මේ වැහි කාලේ කවුරු කවුරුත් වෙනදට වැඩියෙන් කෝපි සුවය විඳිනවා ඇති. එළියේ උතුරන්න වැස්ස වැටෙද්දි ගේ ඇතුළෙ ගුලි වෙලා සීතල නැති වෙන්න උණු උණු කෝපි එකක් තොල ගානකොට දැනෙන්නෙ අමෘතය වගේ නේ. ඒ අතරේ ඊයෙට, ඒ කියන්නෙ ඔක්තෝබර් පළමු වෙනිදට ජාත්‍යන්තර කෝපි දිනයත් යෙදිල තිබුණා. ඉතින් කෝපි ගැන ඔබ දැනගෙන හිටියෙ නැති කරුණු කීපයක් කියන්නයි අපි මේ හදන්නෙ.
1 ලෝකෙන් දෙවෙනි තැන
ලෝකේ මිනිස්සු වැඩියෙන් ම පානය කරන දේවල් අතරේ දෙවෙනි තැන තියෙන්නේ කෝපි. පළමු තැන හිමි වෙන්නේ වතුරට. ඒ වගේ ම ලෝකේ මහා පරිමාණයෙන් වෙළෙඳාම් කෙරෙන වෙළෙඳ භාණ්ඩ අතරෙත් දෙවෙනි තැන තියෙන්නේ කෝපි. පළමු තැන හිමි වෙන්නේ බොර තෙල්වලට.
2 හොයාගත්තෙ එළුවෝ
1500 ගණන්වල ඉතියෝපියාවේ හිටපු එළුවන් බලාගන්න එඬේරෙක් තමයි පළමු වතාවට කෝපි හොයාගත්ත කියල සැලකෙන්නේ. මේ පැළෑටිය කෑවට පස්සෙ තමන්ගේ එළුවන්ගේ හැසිරීම වෙනස් වෙලා, ඔවුන් ශක්තිජනක සහ උද්යෝගිමත් ආකාරයෙන් දුව පනින බවත්, රාත්‍රියට නොනිදා අවදියෙන් ඉන්න බවත් දැක්ක මේ එඬේරා, ඒ ගැන මේ පළාතේ භික්ෂූන්ට දැනුම් දීල තියනවා. ඉන්පස්සේ භික්ෂූන් මේ පැළෑටියෙන් පානයක් හදලා බීලා බැලුවාලු. එතකොට ඒ අයට මුළු රෑ ම අවදියෙන් ඉඳල තමන්ගේ යාඥා කටයුතු කරගන්න පුළුවන් වුණාලු. මේ විදිහට තමයි කෝපි ගැන ආරංචිය ලෝකේ පුරා ම පැතිරිලා ගිහින් තියෙන්නේ.
3 ඔලිම්පික් ගිය කෝපි
1932 අවුරුද්දේ ලොස් ඇන්ජලීස්වල පැවැත්වුණු ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් යවන්න අවශ්‍ය පිරිවැය දරන්න බ්‍රසීලයට හැකියාවක් තිබුණෙ නෑ. මේකට විසඳුමක් කල්පනා කරපු බ්‍රසීල රජය අපූරු උපායක් හොයාගත්තා. ඔවුන් ක්‍රීඩකයන්ව කෝපි පුරවපු නැවක නග්ගලා ඔලිම්පික්වලට යැව්වා. නැව ලොස් ඇන්ජලීස්වලට ළඟා වෙනකොට මඟ දි අර මුළු නැවේ ම තිබුණු කෝපි අලෙවි වෙලා, ක්‍රීඩකයන්ට ඔලිම්පික් උළෙලට සහභාගි වෙන්න මුදල් සපයාගන්න පුළුවන් වෙලා තිබුණා.
4 කෝපි නිසා දික්කසාද!
තමන්ගේ ස්වාමි පුරුෂයා උදේ පාන්දරට අලුත් ම කෝපි අරන් එන්නේ නැත්තම් ඔහුව දික්කසාද කිරීමට හැකි නෛතික පසුබිමක් පුරාණ අරාබි සංස්කෘතියේ කාන්තාවන්ට තිබුණා ලු. සමහරු නං කියන්නේ තාමත් සෞදි අරාබියේ මේ නීතිමය පසුබිම තියනව කියලා.
5 කෝපි බොනවද අයිෆෝන් එකක් ගන්නවද?
ඇමරිකානුවෝ අවුරුද්දකට කෝපිවලට වියදම් කරන මුදල සාමාන්‍යයෙන් ඩොලර් 1092ක් විතරලු. ඒ කියන්නේ සතියකට ඩොලර් විස්සක් කෝපිවලට වැය වෙනවා. ඒ මුදල අලුත් ම අයිෆෝන් එක්ස් එකක මිලට ළඟයි. වැඩිහිටියන්ට වඩා තරුණ තරුණියන් කෝපි බොන නැඹුරුවක් තියනවා කියලත් කියවෙනවා.
6 හවායි කෝපි
පුදුම වැඩේ කියන්නේ මෙච්චර කෝපි බොන මිනිස්සු ඉන්න ඇමරිකාවේ, කෝපි වවන්නේ එක ප්‍රාන්තයක විතරයි. ඒ හවායිවල. හවායි ප්‍රාන්තයක් බවට පත් වෙන්නත් කලින් ඉඳලා එහෙ කෝපි වගාව සරුවට කෙරිලා තියනවා. හැබැයි දැන් දැන් කැලිෆෝනියා ප්‍රාන්තයේ ගොවීනුත් කෝපි වගාවට බැහැලා ලු. කොහොම හරි කෝපි වැවෙන්නේ සරු පසක් සහ නිවර්තන කාලගුණයක් සහිත උස් ප්‍රදේශවල විතරයි.
7 කෝපි බොන යුරෝපය
ජාත්‍යන්තර කෝපි සංගමයට අනුව ඇමරිකාවට වඩා යුරෝපය කෝපි ආනයනය කරනවා. ඒ වගේ ම වැඩියෙන් ම කෝපි අපනයනය කරන රට තමයි බ්‍රසීලය.