කොළඹ පැත්තෙ වුනත් ගම් පැත්තක වුනත්, කඩේ ලොකු වුනත් පොඩි වුනත් බිස්නස් හැදෙන්න නම් 'උණු උණු ආප්ප කමු' කියල බෝඩ් එකක් තියෙන්නම ඕන. ඒ තරමට අපේ කට්ටිය ආප්ප හොයාගෙන යනව. කොටින්ම කියනව නම්, ඔය කම්මැලි වෙලාවට 'වඩයක් කාලා ප්ලේන්ටියක් ගහමු' කියන එක ගාණටම 'ආප්පයක් කාලා ප්ලේන්ටියක් ගහමු' කියන එකත් ප්‍රසිද්ධයි.
හැබැයි පැල් බැඳගෙන ආප්ප බුදින ගොඩ දෙනෙක් නියම රහට ආප්ප හදන හැටි නම් දන්නෙ නෑ. ආප්පවල රස දෙගුණ තෙගුණ කරන්නෙ ලුණු මිරිස. ලුණු මිරිස හරියට තිබුණෙ නැත්නම් ආප්ප කාලා වැඩක් නැති තරම්. ඒ හැරුණාම ආප්ප කන්න මිරිස් හොදි, කෙසෙල් ගෙඩි, සීනි වගේ දේවලුත් පාවිච්චි කරනව.
කොහොම වුනත් ගම්මිරිස් කුඩු ටිකක් උඩින් දාපු උණු උණු බිත්තර ආප්පයක් නම් ලුණු මිරිස් නැතුව බඩට දාගන්න එක මහලොකු ගේමක් නෙවෙයි. පැණි ආප්පත් එලෙසමයි. උණු උණු පැණි ආප්ප එක්ක ආනමාළු ඇවරියක් වගේ සෙට් වුනොත් නම්… ආයෙ වේල් දෙක තුනකට ඇති වෙන්න කන්න පුළුවන්. ඒ හැරුණාම අලුතෙන්ම කරලියට ආපු චීස් ආප්ප, කිරි ආප්ප, මස් ආප්ප වගේ වගේ ඒවත් ටිකක් ප්‍රසිද්ධයි. ඒත් ඒව හොයා ගන්න නම් හරිම අමාරුයි.
අන්න ඒ නිසාමයි කටට සැරට, ලුණු මිරිසක් එක්ක හරි මස් හොද්දක් එක්ක හරි ආප්ප කන්න කියාපු කඩ ටිකක් අපි ඔයාලට කියන්න හිතුවෙ. හැබැයි ඉතින් බලබල නම් ඉඳල හරියන්නෙ නෑ. අද හවසටම යන්න ඕන.
1. Cafe On The 5th
කොළඹ පැත්තතෙ තියන ශ්‍රී ලංකන් චයිනීස් කඩ අතරෙ පොකට් එකට වාසි ගාණකට බඩ පැලෙන්න කොත්තු, ෆ්‍රයිඩ් රයිස් කන්න පුළුවන් කඩයක්නෙ කොල්ලුපිටියෙ කැෆේ ඔන්ද ෆිෆ්ත් එක. ඒ වාසි ගාණටම කටට රහට ආප්ප, බිත්තර ආප්ප කන්නත් මෙතනට යන ඔයාට පුළුවන්. මෙයාලගෙ ලුණු මිරිස තමයි පට්ටම. ගෙදර හදන තරම් නැති වුනත් සාමාන්‍ය මට්ටමේ කිරි රහට හැදෙන කැෆේ ඔන්ද ෆිෆ්ත් එකේ උණු උණු ප්ලේන් ආප්පවලට වග කියන්න මේ ලුණු මිරිස දෙන්නෙ මාර සපෝට් එකක්. ප්ලෙන් ආප්පයක් රු. 20ක් විතර වෙන්නෙ. බිත්තර ආප්පයකුත් රු. 40ක් වගේ නිසා හිතේ හැටියට කන්නත් පුළුවන්.
2. Mr. Kottu
චීස් ආප්ප කන්න ආසයිද? එහෙනම් කොළඹට වෙලා ඉඳල බෑ. හවස් ජාමෙ අල්ලල පිට කෝට්ටෙ පැත්තට යන්න වෙනව. හොඳ කිරි රහට හැදෙන උණු උණු ප්ලේන් ආප්පයෙ රස්නයට බාගෙට මෙලෙක් වුනු චීස් කෑල්ල දැක්කාම කටට කෙල උනන්නෙ ඉබේටම වගේ. රු. 50ක් වගේ ගාණකට මේසෙට එන චීස් ආප්ප හැරුණාම මෙයාල ලඟ තියෙනව පට්ට ඩබල් බිත්තර ආප්පයක්. රු. 80ක් වගේ වෙන්නෙ. දෙකක් කෑවනම් බඩ ෆුල්. හැබැයි ඉතින් ඔය හැම දේම පරාදයි මිස්ටර් කොත්තුගෙ ආප්ප කොත්තුවට. ප්ලේන් ආප්ප 8ක් දාලා හදන මේ කොත්තුව තනියෙන් කාලා ඉවර කරන්න බැරි තරම් ලොකුයි. ගාණ රු. 300යි. ටිකක් සැර වැඩි කරල දාගත්ත නම් බයිට් එකටත් මරු.
3. Alumka
බස් පොලිම් නම් ඕන තරම් දැකල ඇතිනෙ. ඒ වුනාට දැකල තියෙද ආප්ප පෝලිම්. සති අන්තයෙ තලවතුගොඩ ඇලුම්කා එකට ගියා නම් බලා ගන්න පුළුවන් ආප්ප පෝලිමක්. ඇලුම්කා කේටර්ස් එකේ ආප්ප මෙච්චරටම විකිණෙන්නෙ ඒවයෙ තියෙන සාමාන්‍ය කිරි රස නිසා. හැරත් මෙයාලගෙ ලුණු මිරිසත් හොඳ කටට සැරට තියෙනව. නැගලම යන්නෙ ගම්මිරිස් දාපු බිත්තර ආප්ප තමයි. සාමාන්‍යයෙන් රු. 100කට බිත්තර ආප්ප දෙකකුයි ප්ලේන් ආප්පයකුයි ගන්න පුළුවන් නිසා පොකට් එකටත් වාසියිනේ.
4. The Chariot
ගාලු පාරෙ තියෙන තවත් නියම ආප්ප කඩයක් තමයි චැරියට් එක. බම්බ වගේම දෙහිවලත් චැරියට් එකක් තියෙනව. මෙයාලගෙ ප්ලෙන් ආප්පවල පට්ට කිරි රසක් නැති වුනාට ලුණු මිරිස හොඳ නිසා කන්න පුළුවන්. කැමති නම් මස් හොදි ටිකක් ඉල්ල ගන්න වුනත් පුළුවන්. හැබැයි මෙයාලගෙ හාර්ෆ් බොයිල් බිත්තර ආප්පෙ නම් පට්ට කියල තමයි දාගන්න වෙන්නෙ. රු. 40ක් විතර වෙයි. ඔය හාර්ෆ් බොයිල් බිත්තර ආප්පෙට සැර මස් හොදි ටිකක් වැටුණාම එන රස තමයි පංකාදු පහ.
5. Mithuro Cafe
ගෙදර ආප්ප හදද්දි නම් අම්මට කියන්න පුළුවන්නෙ අර විදියට හදල දෙන්න මේ විදියට හදල දෙන්න කියල. ඒත් කඩයකට කොහොමද එහෙම කියන්නෙ. අවුලක් ගන්න එපා යන්න බම්බ ඩුප්ලිකේෂන් පාරෙ මිතුරෝ කැෆේ එකට. ඔයාට ඕන විදිය කියල ආප්ප දාගන්න පුළුවන්. බිත්තර ආප්ප හාර්ෆ් බොයිල්වලින් නැත්නම් ඩබල් බිත්තර, එතකොට ප්ලේන් ආප්ප වාටිය නැතුව, කැමති විදියකට ගන්න පුළුවන්. මෙයාලගෙ ලුණු මිරිසත් මරු. හැබැයි නියමම රස සෙට් වෙන්නෙ ලුණු මිරිස එක්ක මස් හොදි ටිකකුත් රස බැලුව නම් තමයි. කොහොම වුනත් මෙයාලගෙ බිත්තර ආප්ප දෙකකුයි ප්ලේන් ආප්පයකුයි රු. 100ක් වත් නැති එක නම් සෑහෙන්න වටිනව.
6. Upawansa Hotel & Bakery
නෝර්මල් ආප්ප අඩු ගාණට කන්න කියාපු තැනක් තමයි බොරැල්ලෙ උපවංශ හෝටලය. ප්ලේන් ආප්පයක් රු. 20ක් වගේ වෙයි. බිත්තර ආප්පයක් 40යි. මෙයාලගෙ ආප්පවල රස ගැන නම් කියන්න තරම් විශේෂ දෙයක් නෑ. හැබැයි ඔය උණු උණු ආප්පවල රස ඩබල් කරගන්න පුළුවන් නියම ක්‍රමයක් තියෙනව. ගන්න කිරි මාළු හොදි ටිකකුයි මිරිස් හොදි ටිකකුයි කලවමේ. අරන් කාලා බලන්නකෝ. හැමදාම කයි.
7. Green Cabin
ඔන්න අපි අන්තිමටත් කියන්න යන්නෙ හොඳ කිරි රහට හැදෙන ආප්පයක් රස බලන්න පුළුවන් තැනක් ගැන. ග්‍රීන් කැබින් කිව්වාම වැඩියෙන්ම ප්‍රසිද්ධ රයිස් ඇන්ඩ් කරිවලට වුනාට හවස් ජාමෙට මෙයාලා දාන ආප්පත් හරිම රසයි. නැගලම යන්නෙ උණුඋණුවෙ මේසෙට එන බිත්තර ආප්ප. කන් දෙකෙන් දුම් දාන සැරක් තියෙන ලුණු මිරිසත් එක්ක ඒව නැගල යන්නෙ හිතා ගන්න බැරි විදියට. ඒ හැරුණාම මෙයාලගෙ මස් හොදි එක්කත් මේ උණු උණු ආප්ප මරුවට පෑහෙනව. ලොකු ගාණකුත් නෑ. රු.150ක් තිබුණ නම් බඩ පිරෙන්න ආප්ප කන්න පුළුවන්.
අපි මෙහෙම කිව්වට ඔයාල දන්න, මීට වැඩිය රසට ආප්ප කන්න පුළුවන් කඩ තියෙනව කියල අපි දන්නව. අපේ අනිත් යාළුවන්ට දැනගන්නත් එක්ක දාමුද ඒක කඩ ටිකත් කමෙන්ට් පාරක්.