දුර යන්න බැරි අයට, උදේ ගිහින් හවස එන්න..
සුන්දර..
සැඟවුනු..
සොබාදම් ආශ්වාදය පිරුණු..
ලංකාවෙ ලස්සනම තැන් 6ක්
1. Mapanana Falls
ප්‍රධාන තට්ටු තුනකට කඩා හැලෙන මාපනාන ඇල්ල පිහිටල තියෙන්නෙ ශ්‍රී පාද අඩවියෙ. උස අඩි 500කට කිට්ටුයි. ලංකාවෙ 4වෙනියට උසම දිය ඇල්ලත් මේක. රත්නපුර, ගිලීමලේ-සිරිපාගම පාරෙ වේවැල්වත්ත පැත්තට යද්දි තමයි මාපනාන ඇල්ල මුණ ගැහෙන්නෙ. අවුරුද්දෙ වැඩි කාලයක් මිනුවන් දොළේ සැඩ පහරෙන් පෝෂණය වෙන මේ දිය ඇල්ලෙ අවසානය වෙන්නෙ කලු ගඟ. විශේෂයෙන්ම කියන්න ඕන මාපනාන ඇල්ලෙ සුන්දරත්වය අත්විඳින්න නම් හිමිදිරියෙම යන්න වෙයි හොඳද.
2. Olu Falls
අවිස්සාවේල්ල-නුවර එළිය පාරෙ යටියන්තොට ඉඳන් පෙළෙම්පිටිය පැත්තට යද්දි තමයි මලල්පොළ ගම හමුවෙන්නෙ. මළල්පොළ ගමේ සුන්දරත්වයට උරුම කම් කියන්නෙ තට්ටු 4කට පැති 2කින් කඩා හැලෙන රමණීය ඕලු ඇල්ල. ලැයිස්තුවෙ හැටියට නම් මේක ලංකාවෙ 6වෙනියට උසම දිය ඇල්ල. උස අඩි 420ක් විතර වෙනව. වී ඔයෙන් හොඳ හැටි පෝෂණය වුනත් අවුරුද්දෙ ගොඩක් කාල වලට ඕලු ඇල්ල, වැලිහෙල් ඔය දිගේ කැලණි ගඟ හොයා ගෙන ගලා බහින්නෙ හරිම නිහඬව.
3. Godawaya Beach
කොළඹින් හයිවේ දාලා හම්බන්තොටින් එක්සිට් වෙන්න උපරිම පැය 3යි. ඊට පස්සෙ කෙලින්ම හම්බන්තොට ටවුමෙන් ගාලු පාර දිගේ අම්බලන්තොටට ඇවිල්ලා, එතනින් ගොඩවාය ඉස්කෝලෙ පාරෙ..
කෙලවරේම තියෙන්නෙ ගොඩවාය පන්සල. වෙරළ ඉමේ.. මහ විසාල කළුගලක් උඩ පිහිටපු පෟරාණික පන්සලක්. හැබැයි බීච් එක තියෙන්නෙ පන්සලට පොඩ්ඩක් කලින් මාලු වාඩි පැත්තට ගියාම..
හප්පේ.. ඒ ගියාම තේරෙයි. හැන්දෑවට රත් පාට ක්ෂිතිජයට මායිම්වෙන තරම් දිග ගල් පාලම.. ගල් පාලම පාමුලින් බැහැලා මහ මුහුද සිපගන්න වළවේ ගඟ. ඒ විතරක් නම් බැරියැ, එපිට ගං ඉවුරෙ තියෙන පුංචි කැළෑ පොජ්ජ.. ඔක්කොමත් හරි ඔයාලා අනිවා බලන්න ඔ්න දෙයක් තමයි ගොඩවායෙ රතුවැල්ල. ඒක.. තනිකරම රතුම රතු පාට බීච් එකක් යාලු.
4. Gamthuna
සබරගමුව පළාතෙ පිහිටල තියෙන ගම්තුන ගමට යන්නෙ කොටියාකුඹුර, උඳුගොඩ හරහා. දැන් නම් ගම්තුන ටවුන් එකක් තියෙනව. ඒත් ඇතුලට යන්න යන්න සෑහෙන්න දුෂ්කරයි. අත්‍යවශ්‍ය පහසුකම් අතරින් ගොඩක් ඒව තිබුනට ඒවයෙ ක්‍රියාකාරීත්වය සෑහෙන්න දුර්වල නිසා ඒවයෙනුත් ඒ හැටි වැඩක් නෑ. හැරත් ඌන කන්ද, ලේපල කන්ද, බලගල කන්ද වගේ කඳු වලින් වට වෙලා තියෙන මේ ගමේ දියුණුවට උර දෙන්න ඉන්නෙත් ලොකු රබර් වතු ටිකයි ඝන කළෑ කොළේ ටිකයි විතරයිනෙ. ඒ හැරුණාම හීන් සැරේ ගලා ගෙන යන ගුරුගොඩ ඔය, විසාල වෙල් යායවල් ටික ගමේ උදවියගෙ බඩ ගෝස්තරේ රැක ගන්න පුලු පුලුවන් විදියට උදව් කරනව. ගම්තුන ඇල්ලෙන් හැඩ වෙලා ගැමි සුන්දරත්වයෙන් අනූන වුනාට මොකද මේ ගමේ ඇත්තො ගෙවන්නෙ නම් හරිම දුෂ්කර ජීවන රටාවක්.
5. Lankagama
සිංහරාජ මායිමේ හැංගුණු තවත් ලස්සන ගම්මානයක්. යන්න තියෙන්නෙ ගාල්ල, නෙලුවට ගිහින් එතනින් කොස්මුල්ල හරහා කැලේ මැදින් වැටුණු පාරක. කිලෝමීටර 3ක් 4ක් විතර තියෙනව. ගිං ගං මිටියාවතේ පිහිටපු ලංකාගම ගම්මානය මුලු මනින්ම ස්වයං පෝෂිතයි. කොස්, දෙල්, පොල් වලින් වගේම කුඹුරු කොරටු වලිනුත් අඩුවක් නෑ. විශේෂයෙන්ම කියන්න ඕන ලංකාගම වටේටම දිය ඇලි, ගල් තලා නම් පිරිලා. හිතේ හැටියට කෑම්පින්ග් කරන්නත් ඉඩ තියෙනව. වැඩේ කියන්නෙ මේ පැත්තෙත් තියෙනවනෙ ලස්සන දූවිලි ඇල්ලක්. එතකොට බ්‍රාහ්මණ ඇල්ල, ඌරන් වැටෙන ඇල්ල, ගල් ඔරුව ඇල්ල, තට්ටු ඇල්ල වගේ තව දිය ඇලි තොගයකුත් තියෙනව. ඒ කොහොම වුණත් කුරුලු කොබෙයියො, සතා සීපාවා නිතර දෙවේලෙ ගැවසෙන නිසා පාළුවක් නම් දැනෙන එකක් නෑ.
6. Madu River Islands
ලංකාවෙ සුපිරිම බෝට්ටු සවාරි අතරින් උඩින්ම තියෙන එකක් තමයි මාදු ගඟේ බෝට්ටු සවාරිය. ගාල්ල, බලපිටිය ප්‍රදේශයෙ පිහිටල තියෙන මාදු ගං නිම්නය අපූරු කුරුළු පාරාදීසයක්. ලස්සන පුංචි දූපත් කීපයකුත් තියෙනව. මෝය කටට කිට්ටු වෙන්න තියෙන කඩොලාන ටික තමයි බැහැගෙන යන හිරු කිරණින් ලස්සනටම හැඩ වෙන්නෙ. හවස් ජාමෙට, රංචු පිටින් ඉගිල්ලෙන කුරුල්ලන්ගෙන් පිරුණු මාදු ගං තීරයේ, ඇඳිරි වැටීගෙන එද්දි පැතිරෙන නිහඬ බව, බෝට්ටු සවාරියට ගේන්නෙ අමුතුම ආශ්වාදයක්. සොබාදහමට කාවැදුණු හුදකලා හිතකට නම් මාදු ගං තීරය කියන්නෙ කදිම තෝතැන්නක්.