නොවැම්බර් මාසයේ පෘථිවිය ආසන්නයෙන් ම ගමන් කරන්න නියමිත ඇස්ටරොයිඩයක් පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවක් තියන බව නාසා ආයතනය පසුගියදා ප්‍රකාශ කළා. 2018VP1 නමැති මේ ආකාශ වස්තුව පෘථිවිය පහු කරන්න නියමිත වෙලා තියෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය යෙදී ඇති නොවැම්බර් දෙවැනිදාට දිනකට පෙර බවයි ඔවුන් පවසන්නේ.
2018 වසරේ නාසා ආයතනය විසින් මුලින් ම හඳුනාගත් මේ ඇස්ටරොයිඩය විනාශකාරී එකක් නොවන බව තමයි විද්‍යාඥයන්ගේ මතය. ඒ කොහොම වුණත් එය පෘථිවියේ ගැටීමේ 0.41%ක සම්භාවිතාවක් ඇති බවත් ඔවුන් කියනවා. ප්‍රමාණයෙන් අඩි 6.5ක් පමණ වන මෙය ඔවුන්ට අනුව සාපේක්ෂව කුඩා ආකාශ වස්තුවක්.
සාමාන්‍යයෙන් ග්රහක හෙවත් ඇස්ටරොයිඩ සහ වල්ගා තරු වැනි ආකාශ වස්තු ප්‍රමාණයෙන් විශාල වූ විට ඒවා පෘථිවියේ ගැටී සැලකිය යුතු විනාශයන් සිදු වීමට ඉඩකඩ තියනවා. ඒත් මේ ඇස්ටරොයිඩය ප්‍රමාණයෙන් කුඩා නිසා එවැන්නක් සිදු නොවනු ඇතැයි නාසා ආයතනය බලාපොරොත්තු වනවා.
මේ අතර දැනට දින කීපයකට ප්‍රථමයෙන් ඉන්දියන් සාගරයේ දකුණු දිශාවට වන්නට එක්තරා ඇස්ටරොයිඩයක් පියාසර කර තිබෙනවා. ඒ ඉන්දියන් සාගරයට සැතපුම් 1830කට ඉහළින්. ආකාශ වස්තුවක් එතරම් පහළින් පියාසර කර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට බවයි නාසා ආයතනය පවසන්නේ.
Asteroid 2020 GC නමින් හැඳින්වෙන මෙහි රූප හසු කරගන්නට ආකාශය ස්කෑන් කරන රොබෝටික් කැමරාවකට හැකි වුණා. ඒ අනුව මෙය විශාල මෝටර් රථයක ප්‍රමාණය ගන්නා බව කියැවෙනවා. මෙතරම් කුඩා ආකාශ වස්තු පියාසර කිරීම දැකගැනීමට ලැබීමත් සතුට දනවන බව නාසා නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතරේ ඇමරිකානු ජනපතිවරණ දිනයේ ම පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා 2020 HF4 නමැති තවත් ආකාශ වස්තුවක් ගැන අහඹු ලෙස වාර්තා වෙනවා. මෙය ප්‍රමාණයෙන් අඩි 26 – 60 අතර වන නිසා තරමක් විශාල එකක් බව දැනට අනුමාන කරන්න පුළුවන්. පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනවා කිව්වට, පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් 16 ගුණයකට එහායින් තමයි මෙය ගමන් කරන්නට නියමිත. ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ කියලයි නාසා ආයතනය කියන්නෙ.
කොහොම වුණත් නොවැම්බර් මාසයේ පෘථිවිය පසු කර යෑමට නියමිත බවට පැවසෙන ඇස්ටරොයිඩය ගැනත් විවිධ කතාන්දර පැතිර ගියත්, ඒ ගැන කිසි සේත් ම බිය විය යුතු නැති බව නාසා ආයතනය පවසා තිබෙනවා. ඒ අනුව එය හදිසියේ හෝ පෘථිවියේ ගැටුණත්, ඉන් විශාල බලපෑමක් හෝ විනාශයක් ඇති වෙන්නේ නෑ.