දැන් යමු ඔෆිස් එක ටිකක් ලොකු වෙලා, කට්ටිය වැඩි වෙලා. ඉතින් ෆුල් ෆන් එක තමයි. හැබැයි ඉතින් ෆන් එක වැඩිවෙලා සද්දේ වැඩිවුණාම වැඩක් කරගන්නත් ටිකක් අමාරු නැත්තෙ නැහැ. එහෙම වෙලාවල් ගැන හිතලද කොහෙද සත්ගුණවත් පුද්ගලයෝ වගයක් හිතේ කලබල සන්සුන් කරන සද්ද ටිකක් දාල සයිට් වගයක් හදල තියෙනවා. මෙන්න අපිත් පාවිච්චි කරපු කිහිපයක්.
Calm
මේක මාර ලස්සන අඩවියක්. ටිකක් භාවනායෝගී පැත්තට බරයි. හෙමිහිට චලනය වෙන පින්තුර බලන ගමන් ලස්සන ශබ්ද රටා ඔබට අසන්නට සලස්වනවා. මුලින්ම වැටෙන්නේ මනස්කාන්ත විල් තීරේක දර්ශනයක්. ඇත්තටම විලක් පැත්තෙ යන්න බැරිනං මෙහෙමවත් කරලා බලමු.
Showertime
කතාවට කියන්නේ නානකොට තමයි ඔළුවට නියම අදහස් එන්නෙ කියල. ඒ වුණාට ඉතින් අලුත් අදහසක් ආවේ නැති හින්ද ඔෆිස් එක මැද්දෙ ඔළුවට වතුර බාල්දියක් හලාගන්න බෑ නේ. ඒ වෙනුවට මේ සයිට් එකට ගිහිං බලන්න. මෙතෙන්දි නාන කාමරේක ෂවර් එකේ සද්දේ දාල දෙනවා. ඒ විතරක් නෙමෙයි වතුර පාරේ සැර, කාමරේ ප්‍රමාණය වගේ දේවල් සකස් කරගන්නත් පුළුවන්.
Coffitivity
සමහර කට්ටියට සද්දේ නැතුව නෙමෙයි, හරි සද්දේ තමයි ඕනේ. කොෆි ෂොප්වල වටපිටාවේ සද්දය සමහරුන්ට වැඩකරනවා.කොෆීටිවිටි තියෙන්නෙ එහෙම අයට තමයි. කොෆි ෂොප් එකක සද්දේ විතරක් නෙමෙයි, දවසේ එක එක වෙලාවල හැටියටත් කොෆි ෂොප් එකේ සද්දේ වෙනස් කරන්න පුළුවන්.
Soundrown
අනිත් සයිට් වගේ නෙමෙයි මේකේ පසුබිම් ශබ්ද කිහිපයක්ම තියෙනවා. කොෆි ෂොප්, වැස්ස, මුහුදු රැළි, ගිනිමැලයක්,කුරුල්ලන්ගේ ශබ්දය ඒවායින් කැමති එකක් හෝ කිහිපයක් එක වරම ඔබට අහන්නට පුළුවන්.
Raining.fm/Rain For Me/Rainy Cafe/RainyMood
දැන් වැස්ස ආයි පටන් ගත්ත හින්ද මේක එච්චරම අවශ්‍ය වෙන එකක් නැහැ. ඒත් වහින්නේ නැති කාලෙට මතකතියාගමුකො. මේ අඩවි ඔක්කොම වැස්සක සද්දේ ඔබේ දෙසවන් වෙත අරගෙන එනවා. වැස්සේ ප්‍රමාණය විතරක් නෙමෙයි, අකුණුවල සද්දේ වගේ දේවල් වුණත් එකතු කරන්න පුළුවන්.
දැනට මේ ඇති නේ? මේ ටික දාගෙන අයිස් ගහන්න හෙම එපා ඔන්න. තව මෙහෙම ඒවා ඔයාල දන්නව නං අපිට කියන්න.