දවල් කෑමට පස්සෙ, සුප්ප ඩෙසට් එකක් ඕනද?
එහෙනම් යන්න, මෙන්න කඩ ටික.
චොකලට්, කැරමල්, බෙරි, වැනිලා, ඕරියෝ විතරක් නෙවෙයි තව එක එක රස ගොඩකින් මේසෙට එන චීස් කේක්, හිතේ හැටියට රස බලන්න.
ආ.. ඒ විතරක් නෙවෙයි, ඔය හැන්දෑ ජාමෙට පොඩි ස්නැක් එකකට වුණත් කන්න කියාපු භාණ්ඩ තමයි මේවා. නැතත් ඉතින්, පුංචි පුංචි පාර්ටි වලටත් පංකාදු පහයිනෙ!
1. Shahla’s Baked Bliss
බම්බ ෆ්ලැට්ස් පහුකරගෙන ඉස්සරහට යද්දි හමුවෙන සාගර පාරෙ තමයි මේ කේක් කඩේ තියෙන්නෙ. ටිකක් වෙනස් තැනක්. හැබැයි ඩෙසට් ටිකයි, ඩ්‍රින්ක්ස් ටිකයි නම් පංකාදු පහට තියෙනව. විශේෂයෙන්ම මෙයාලගෙ ජාර් කේක්ස්. ඒ කිව්වෙ පොඩි පොඩි ජොග්ගුවල එන කේක්. ඒ අතරිනුත් රස දෙකකින් එන ස්ට්‍රෝබෙරි චීස් කේක් තමයි මරුම. රස පදමට චීස් දාලා, ස්ට්‍රෝබෙරි ගෙඩි 2,3ට පළල දාලා, තව රසක් එකතු වෙන විදියට චොකලට් හරි වැනිලා හරි කැරමල් හරි එහෙමත් දාලා… ෂප්පේ රස! අනික, ගාණත් රු. 400-500 අතරෙ නිසා පොකට් එකටත් ඒ හැටි ගාණක් නෑ.
2. Sugarcube
මේකත් තියෙන්නෙ බම්බ ඩුප්ලිකේෂන් පාරෙ, පරණ හවුස් ඔෆ් ෆැෂන් එක කිට්ටුව. කේක් කන්න වගේම රස වෑහෙන බත් කන්නත් කියාපු තැන. මෙයාලගෙ රසම චීස් කේක් එක තමයි බ්ලූ බෙරි චීස් කේක් එක. කෑල්ලක් රු. 380ක් වගේ වෙන්නෙ. ඇත්තටම බ්ලූ බෙරි දාලා හදන ටොපින් එකක්, චීස් කේක් එක උඩට දාලා හරිම ලස්සනයි. විශේෂයෙන්ම ගෑනු ළමයි එහෙම නම් සෑහෙන්න කැමතියි.
3. Cafe Noir
චීස් කේක් කනව නම් කියාපුම තැනක් තමයි පැලවත්ත, පාලම් 3 කැෆේ නුවාර් එක. නිකම් හිතන්නකො ඩබල් චොකලට් බ්රවුනි වගේ දෙයක් එක්ක චීස් කද්දි කොහොමද?
ඇහෙද්දිත් කටට කෙළ උනනව නේ… අන්න ඒ වගේ රසක් හිතේ හැටියට විඳින්න, ගන්න කැෆේ නුවාර් එකේ ඩබල් චොකලට් බ්රවුනි චීස් කේක් කෑල්ලක්. රු. 490ක් වගේ වුණාට මොකද, පාඩු නම් නෑ. චොකලට් රසයෙන් වගේම චීස් රසයෙනුත් අනූන නිසා තොල කට ලෙව කකා රස බැලුව හැකි. අනික අතරින් පතර චොකලට් කෑලි එහෙමත් අහුවෙනවනෙ.
4. Schakasz
රස ජාති තොගයකින් චීස් කේක් රස බලන්න කියාපු තැනක් තමයි කිරුලපන ස්ටැෆර්ඩ් ඇවිනියු එකේ ෂකාස් එක. ගණනුත් රු. 400-500 අතර වගේ වෙන්නෙ. මෙයාලගෙ සුපිරිම චීස් කේක් එක තමයි කලූආ චීස් කේක් එක. ඝන කලූආ මූස් තට්ටුවක් උඩින් දාලා සුපිරියටම හදල තියෙනව. යට චීස් තට්ටුවකුත් තියෙන නිසා රස ඩබල් ත්‍රිබල්. ඒ හැරුණාම මෙයාලගෙ ක්‍රීම් බෘලෙ චීස් කේක් එකත් පංකාදු පහයි. මොකද රියල් රාස්ප්බෙරි වලින්නෙ රස කරල තියෙන්නෙ. ඒක, චීස් රසයෙන් වගේම කස්ටඩ් රසයෙනුත් අනූන නිසා තලු මර මර රස බලන්න පුළුවන්.
5. Mitsi’s Delicacies
නම ටිකක් අමුතුයි තමයි. හැබැයි මෙයාලගෙ චීස් කේක් නම් අමුතු නෑ. කොල්ලුපිටිය, බගතලේ පාරෙ තියෙන මිට්සිස් එකේ තියෙන්නෙ බ්ලූ බෙරි චීස් කේක් විතරක් වුණාට, තියෙන එක සුපිරියටම තියෙනව. පොඩි පොඩි බ්ලූ බෙරි කෑලි මික්ස් වුණු ටොපින් එකක් තමයි මෙයාලගෙ චීස් කේක් කෑලිත් හැඩ කරන්නෙ. වැඩේ කියන්නෙ එක කෑල්ලක් රු. 450ක් වගේ වෙනව ඉතින්.
6. Colombo Fort Cafe
මෙන්න තියෙනව පොඩි වෙනසකටත් එක්ක පැෂන් ෆෘට් චීස් කේක් එකක් කන්න තැනක්. කොටුව ඩච් හොස්පිට්ල් ෆෝට් කැෆේ කිව්වාම ගොඩ දෙනෙක් දන්නවත් එක්කනෙ. හැබැයි මෙයාලගෙ චීස් කේක් එක නම් අනිත් ඒවට වඩා ටිකක් වෙනස්. මොකද යටම ලේයර් එක බිස්කට් පුඩිමක්. ඒ හැරුණාම පැෂන් ෆෘට් ටොපින් එකට උඩින් ස්ට්‍රෝබෙරි පලුවකුත් තියෙනව. එහෙමයි කියල රසේ නම් අඩුවක් නෑ. වැඩේ තියෙන්නෙ සයිස් එක පොඩි වුණාට මේක ගාණ පොඩි නෑ. රු. 475ක්නෙ.
7. Fine Things
ඔට්ටුයි, කිව්වට විශ්වාස කරන්නෙ නෑ…
රස වෑහෙන ඔරියෝ චීස් කේක් තියෙනව කියන්නකො රු. 380ට. ඒකත් හිල්ටන්, ෆයින් තින්ග්ස් රෙස්ට් එකේ. ආරංචියෙ හැටියට නම් පට්ට රසයිලු. විශේෂයෙන්ම චීස් රස එහෙම ටොප් එකටම තියෙනවලු. ඔරියෝ බිස්කටවල තියෙන ක්‍රීම් හොඳ හැටි දාලා, අමුතු චොකලට් රසත් එක්ක පදමට ගලපලා… එතකොට බිස්කට් එකේ ක්‍රීම් එහෙමත් තට්ටු තට්ටු දාලා! ආයෙ සුපිරි කේක් කෑල්ල. සත්තයි, දැක්කාම කන්න හිතෙන ගානයි යාළු.
8. Yumi Cake
ආයෙ දෙකක් නෑ, මට සෙට් වුණොත් නම් මම අනිවා යන්නෙ මෙතනට. මොකද චොකලට්, පීනට් බටර් රසයෙන් අනූන නියුටෙලා චීස් කේක් කන්න තියෙන එකම තැන මෙතනනෙ. ගාණ රු. 540ක් වුණාට හිතේ හැටියට රස බලන්න පුලුවන්. අනික මෙයාලගෙ චීස් කේක්වල චීස් රසත් ටොප් එකටම තියෙනවලුනෙ.
ෂප්පේ මතක් වෙද්දිත් කටට කෙළ උනනව. චීසුයි චොකලටුයි කිව්වාම ඉතින්, නේ…!
ඒක නෙවෙයි යාළුවනේ, ඔයාලා දන්න මේ වගේ චීස් කේක් කඩත් අපිට කියනවද. මොකද අපි හරි ආසයිනෙ චීස් කේක් කන්ඩ.