මේ දවස් වල රටේ වෙන හැම දෙයක්ම ඉවස ගත හැකි, අමාරුවෙන් හරි බදු ගැහිල්ලත් ඉවස ගත්ත කියමුකො. වැස්සත් එක්ක හවස් ජාමෙට එන සීතලනෙ ඉවසන්න බැරි.
ඉස්සර නම් සීතල මැකෙන්න අරක්කු කාලක් හරි කටේ හලා ගත්තා. ඒත් දැන්! අරක්කු මතක් වෙද්දිත් දුවන්න හිතෙන ගාණයි. කාලක් ගන්නත්, දෙන්නෙක්ට සෙට් වෙන්න වෙලා තියෙන්නෙ. හැරත් අමුණල කරල හරි තනියෙන් ගත්තොත් පහුවෙනිදා වේලක් දෙකක් බඩ ගින්නෙ.
ඇත්තටම මොකද මේකට කරන්නෙ? මම කිව්වෙ අරක්කු ගණන් බස්සන්න ගේමක් දෙන එක නෙවෙයි, ඒ වෙනුවට බොන්න වෙන දෙයක් හොයා ගන්න එක.
දෙතුන් දෙනෙක්ගෙන්ම ඔය ගැන අහල බැලුවට හරි හමන් උත්තරයක් ලැබුනෙ නැති නිසා මම හිතුවා තනියම කල්පනා කරන්න. වැඩේ කියන්නෙ විනාඩියක් දෙකක් කල්පනා කරද්දිම මට ආවා කියන්නකො මරු අදහසක්.
මේකත් බීමක් තමයි, එකම අවුල තියෙන්නෙ කොච්චර බිව්වත් බඩ පිරෙනව මිසක් බඹර පදමට එන්නෙ නැති එක. ඒත් අවුලක් නෑ, ඇඟට හොඳයිනෙ කියල හිත හදා ගමු.
මේ ‘රස, චිකන් සුප්’
1. Lion Pub
සාමාන්‍යයෙන් රු. 300, 400 වගේ ගණන් වලට රසම සුප් බොනව නම් කියාපුම තැනක් තමයි ගල්කිස්සෙ ලයන් පබ් එක. විශේෂයෙන්ම චිකන්, ක්‍රැබ් වගේ සුප් වලට. හීනියට ලියපු චිකන්, කෝර්න්, ලාවට එකතු වුනු එළවලු රස, එතකොට ලුණු ගම්මිරිස් එහෙමත් පදමට තියෙනව මෙයාලගෙ සුප් එකේ. උණු උණුවෙ මේසෙට එන සුප් කෝප්පෙ සයිස් එක දැක්කාම නම් දෙන්නෙක්ට ඇතියි කියල හිතෙන්න ඉඩ තියෙනව. ඒත් බලන්න එපැයි බොන්න පටන් ගත්තට පස්සෙ, කාටත් හොරා බීගෙන බීගෙන යන්න හිතෙයි. ඒ තරම් රස.
2. Salad Guru
හෙට සෙනසුරාදානෙ, යන්න රේස් කෝස් වල ගුඩ් මාර්කට් එකට. එතන තියෙනව සැලඩ් ගුරු කියල කඩයක්. සුප් විතරක් නෙවෙයි නියම එළවලු පළතුරු ටිකක්, එතකොට ස්වාභාවික රසයෙන් අනූන සැලඩ් ටිකක් එහෙමත් රස බලන්න බැරි කමක් නෑ. මෙයාලගෙ චිකන් සුප් එකේ වගේම අනිත් සුප් වලත් දියාරු ගතිය ටිකක් වැඩි වුනාට රස නම් සෑහෙන්න හොඳයි. එතකොට ගානට තැම්බුනු චිකන් කෑලි, එළවලු කෑලි එහෙමත් හැපෙන නොහැපෙන ගාණට තියෙන නිසා උණු උණුවෙන් රස බලද්දි මරේ මරු.
3. Tori House
කොළඹ 05, සීබෙල් ඇවිනියු වල තියෙන ටෝරි හවුස් එකෙත් තියනව පට්ට චිකන් සුප් එකක්. හොඳ උකුවට වගේම චිකන් කෑලිත් හැපෙන ගාණට තියෙන්නෙ. එතකොට ලාවට එන කෝර්න්, එළවලු රසකුත් එකතු වෙලා නිසා රස කර කර බොන්න පුලුවන්. බඩත් හොඳ හැටි පිරෙන තරමෙ ලොකු දීසියක මේසෙට එන මෙයාලගෙ චිකන් සුප් එකේ ගාණ තමයි ටිකක් වැඩි. රු. 350ක් විතර වෙනව.
4. Amarawathi Restaurant
කටට රහට අඩුම ගාණකට චිකන් සුප් එකක් රස බලනව නම් මෙන්න තැන, කොල්ලුපිටිය දෙකේ කණුවෙ අමරාවතී රෙස්ටුරන්ට් එක. සුප් එක ඇති වෙන්නෙ නම් එක්කෙනෙක්ට විතරයි. හැබැයි තරමක් උකුවට වගේම චිකන් කෑලි එහෙමත් ලාවට හැපෙන ගාණට එකතු කරල තියෙන්නෙ නිසා බඩ කට වගේම හිතත් පිරෙනකම්ම රස බලන්න පුලුවන්. ලුණු ගම්මිරිස් පදමත් අහල දැම්ම වගේ. කොහොම වුනත් ගාණ රු. 275යි නිසා පොකට් එක වාසියි
5. Chutneys
කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තියෙන චට්නි රෙස්ටුරට් එක ඉන්දියන් කෑම වලට ප්‍රසිද්ධ වුනාට මොකද චිකන් වලින් දාන වැඩ කිඩත් මෙයාලා ලඟ තියෙනව. ඒ අතරෙ මෙයාලගෙ චිකන් සුප් එකටත් තියෙන්නෙ හොඳ ඉල්ලුමක්. රු. 350ක් වගේ වුනාට හොඳ උකුවට, චිකන් කෑලි කටට හැපෙන ගාණට එකතු කරල තියෙන නිසා තලු මර මර රස බලන්න පුලුවන්.
6. Chinese Dragon Cafe
සුපිරිම චිකන් සුප් එකක් රස බලන්න පුලුවන් තවත් තැනක්. තියෙන්නෙ බම්බලපිටිය මිලාගිරි ඇවිනියු එකෙයි, කොටුව ඩච් හොස්පිටල් කිට්ටුවයි රාජගිරිය හංදියෙයි. ඒ හැරුණාම වත්තල මීගමුව පාරෙත් එකක් තියෙනව.
චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ සුප් තරමක් දියාරු වුනාට චිකන් කෑලි, එළවලු කෑලි එහෙම කටට රසට හොඳට හැපෙන්න තියල තමයි හදල තියෙන්නෙ. මේ සුප් එකක් උණු උණුවෙ මේසෙට එද්දි දැනෙන සුවඳට කටට කෙලත් උනනව. ගාණ රු. 350ක් වුනාට මොකද පාඩුවක් නම් නෑ. මොකද බඩ පැලෙන්න හිත පිරෙන්න බොන්න පුලුවන් තරමෙ ලොකු දීසියක් පුරවල එනවනෙ.
7. The Red Pineapple
කොල්ලුපිටිය ගාලු පාරෙ තියෙන රෙඩ් පයිනැපල් එකෙත් රස චිකන් සුප් තියෙනවා කියල ආරංචියි. හොඳ ඝනට හැදුණු සුප් එකක්ලු. හැබැයි චිකන් කෑලි එහෙම සෑහෙන්න පොඩියට, දියවෙන ගාණටම තැම්බිලා එන නිසා හප හප රස බලන්න නම් බැරි වෙයි. ඒ වුනාට මොකද ලුණු ගම්මිරිස් පදම, ලාවට එකතු වුනු එළවලු රස හොඳ හැටි තියෙනවනෙ. ගාණත් රු. 300ක් වගේ තමයි වෙනව කියන්නෙ.
8. Olive’s Kitchen & Grill
චිකන් සුප් කිව්වට මෙයාලා ලඟත් තියෙන්නෙ චිකන් කෝර්න් සුප්. හැබැයි පට්ට රසයි. රු. 300ට අඩුවෙන් බොන්න පුලුවන් රසම සුප් එකද මන්දා. ලා දියාරු ගතියකුත් එක්ක එන මේ සුප් දීසිය හොඳ හැටි බඩ පුරව ගන්න පුලුවන් තරම් ලොකුයි. චිකන් කෑලි වගේම කෝර්න් කෑලිත් ලාවට හැපෙන්න තියෙනව. ලුණු ගම්මිරිස් පදමත් නියම ගාණට. වැඩි කතා ඕන නෑ, අදම ගියත් පාඩු නෑ කියල කට ඇරල කියන්න පුලුවන් තැන.
අපි 8කට කොටු කලාට ඔයාලා එහෙම කොටු වෙන්න එපා. තව සුප් කඩ තියෙනව නම් කමෙන්ට් කරන්න. ඒක නෙවෙයි අපි ලඟදිම දවසක රු. 500ක් 600ක් වියදම් කරල සැපට ඉඳන් සුප් බොන්න පුලුවන් කඩ ටිකකුත් කියන්නම්. එතකොට කට්ටියට ඒවටත් ගොඩ වෙන්න බැරියැ.