ආයෙත් ලොකු වීක්එන්ඩ් එකක් අතලඟම එනවා. එකම අවුල තියෙන්නෙ වෙලාවක් කලාවක් නැතුව වැටෙන වැස්ස නම් තමයි. පහුගිය දවස් ටිකේ, ඔය වැස්සෙන් කොච්චර නම් කරදර වුනාද?. වාසනාව කියන්නෙ, අපේ මිනිස්සුන්ගෙ හිත් හොඳකම් නිසාම හොඳයි. ගොඩ දෙනෙක් මේ වෙද්දි යාන්තම් ඔළුව උස්සල ඉන්නව. ඔයාලත් ගොඩක් උදව් කරන්න ඇතිනෙ.
ඒ කොහොම වුනත්, වැස්සය කියල මේ නිවාඩුව අතඅරින එකනම්… ඇත්තටම අපරාදෙ! මොකද, පවුලේ උදවියත් එක්ක හරි, යාළුවොත් එක්ක හරි, ආදරණීයයන් එක්ක හරි වුනත් අපූරු නිවාඩුවක් ගත කරන්න යන්න කියාපු දවස් ටිකනෙ. අනික වැස්සත් එක්ක ලස්සන වුනු සොබාදහමෙ අපූර්වත්වයත් හිතේ හැටියට විඳගන්න පුලුවන්.
අන්න නිසයි අපි කල්පනා කලේ, අතේ තියෙන ගාණට සුපිරි නිවාඩුවක් ගතකරලා එන්න පුලුවන් තැන් ටිකක් ඔයාලට කියන්න. එසේ මෙසේ තැනුත් නෙවෙයි, මුලුමනින්ම වගේ ලී වලින් හදපු හරි අපූරු කොටේජ් ටිකක්. හොඳ වතුර ටිකක් නාලා, රස කෑම ටිකක් කාලා, සෆාරියක් එහෙමත් ගිහිල්ලා එන්න කියාපු තැන්. හැරත්, හැන්දෑවට ගිණිමැලයක් ගහගත්ත නම්, පොඩි අඩියක්, බාබකියු එකක්, සිංදු කෝටියක් එක්ක සුපිරි පාර්ටියක් වුනත් දැම්ම හැකි.
එහෙනම් ඉතින්, බලල කරල හොඳ තැනකට ගිහින් එන්නකො. හැබැයි ඉතින්, ගිහින් ඇවිත් විස්තරෙත් අපිටත් කියන්න ඕන, හොඳද. මොකද අපිත් ආසයිනෙ ඔයාලගෙ අත්දැකීම් දැන ගන්න.
1. Garden Cottage (Arugambay)
ආරුගම්බොක්ක, සුන්දර වෙරළ තීරය පෙනෙන නොපෙනෙන මානයේ, මෆාසා පල්ලිය පාරෙ තමයි ගාර්ඩ්න් කොටේජ් පිහිටල තියෙන්නෙ. කාමර, ඉස්තෝප්පු වගේම නාන කාමර පවා ලීයෙන් හදල තියෙන මේ පුංචි හෝටලයෙ ලස්සන දෙගුණ තෙගුණ වෙන්නෙ වහලට හෙවිලි කරපු පොල් අතු වලින්. බීච් එකට කිට්ටු නැති නිසා මෙතන වටපිටාව නම් ඒ හැටි ලස්සන නෑ. හැබැයි නිදහස හොඳ හැටි තියෙනව. ඒ හැරුනාම ඉතින් මෙයාලගෙ කෑම බීම එහෙමත් සෑහෙන්න හොඳයි.
2. Nature Village (Matugama)
මේ කොටේජ් එක නම් එහෙම පිටින්ම කැළේ ඇතුලෙ තියෙන්නෙ. මතුගම, පන්නිල-හල්වල පාරෙ, ලොකු තේ වත්තක් මැද්දට වෙන්න. උස අට්ටාල හදල ඒවයෙ ඇඳන්, පුටු මේස දාලා, කළුගල් වලින් බිම් කාමර හදල ඒවයෙ පොල් අතු හෙවිලි කරලා, හරිම ලස්සනයි. විශේෂයෙන්ම කියන්න ඕන මේ හැම කාමරයක්ම පරිසරයට නිරාවරණය වෙන නිසා කැළෑ ගතිය හොඳ හැටි ඇඟට දැනෙනව. වෙන මොනව නැතත් ගමේ රහට කෑම ටිකක් කන්නයි, රෑ ජාමෙට ගිණි මැලයක් ගහගෙන විනෝද වෙන්නයි නම් නේචර් විලේජ් කියාපු තැන.
3. Plummy Dale Moated Cabana (Tissamaharamaya)
තිස්ස, මහසෙන්පුර, යෝධ වැව් ඉස්මත්තෙ ඉදිකරල තියෙන ප්ලමි ඩේල් කබානා ටික නම් සුපිරි වයිල්ඩ් අත්දැකීමකට නියම තැන. ලී තට්ටුවක් උඩ ගහපු ලොකු ටෙන්ට් එකක්, පිදුරු වහලයකින් හෙවණ වෙලා, වට පිටාවෙ ගස් කොළන්, සතා සීපාවගෙන් හැඩ වෙලා, නියමයි! ඝන කැළේ, අලි විමානෙ, රැයක් ගත කරන්නත් මෙතන මරු තැන. ඉර බැහැගෙන යන හැන්දෑවක, ගිණිමැල, බාබකියු පාර්ටියක් දාලා විනෝද වෙන්න වගේම උදෙන්ම නැගිට්ටොත් සෆාරි යන්නත් ඔයාට පුලුවන්. ඒ හැරුනාම ඉතින් කෑම බීම ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
4. Queens Wood Cottage (Nuwara Eliya)
ලී වලින් හදපු සුපිරිම කොටේජ් එකක් තමයි. ඒකත්, පිහිටල තියෙන්නෙ නුවර එළියෙ නිසා ලස්සන ඩබල් ත්‍රිබල්. උඩ තට්ටුවට නැග්ගාම හතර වටින්ම පේන්නෙ මීදුමෙන් වැහුනු උස් කඳු මුදුන්. ඒවා කුළුඳුල් හිරු කිරණින් හැඩ වෙන අපූරුව නම් ඇත්තටම මනස්කාන්තයි. නුවර එළිය-බදුල්ල පාරෙ, ලෙබනන් මාවතේ පිහිටල තියෙන මේ සුන්දර නවාතැන ගොඩක්ම වටින්නෙ සීතල වසන්තයක් ගත කරන්න හිතාගෙන ඉන්න අයට තමයි. කටට රහට කෑම ටිකක් කාලා, ආදර කතාබහක් දාන්න, මලින් පිරුනු උද්‍යානයක අත්වැල් බැඳගෙන ඇවිදින්න… ආසයි නේ!
5. Riviera Wooden Cabana (Kallady)
කල්ලඩි පාළම පාමුල සිංදු කිව්ව මාළු බලන්න යන්න! ඒ විතරක් නෙවෙයි, මෝය කටේ බෝට්ටු සවාරියක් යන්න, වෙරළට බැහැලා විනෝද වෙන්නත් පුලුවන්. එහෙම විනෝද වෙලා මහන්සි නිවාගන්න ගොඩ වෙන්න කල්ලඩි, රිවියෙරා කබානා එකට. මුලු මනින්ම ලී වලින් හදපු මේ කබානා, මඩකලපුවෙ රස්නෙට නම් හොඳ හැටි ඔරොත්තු දෙනව. අනික සුව පහසුව අතිනුත් සෑහෙන්න හොඳයි. ගියපු ගොඩ දෙනෙක් කියන්නෙ කෑම බීම ටිකත් පංකාදු පහට තියෙනව කියල. ඒ හැරුනාම ඉතින් හැන්දෑ ජාමෙට, රතු පාට ක්ෂිතිජය දිහා බලාගෙන පොඩි අඩියක් ගහන්න, සිංදුවක් කියන්න වුනත් බැරි කමක් නෑ.
6. Silaa Cabana (Trincomalee)
ත්‍රිකුණාමල-නිලාවැලි පාරෙ දේව නගර් වල පිහිටල තියෙන මේ කබානා ටිකත් නිදහස්, නිස්කලංක රැයක් ගෙවන්න නියමයි. මොකද එක පැත්තකින් කළපුව, අනික් පැත්තෙන් මුහුද. ඉතින්, වතුරත් එක්ක හැප්පෙන්න බය නැති අයට කියාපු නවාතැන. වැඩි හරියක්ම සර්ෆින්ග්, ඩයිවින්ග් වැඩ වලට මරු. මොකද, ට්‍රින්කො බීච් එක කිව්වාම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ කොහොම වුනත්, රස වෑහෙන සී ෆුඩ් ටිකක් හිතේ හැටියට කන්න, පොඩි ෂොට් එකක් දාන්න, පොඩි ගිණි මැලයක් ගහගෙන සිංදුවක් කියන්න නම් නියමම තැන.
7. The Farm Resort (Dickoya)
කැමතිද කඳුකරයට වෙලා හීතල නිවාඩුවක් ගත කරන්න. එහෙනම් යන්න දික්ඔය, කැරොලිනා-නෝර්ටන් පාරෙ කාසල්රිජ් බංගලාව කිට්ටුවට. එහෙම යද්දි පෙනෙයි වැව් ඉවුරට වෙන්න හදල තියෙන ලී කොටේජ් ටිකක්. තේ වත්තක් මැද්දෙ, කළු ගලින් නිමවුනු ගොඩ නැගිල්ලක, වහලයට පිදුරු හෙවිලි කරල, බිම ලී අල්ලල, කියන්න වචන නෑ. ජනේලයෙන් බැලුවාම, ඈතින් පේන කාසල්රිජ් ජලාශය, එපිට කඳු පන්තිය හරිම සිත් ඇදගන්නා සුළුයි. සීතල වසන්තයකට වගේම, පවුලේ උදවිය එක්ක ඇවිත් නිවාඩුවක් ගත කරන්නත් කියාපු තැනක්. කෑම බීම එහෙමත් ටොප් එකට තියෙනවලු.
එහෙම නැතත් අවුලක් නෑ. හැබැයි ඔයාලා දන්න කියන මේ වගේ තවත් ලස්සන කොටේජ්, කබානා තියෙනව නම් අපිට කියන්න ඕන. මොකද අපේ යාළුවො ගොඩ දෙනෙක් ඉන්නව මේ පාර නිවාඩුවට රවුම් ගහන්න බලාගෙන. හාද