මෙන්න මේකයි සිද්ධිය.
පහුගිය ජුලි මාසේ අන්තිම සතියේ වගේ තමයි මේක වුණේ. කරන්න වැඩක් නැහැ වගේ Facebook එක පීර පීරා ඉඳපු මට මරු පෝස්ට් එකක් ඇහැ ගැටුණා. Alerics පේජ් එකෙන් තමයි මේක දාලා තිබුණේ. ඒ Alerics අයිස් චොක් එක ආයෙමත් මාකට් එකට ඇවිල්ලා කියන එක. මට දැනුණ පස්වනක් ප්‍රීතිය කොච්චරද කිව්වොත් උඩ පැනපු පැනිල්ලට තව පොඩ්ඩෙන් පුටුවෙනුත් වැටෙනවා.
ඒත් එක්ක ම මට මතක් වුණේ මම Alerics අයිස් ක්‍රීම් එකක් කාපු පළමුවෙනි පාර. අවුරුදු තුනේදී විතර තාත්ත මාව එක්කරගෙන ගියා ටවුන් එකේ තියෙන පුංචි පහේ ෆිල්ම් හෝල් එකට, The Jungle Book ෆිල්ම් එක බලන්න. ඔන්න එදා තමයි මුල් ම වතාවට Alerics අයිස් චොක් එකක් කෑවේ. ෆිල්ම් එකේ කතාව කෙසේ වෙතත්, මට ඒ අයිස් චොක් එකේ රහ නම් අමතක වුණේ නැහැ.
කොහොමින් කොහොම හරි ආරංචිය ඇත්ත. Alerics අයිස් චොක් එක ආයෙමත් මාකට් එකට ඇවිල්ලා. 50, 60, 70, 80 සහ 90 දශකයේ මුල කාලේ ජීවත් වෙලා ඉඳපු බොහොම දෙනෙක්ට මේ අයිස් චොක් එකත් එක්ක බැඳුණු රස කතා ගොඩක් ඇති.
Alerics ඉතිහාස කතාව
Alerics ඉතිහාස කතාව පටන්ගන්නේ 1940 දශකයේ අග භාගයේදී. ඕස්ට්‍රේලියාවේ ඉගෙනගත්ත සහ කාලයක් ජීවත් වුණු අලෙරික්ස් ඩි සිල්වා විමලරත්න ලංකාවට ආවේ බිස්නස් එකක් පටන්ගන්න අරමුණින්. ඉතින් තමන් ඕස්ට්‍රේලියාවේ අයිස් ක්‍රීම් බිස්නස් එකේ දැකපු, අහපු, ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා ලංකාවෙත් අයිස් ක්‍රීම් බිස්නස් එකක් පටන්ගන්න තීරණය කළා. ඔහු මේ අයිස් ක්‍රීම් ෆැක්ටරිය හැදුවේ වැල්ලවත්තේ.
Image source: ceylonguide
මුල් කාලේ මේ අයිස් ක්‍රීම් ෆැක්ටරියේ හදපු හැම අයිස් ක්‍රීම් එකක් ම විකිණුනේ ජංගම අයිස් ක්‍රීම් රථවලින්. කොළඹ සහ දකුණු පළාතේ තියෙන මිනිස්සු වැඩිපුර ගැවසෙන පාක්, කානිවල් වගේ තැන්වල මේ කට්ටිය අයිස් ක්‍රීම් විකිණුවා. ගොඩක් අය බොහොම ආසාවෙන් වැළඳගත්ත රසයක් මේවයේ තිබුණා. ඉතින් ඒ ලැබුණු ජනප්‍රියත්වයත් උදව් කරගනිමින් Alerics තමන්ගේ මුල් ම අයිස් ක්‍රීම් පාලර් එක පටන්ගත්තේ වැල්ලවත්තේ ෆැක්ටරියේ කොටසක් විදියට. මේකේ නම Piccadilly Café. 60 දශකයේ තිබුණු ප්‍රසිද්ධ ම hangout spot එක තමයි මේක.
Image source: ceylonguide
මේ ජනප්‍රියත්වය 70 දශකයටත් ගලාගෙන ගියත්, ඉන් පස්සේ තරමක් අඩු වුණු ගතියක් තමයි පේන්න තිබුණේ. ඒකට හේතුව වුණේ ලංකාවට හඳුන්වා දුන්න බහුජාතික අයිස් කිරීම් ව්‍යාපාර. ඒවායේ ලොකු මාකටින් ප්ලෑන් හමුවේ Alerics එකට තමන්ගේ අයිස්ක්‍රීම්වල ගුණාත්මක බව තබාගැනීම පොඩ්ඩක් අමාරු වුණු බව තමයි කියවෙන්නේ. එයාලගේ අයිස්ක්‍රීම් නිෂ්පාදනයත් ටිකෙන් ටික අඩු වුණා.
ඒ පරණ කතා කොහොම වුණත් දැන් Alerics ඇවිල්ලා ඉන්නේ අලුත් ෆ්ලේවර්ස් ගොඩකුත් එක්ක. ඉතින් ඒ අතරේ පරණ රසකුත් අලුත් කරලා ගෙනල්ලා තියෙනවා. ඒ තමයි Alerics අයිස් චොක් එක.
Alerics අයිස් චොක්
හැබැයි මේක හොයාගන්න නම් ලේසි වුණේ නැහැ අපට. මොකද සුපර්මාර්කට්වල මේවා විකිණෙන්නේ උණු කැවුම් වගේ ලු. මාස දෙකක් තිස්සේ ට්‍රයි කරලා අපට මේක අන්තිමට හම්බුණේ මේ ගිය සුමානේ, PickMe Food එකේ තිබිලා.
රු. 380කට විකිණෙන මේ අයිස් චොක් පෙට්ටියේ Alerics අයිස් චොක් බාර් 6ක් තියෙනවා. තනි බාර් එක ගන්නවා නම් රු. 60යි.
අයිස් චොක් කවරෙත් දැන් ටිකක් වෙනස්. ඉස්සර මට මතක විදියට තිබුණේ තද නිල් පාට කවරයක්. මූණක උඩ කොටසකුත් ඒකෙ ඇඳලා තිබුණා. ඒ වගේ ම ඒ දවස්වල ඊයම් කවරේ දවටපු Alerics අයිස් චොක්නුත් තිබුණලු. අනික ඒ කාලේ මේකේ නම Ice Choc නෙවෙයි Icey Choc.
මෙදා සැරේ අපි මේවා රස වින්දේ ඉස්සර මතක ගොඩක් සිහි කරමින්මයි. වැනිලා අයිස්ක්‍රීම් එකේ රස උපරිමෙන් ම තිබුණා. ගොඩක් කිරි රහයි ඒක. ක්‍රීමි ගතියත් සුපිරියට ම තිබුණා. චොකලට් තැවරුමේ රසත් ඊට දෙවැනි නැහැ. කොලිටි මිල්ක් චොකලට් රස උතුරනවා.
ඉතින්, ළඟ ම තියෙන සුපර්මාර්කට් එකෙන් වගේ ම, PickMe Food එකෙනුත් ඔයාලට ආයෙත් Alerics අයිස් චොක් රස බලන්න පුළුවන්. Alerics අයිස් චොක් එක්ක බැඳුණු පරණ රස කතා එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් ම අපට කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා හොඳද.