේ චරිත ඉන්නවද? එහෙනම් කට්ටියට මතක් වෙන්නත් එක්ක දාමුකෝ බලන්න කමෙන්ට් එකක්.