උදේ ඉඳන් හවස් වෙනකම් නිකං පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ වැඩ කරල, ගෙදර යන්න බස් එකට ගොඩ වෙන ඔයාගෙ හැඟීම්, අපිට අමුතුවෙන් කියන්න ඕන නෑ යාළු. ඒකාකාරී ජීවිතයෙ තියෙන නීරස ගතිය, දුක්බර, කටුක අත්දැකීම්වල එක්කාසුව කොච්චර රළුද කියල අපි දන්නව. ඒ නිසාමයි දන්න කියන මොනම හරි ක්‍රමයකින්, ඔයාලට රිලැක්ස් වෙන්න පුලුවන් දෙයක් ගේන්න ට්‍රයි කරන්නෙ.
දන්නවද ඒ ට්‍රයි එකේ අළුත්ම හොයා ගැනීම මොකක්ද කියල. කොළඹ අවට බෝට් රයිඩ් කරන්න කියාපු තැන් ටිකක්. වැඩ ඇරිලා බාර් එකට ගිහින් දවසට කුඩු කරන සල්ලිවලින් සතියක් බෝට්ටු පැද්ද හැකි. අනික ඇඟටත් හොඳයිනෙ. හිතත් පට්ට විදියට රිලැක්ස් වෙනව. කොල්ලො සෙට් එක නැති දාට ආදරය කරන කෙනා එක්ක යන්න පුලුවන්.
ඔය කොහොම වුනත්, කවුරු කාත් එක්ක නැතත්, කෑම, බීම ටිකක් මල්ලට දාගෙන බෝට්ටුවට ගොඩ වුනා නම් පුල් හැපි එකේ, හිතේ හැටියට රිලැක්ස් වෙලා එන්න පුලුවන්. එහෙනම් දවසක් දෙකක් ට්‍රයි කරල බලන්නකෝ!
1. Bere Lake
ගංගාරාම, බෝට්ටු සර්විස් එක ගැන කොළඹ පැත්තෙ උදවියට නම් අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. දන්නව ඇතිනෙ, මේ වැඩේ කරගෙන යන්නෙ ‘අපි වෙනුවෙන් අපි’, නේවි එකේ කට්ටිය. එයාලා හංස බෝට්ටු සවාරියක් යන්න පැයකට අය කරන්නෙ රු. 300ක් වගේ පොඩි ගාණක්. ඉස්සර නම් මෙතන මෝටර් බෝට්ටු සවාරිත් තිබුණා, අවාසනාවට දැන් නෑ. කොහොම වුනත් හවස් ජාමෙට බේරෙ වැව අවට, වට පිටාවෙ තියෙන නාගරීකරණ ලස්සනේ තියෙන අමුතු ගතිය නිසා, හිතේ හැටියට, ගත හිත රිලැක්ස් කර ගන්න නම් බැරි වෙන එකක් නෑ.
2. Bolgoda Lake
මොරටුව, බොල්ගොඩ ගඟ හතර මායිමේ තියෙන ඕන හෝටලේකින් බෝට් රයිඩ් එකක් ගන්න පුලුවන්. වැඩේ කියන්නෙ බේරෙ වැවේ වගේ නෙවෙයි ගාණ පොඩ්ඩක් වැඩියි, පැයකට රු. 500ක් වත් වෙයි. ඒ හැරුණාම, බොල්ගොඩ ගොඩක් හෝටල්වල මෝටර් බෝට්ටු සවාරි එහෙමත් තියෙන නිසා කට්ටිය එක්ක ගිහින් වුණත් බහින්න පුලුවන්. ගාණත් රු. 1500ක් 2000ක් වගේනෙ වෙන්නෙ. වැඩ්ඩන්ට බැහැලා වැඩ කිඩ දාන්න, කැනෝයින්ග් එහෙමත් තියෙන නිසා කොයි කාටත් සුපිරියට ගැලපෙන තැන. හැරත් හැන්දෑ යාමෙට රතු පාට වෙන අහසයි, කුරුලු රෑන්වලින් ඒ අහස හැඩ වෙන අපූරුවයි දැක්කාම, හිතේ තියෙන ප්‍රශ්නවලට මොන ඉඩක්ද ඉතින්?
3. Diyawanna Oya
දියත උයන පැත්තෙන් යන අයට ලැබෙන සුපිරි චාන්ස් එකක්. රු. 400ක් වගේ ගාණකට පැයක් හංස බෝට්ටු පැද්ද හැකි. මතකෙ හැටියට ඉස්සර මෙතන මෝටර් බෝට්ටු සවාරි, කැනොයින් වගේ ඒවත් තිබුන. ඒත් දැන් නම් පේන්න නෑ. හැබැයි ඉතින් හංස බෝට්ටුවක ගිහින් වුනත් හවස් ජාමෙට දියවන්නාවෙ ලස්සනයි, කුරුළු කොබෙයියන්ගෙ දාංගලෙයි බලාගෙන හිටිය නම් ඉතින් ගතයි හිතයි දෙකම ෆුල් රිලැක්ස් තමයි.
4. Guruge Nature Park
මීගමුව පාරෙ යන ගමනෙ, ජා ඇල-ගණේමුල්ල පාරට හැරිලා කිලෝමීටරයක් වගේ ගියා නම් ගුරුගේ නේචර් පාර්ක් එකට යන්න පුලුවන්. බෝට්ටු පදින්න විතරක් නෙවෙයි, සත්තු බලන්න, හිතේ හැටියට ගහ කොළට, සොබාදහමට තුරුළු වෙලා ඉන්නත් පුලුවන්. රිලැක්ස් වෙන්න කියාපුම තැනක් තමයි. ඇතුල් වෙන්න රු. 500ක් වගේ යනව. ඒත් පාඩු නෑ. මොකද කෑම බීම, අඩු පාඩුත් ඇතුලෙන්ම ගන්න පුලුවන්නෙ. හොයා ගත්තු විදියට ගුරුගේ එකේ තියෙන්නෙ මෝටර් බෝට්ටු සවාරි විතරයි. අවාසනාවට ගාණ නම් හොයා ගන්න බැරි වුනා. හැබැයි අත්දැකීම නම් සුපිරි එකක් කියල තමයි ආරංචිය.
5. Negombo Lagoon
මීගමුව කළපුව අවට පරිසරයත් හැන්දෑවට හරිම ලස්සනයි. රතු පාට ඉර ක්ෂිතජයේ හැංගිලා යද්දි, රුවල් ඔරු විමානෙක බෝට්ටු සවාරියක් යන ගතට හිතට මොන ප්‍රශ්නද, නේ යාළු? මෝටර් බෝට්ටුවක් අල්ල ගත්ත නම් කට්ටියත් එක්කම ගොඩ වෙලා රවුමක් යන්න පුලුවන්. උපරිම රු. 1500ක් වගේ යාවි. කළපුවෙ රවුමක් දාලා, බ්‍රවුන් බීච් පැත්තෙ බැහැලා පොඩියට මොනව හරි කරල වුනත් එන්න බැරියැ.
6. Seethawaka Botanical Garden
ඉස්සෙල්ලම හිතේ හැටියට ඇවිදල ඉන්න. ඊට පස්සෙ කුරුළු කොබෙයියො, සමනලුන්ගෙ හැඩ බලල ඉන්න. ඊටත් පස්සෙ පුලුවන් අපූරු බෝට්ටු සවාරියක් යන්න. උද්‍යානය ඇතුලෙ තියෙන ලස්සන පොකුණ වටේට ලොකු රවුමක් ගිහින් එන්න. පැයකට රු. 500ක් වගේ යන්නෙ. බෝට්ටුවෙ දෙන්නෙක්ට ඉඩ තියෙන නිසා හොඳම වැඩේ තමයි නිවාඩුවක් අල්ලල ආදරය කරන කෙනෙක් එක්ක යන එක. අායෙ අමතක නොවෙන අත් දැකීමක් වේවි.
7. Floating Market
කොටුව ෆ්ලෝටින්ග් මාර්කට් එකෙත් තියෙනව හංස බෝට්ටු. පැයට රු. 400ක් වගේ යන්නෙ. පදින්න යන්න කලින්, කොටුව පැත්තෙ යන එන කෙනෙක්ගෙන් අහල බලන්න තවමත් ඒක තියෙනවද කියල. මොකද මීට මාසෙකට කලින් විතර කොටුව පැත්තෙ යද්දි බෝට්ටු ටික විතරයි පේන්න තිබුණෙ. වැඩේ කරගෙන යන බවක් පෙන්නුම් කලේ නෑ.
ඒ හැරුණාම කොළඹ අවට බෝට්ටු පදින්න තව තැන් දෙක තුනක්ම ඉස්සර තිබුනා, බොරලැස්ගමුව වැව, අකුරෙගොඩ වැව වගේ. ඒත්, පහුගිය අවුරුදු ටිකේ සිද්ධවුණු අති ධැවැන්ත සංවර්ධනය නිසා දැන් ඒ තැන් වල බෝට්ටු නෑ. ‘වෙනස’ තමයි යාළු.