“මෂන්, ෂැල් වි ඔර්ඩර් සම් බර්ගර්ස් ඔර්… අ සබ්”
හැමදාම වගේ, හවස 4,5 වෙද්දි ඇහෙන වචන සෙට් එකක් තමයි මම ඔය කිව්වෙ. වෙන කොහෙන් වත් නෙවෙයි, අපේ ඔපීසියෙන්. ඇයි ඉතින් ඔය අපි වගේ, වඩයක් කාලා ප්ලේන්ටියක් ගහල ෂේප් වෙන්න පුලුවන් කස්ටිය මෙහේ අඩුයිනෙ. හිටියත්, කාලයාගේ ඇවෑමෙන් එයාලටත් ‘මෙව්ව උණ’ බෝවෙනව. ඊට පස්සෙ ඉතින් බර්ගර් පිහිට තමයි.
කොහොම හරි ඒකෙන් මේකෙන් සිද්ධ වුනේ, ඔයාලට ලියන්න දෙයක් මට කල්පනා වුන එක. ඒකත් එසේ මෙසේ විදියකට නෙවෙයි, මෙන්න මෙහෙම.
ඔන්න පහුගිය සිකුරාදත් ඉහත කී පරිදි, හවස් ජාමෙ අල්ලල කට්ටිය බර්ගර් ඕඩර් කරන්න ලෑස්ති වුනා. දැන් මටත් නිකම් ඉන්න බැනෙ, මම කල්පනා කලා රු. 100න් 200න් ෂේප් වෙන්න පුලුවන් වෙන විදියක් ගැන. හැබැයි ඉතින් ඒ කෑම එකත් බර්ගර්, සබ්මැරීන් ලඟින් යන එකක් වෙන්නත් ඕන. නැත්නම් සවුත්තුවනෙ.
ඔහොම හොයාගෙන හොයාගෙන යද්දි මට හමුවුනා ක්ලබ් සැන්ඩ්විච් කියල කෑමක්. මතකෙ හැටියට එක පාරක්ද කොහෙද කාලා තියෙනව. මේ ක්ලබ් සැන්ඩ්විච් වල තියෙන විශේෂත්වය තමයි කෑලි පොඩි වුනාට 6ක්,8ක් එක පිඟානකට එන එක. සමහර වෙලාවට ෆ්‍රෙන්ඩ් ෆ්රයිස් එහෙමත් හම්බවෙනව. ගණනුත් රු. 300,400 වගේ නිසා දෙන්නෙක්ට සෙට් වුනානම් පොඩි බඩ ගින්න පොෂ් එකේ නිවා ගන්න තිබුනා.
ඒත් අවාසනාව කියන්නෙ මෙච්චර කෑම තියෙන YAMU සයිට් එකේ හොයලත් ක්ලබ් සැන්ඩ්විච් තියෙන කඩ 7යි කියන්නකො හම්බවුනේ. කමක් නෑ තව ටිකක් හොයල කියන කම් මේ ටිකට ගොඩ වෙලා බලන්නකො.
1. Dinemore
කවුරුත් දන්න කියන තැනක්නෙ. ගල්කිස්ස, කොල්ලුපිටිය, කුරුඳුවත්ත, කොහුවල විතරක් නෙවෙයි දැන් අලුත් එකක් බත්තරමුල්ලෙත් දාන්න යනව. සබ්මැරීන් වලට ලංකාවෙ නම් දරාපු තැන වුනාට කට්ටිය නම් කියන්නෙ දැන් දැන් ඩයින්මෝර් එක අවුල් කියල. හැබැයි මම මේ ලඟදි ගියා එහෙම අවුලක් තිබ්බෙ නෑ. කොහොම වුනත් මොකද අඩුම ගාණට රසම ක්ලබ් සැන්ඩ්විච් කනව නම් මෙතන තමයි තැන. චිකන්, ටූනා, චීස් ඇන්ඩ් වෙජි වගේ රස 3කින් එනව. නැගලම යනව කියන්නෙ ටූනා එකයි වෙජි එකයි. මොකද චීස් රසත් එක්ක නියමෙට ගැලපෙනවනෙ. අනික ෆ්‍රෙන්ච් ෆයිස් ටිකකුත් හම්බවෙනව. ඇත්තටම රු. 300, 350ට පාඩු නෑ.
2. Burger’s King
ඔන්න මාරු කර ගන් එපා මේක ‘බර්ගර්ස් කිංග්’ හොඳද. තියෙන්නෙ කොම්පඤ්ඤ වීදියෙ. මෙයාල නම් දරන්නෙ බර්ගර්ස් වලට වුනාට ක්ලබ් සැන්ඩ්විච් එහෙමත් හරි රහට හදනව. චිකන්, බීෆ් වගේම වෙජි රස වලිනුත් තියෙන නිසා තෝරල බේරල ගන්න පුලුවන්. එතකොට චීස් එහෙම වැඩිපුර ඕන නම් කියල දාගන්න පුලුවන්. පොඩි ගාණයි වැඩිවෙන්නෙ. බර්ගර්ස් කිංග් එකෙත් ක්ලබ් සැන්ඩ්විච් වලට ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටිකක් දෙනව. හැබැයි ඩයින්මෝර් සැන්ඩ්විච් වලට වඩා මෙයාලගෙ මැද පිරවුමේ මස් ටික පට්ට රස නිසා රු. 350කට සෑහෙන්න වටිනව.
3. Lion Pub
ගල්කිස්ස පැත්තෙ, පොඩි අඩියක් ගහන්න සෙට් වෙන්න කියාපු තැනක්නෙ ගෝල් රෝඩ් එකේ තියෙන ලයන් පබ් එක. ඒ නිසාමද කොහෙද පොඩි අඩියකට, බියර් එකකට වුනත් නියමෙට ලයින් වෙන සුපිරි ක්ලබ් සැන්ඩ්විච් පිඟානක් මෙතනත් තියෙනව. චීස් එහෙම මදි නොකියන්න දාලා හදන මේ ක්ලබ් සැන්වඩ්විච් වල මැද පිරවුමත් මරේ මරු. චිකන් එහෙම හීනියට ලියල බැදල තමයි දාන්නෙ. ඒ මදිවට, ෆ්‍රෙන්ච් ෆ්රයිස් එහෙමත් පිඟානෙ පුරවලා. කිසි ගින්නක් නැතුව දෙන්නෙක්ට බඩ කට පුරව ගන්න පුලුවන්. පිඟානම රු. 450යි නිසා එක්කෙනෙක්ට වැටෙන්නෙත් පොඩි ගාණයි.
4. The Station
ගල්කිස්සෙ ඉඳන් දෙහිවල පැත්තට යද්දි මරීන් ඩ්‍රයිව් එකේ හමුවෙන ද ස්ටේෂන් එකෙත් කටට රහට බඩ පැලෙන්න කන්න පුලුවන් ක්ලබ් සැන්ඩ්විච් පිඟානක් තියෙනව. මම හිතන්නෙ චිකන් හරි ටූනා හරි වෙන්න ඕන. රස නම් පංකාදු පහට තියෙනවලු. සැන්ඩ්විච් කෑලිත් 6ක් 8ක් තියෙන නිසා දෙන්නෙක්ට වුනත් ඇති වෙන්නෙ නැතැයි. හැරත් අඩු නැතුව ෆ්‍රෙන්ච් ෆ්රයිස් එහෙමත් ලැබෙනවනෙ. ගාණත් රු. 450යි වෙන්නෙ.
5. Sulthan Palace
ටවුන්හෝල් ඔඩෙල් එක කිට්ටුව තියෙන මේ කඩේට යන ගොඩක් දෙනා බුරියානි කාලා ආවට, වෙස්ටර්න් ටයිප් කෑම ඒ හැටි රස බලන්න යන්නෙ නෑනෙ. එහෙනම් මෙදා පාර ඉස් ඉස්සෙල්ලාම කියල ක්ල්බ් සැන්ඩ්විච් පිඟානක් රස බලන්න සෙට් වෙන්නෙ. දන්න විදියට චිකන් එකක් ගත්ත නම් තමයි හොඳ. මොකද මෙයාලගෙ චිකන් කොහොමත් පට්ට රසයි. හැබැයි චීස් රස නම් ටිකක් විතර අඩුවෙයි. එතකොට ෆ්‍රෙන්ච් ෆ්රයිස් එහෙමත් හම්බවෙනවද කියල හරියටම හොයා ගන්න බැරි වුනා. ගාණත් රු. 300, 400 අතරෙ වෙන්න ඕන.
එහෙනම් ඉතින් සුල්තාන් පැලස් එකෙන් ක්ලබ් සැන්ඩ්විච් කාලා රස තොරතුරු ටික අපිට කියනකම් අපි බලාගෙන ඉන්නව හොඳද.
6. Chapter One
ඇතුල් කෝට්ටෙ පිහිටල තියෙන චැප්ටර් වන් එක ටිකක් පොෂ් තැනක් වුනාට මොකද මස් පුරවපු ලොකු ක්ලබ් සැන්ඩ්විච් කෑලි 4ක් එන පිඟානක් රු. 475යි වෙන්නෙ. රසේ හැටියට නම් පාඩු නෑ. ෆ්‍රෙන්ච් ෆ්රයිස් වෙනුවට එන්නෙ ක්‍රිස්පි අල වගේ එකක්. මස් පෙති එක්ක එළවලු එහෙමත් රස පදමට දාලා තමයි මෙයාලා ක්ලබ් සැන්ඩ්විච් හදන්නනෙ. එතකොට පොඩි ගම්මිරිස් එහෙමත් එන විදියට, ඒ අතරට චීස් රස එහෙමත් නියමෙට ගැලපෙන විදියට හැදෙන මේ සැන්ඩ්විච් නම් කොච්චර කෑවත් මදි කියල හිතේවි. එහෙම වුනොත් තව පිඟානක් ගන්න.
ඒ විතරක් නෙවෙයි ඒ පිඟාන ඉවරයක් කරන ගමන් තව, රස ක්ලබ් සැන්ඩ්විච් කන්න කියාපු කඩ එහෙම තියෙනව නම් අපිට කමෙන්ට් කරන්න හොඳද.