වේල් වොචින්ග්, නැත්නම් තල්මස්සු බලන්න යන්න… ලංකාවෙ ප්‍රසිද්ධ ම ප්ලේස් එක මිරිස්සනෙ. ඇත්තටම ඒකට හේතු ගොඩක් තියෙනව. විශේෂයෙන් ම මිරිස්ස වෙරළ තීරයෙයි, මුහුදු සීමාවෙයි පිහිටීම. කොහොම වුණත් ඒ නිසාම ඉන්දියන් සාගරය අවට ප්‍රදේශවල ජීවත්වන තල්මස්, ඩොල්ෆින් විශේෂ අටකට ආසන්න ප්‍රමාණයක් අපිට එහෙදි දැක බලාගන්න පුළුවන්.
හැබැයි ඉතින්…
අපි අද කියන්න යන්නෙ නම් වේල් වොචින්ග් ගැන නෙවෙයි. උදෙන්ම වේල් වොචින්ග් සවාරියක් යන ඔයාට, ආපහු ආවට පස්සෙ දවසෙ ඉතිරි ටික නිදහසේ, රසබර විදියට ගතකරන්න කියාපු විදියක්. ඒ තමයි ‘මිරිස්සේ.. පොකිරිස්සො’. එහෙම කිව්වට ඉතින් පොකිරිස්සො විතරක්මත් නෙවෙයි සියලුම සීෆුඩ්. හොඳ රසට, රස පදමට, කටට සැරට හදාපු ඉස්සො, දැල්ලො, කකුළුවො, පොකිරිස්සො, මාළු… හිතේ හැටියට! අනික නිකම්… ඔය තැන් තැන්වලත් නෙවෙයිනෙ, සුන්දර මිරිස්ස වෙරළ තීරයට මුහුණ ලා හදපු අපූරු අවන්හලක, නිදහසේ වාඩිවෙලා. හෙමින් සැරේ… රස කර කර!
Crab Curry and Garlic Rice – Brizo Mirissa
ලස්සනම තැන, රසම එක!
‘බ්රිසෝ’.. ගාලික් රයිස් එකයි කැබ් කරියයි. හප්පේ… කියල වැඩක් නෑ යාළු, මතක් වෙද්දිත් කටට කෙළ උනනව. ඒ ක්‍රැබ් කරිය රසයි කියන්නෙ කෙළින්ම අපිටම හරියන විදියට. සැරත් හොඳ හැටියට. රම්පෙ කරපිංච, තුනපහ ටිකත් දාලා තියෙනව නියමෙටම. අනික හොද්දත් උණු උණුවට, බතටම හරියන්නනෙ. ඒ විතරක් නම් බැරියැ, ඒක මේසෙට එන විදියත් මරු. ලස්සනට හැඩ කරපු ලොකු පොල්කට්ටක, කකුළුව මැද්දෙ… හොද්ද පොල්කට්ටෙ. අනිත් එක කකුළුවගෙ ෆ්‍රෙෂ් ගතියයි, මස හොඳට ගැලවෙන ගතියයි නිසා, ළා සුදුලූනු රසත් එක්ක පදම් වෙච්ච බතටත්, සෙට් වෙනවනෙ නොම්මර එකට ම!
Seafood Platter – O Mirissa
රියල් ඉටැලියන් කන්න වගේම වෙරළේ සැඳෑ අසිරිය විඳගන්නත් කියාපු ම ප්ලේස් එක, ‘ඕ මිරිස්ස’.
හැබැයි ඉතින් අපි නම් මෙයාලගෙන් ගත්තෙ ග්‍රිල්ඩ් සීෆුඩ් ප්ලැටර් එකක්. ලොකු අදහසක් නොතිබ්බට මොකද ඒක මේසෙට ආවට පස්සෙ නම්.’. ෂැහ්! ටොප් කියල හිතුණ ඈ.’. ලුණු ඇඹුල්, ගම්මිරිස් පදමට තියෙන්න, සෝස් රසත් ළාවට එන්න, නියමෙටම ග්‍රිල් කරපු තඩි පොකිරිස්සයි, ෆ්රයිස් තොගයකුයි, ලොකු දැල්ලො කෑලියි, අල්ලක් සයිස් විතර තලපත් කෑල්ලයි, තව.’. සලාද, තක්කාලි අඩුමකුඩුමයි…
ආයෙ කියන්න ඕන නෑනෙ ඉතින් රස ගැන ඉතින් අමුතුවෙන්, නේ!
Spicy Calamari – Panda Restaurant
ම්.’. රියල්ම චයිනිස් කනවනම්?
එක තැනයි යාළු. පැන්ඩා එක විතරයි. ඒකත් ස්පයිසි කැලමාරි එක තමයි නැගල ම යන්නෙ. මොකද ඒක චයිනීස් විදියට හොඳ හැටි සෝස්, මිරිස් දාලා හදල තිබුනට, රස අතින් අපිටත් කියාපුමනෙ. හැබැයි ඉතින් අර එකම අවුල තෙල් ටිකක් වැඩි එක තමයි. ඒ නිසාම, කෝක් බඩියක් ළඟට ගත්ත නම් ලෙසටම ගැළපෙයි ඉතින්.
Butterfish – Nissan Restaurant
බීච් ගතිය නියමෙටම තියෙන රෙස්ටුරන්ට් එකක් නම් ‘නිසාන්’ම තමයි. මොකද ඒක හදල තියෙන්නෙ පාට පාට පුටු මේස, හට්, කබානාවලින්, වෙරළටම කියාපු විදියට හැඩ කරල. ඒ වගේම තමයි හැන්දෑවට හැපනින්ග් එකක් ගන්නව නම් ඒකටත් කියාපුම ප්ලේස් එක. ඊටත් මෙයාලගෙ කෑම වර්ග ටිකනෙ… ඒවත් හැපනින්ග් පැත්තටමයි බර. කිව්වට විශ්වාස කරන්න යාළු, පරා මාළු කූරි හොඳ හැටි ලුණු ඇඹුල්, ගම්මිරිස් අඩුම කුඩුමවල පදම් කරල, නියමෙට ග්‍රිල් කරල අරගෙන.. රස වෑහෙන බැටර් එකක දවටල, අමු මිරිස්, සලාද, තක්කාලි එක්ක මේසෙට එවනවා… නිකම් දැක්කාම පිස්සු වගේ!
Devilled Prawn – Mirissa Eye Beach Hotel and Restaurant
කූල් කෝක් එකක් එක්ක වෙනස් ම තැනක, වෙනස්ම අත් දැකීමක්…
ගන්න, යන්න ‘මිරිස්ස අයි’ එකට. මොකද ඒකෙ වටපිටාවත් මරු. පහසුකම් අතිනුත් උපරිමයි. කිව්වට කෑමත් හොඳටම හොඳයිනෙ. අපි ගත්තෙ එයාලගෙන් ඉස්සො ඩෙවිල් එකක්. මොකද ටුවර් එකේ අන්තිම හරිය නිසා අපිට ඕන වුණා කට දන්න, කඳුළු පනින්න, මොනව හරි කන්න. ආයෙ ඉතින්, කිව්වත් වගේ… ගත්ත ගත්තමයි. ෂැහ්, සෝස් ගතිය ටිකක් වැඩි වුණාට මොකද සුපිරිම සැර ඉස්සො. අනික පෝෂන් එකත් සෑහෙන්න ලොකුයිනෙ. මගෙ හිතේ ඉස්සො දහයක් දොළහක්ම. නියම පදමටම ලුණු ඇඹුල්, ගම්මිරිස්, සෝස් අඩුමකුඩුමවල පදම් වෙලා.. ආයෙ කියන්න වචන නෑ ඉතින්.
ඒ වගේම තමයි, ආයෙ මිරිස්සෙ ගියොත් සැර ම සැර සීෆුඩ්වල අඩුවක් තියෙන්න දෙන්නෙත් නෑ අපි. මොකද කූල් කෝක් තියෙනවනෙ කටේ සැර නිවන්න!
කොකා කෝලා අනුග්රහයෙනි..