ලෝක ඉතිහාසයේ වැඩි ම මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදු කෙරුණු තැනක් හැටියට අවුෂ්විට්ස් වධ කඳවුර ගැන ඔබ අහල ඇති. 1939 වසරේ සැප්තැම්බර් මාසේ ජර්මනිය විසින් පෝලන්තය යටත් කරගැනීමත් එක්ක දෙවැනි ලෝක යුද සමය ඇරඹුණා. මේ කාලයේ දී හිට්ලර් ඇතුළු නාසිවාදීන් පෝලන්තයේ පිහිටවූ අවුෂ්විට්ස් වධ කඳවුර, ඔවුන්ගේ ම්ලේච්ඡත්වයේ සංකේතයක් වගේ. යුදෙව් ජාතිකයන් සමූල ඝාතනය කොට ලෝකයෙන් තුරන් කර දැමීමයි ජාතිවාදයෙන් මත් වෙලා හිටි ඔවුන්ගේ අරමුණ වුණේ. ගැහැනු, පිරිමි සහ දරුවන් මිලියන 1.1කට මෙම කඳවුරේ දී ජීවිතය අහිමි වුණා. අවුෂ්විට්ස් වෙත ගෙන ගිය අයගෙන් දිවි බේරාගන්නට හැකි වුණේ ඉතා සුළු ප්‍රමාණයකට විතරයි.
එසේ දිවි බේරාගත් අය අතර හිටපු, අඳුරු අතීතය පරාජය කරලා සිය ජීවිතය සහමුලින් ම වෙනස් කරගත් ගැහැනියක් ගැනයි මේ කතාව.
එඩිත් ඊගර්, දෙවැනි ලෝක යුද්ධ කාලයේ අවුෂ්විට්ස් වෙත රැගෙන යන ලද පිරිස් අතර සිටි දහසය හැවිරිදි යුදෙව් තරුණියක්. ඒ වෙද්දි ඇය දෙමාපියන් සහ මග්දා සහ ක්ලාරා නම් ඇගේ අක්කලා දෙන්නා එක්ක හංගේරියාවේ ජීවත් වෙමින් හිටියා. ඇගේ පවුලේ සියලු දෙනා ම හදිසියේ ම 1944 වසරේ අප්‍රේල් මාසේ දවසක, නගරය කෙළවරේ ඇති ගඩොල් කම්හලක සිරගත කෙරෙනවා. ඒ ඔවුන් යුදෙව්වන් වීම නිසා. ඉන් සති කීපයකට පස්සෙ ඔවුන්ව අවුෂ්විට්ස් වෙත පිටත් කර යැවෙනවා.
ඔවුන් අවුෂ්විට්ස් වෙත ළඟා වූ දිනයේ ම එඩිත්ගේ දෙමාපියන් ගෑස් කුටීරවල දමා මරා දැමෙනවා. එදින ම රෑ ඇයට සිය දෙමාපියන් මරා දැමූ නිලධාරියා පිනවීමට නර්තනයේ යෙදෙන්න සිද්ධ වෙනවා. කඳවුර තුළ මේ නාසි නිලධාරියා හඳුන්වා තියෙන්නේ ‘මරණයේ දේවතාවා’ (The angel of death) නමින්. බියත් සීතලත් බඩගින්නත් දුකත් දරාගෙන හිතට අපරිමිත ධෛර්යයක් ගන්නා මේ දහසය හැවිරිදි තරුණිය ඔහුගේ අණ පිළිපදිනවා.
“අවුෂ්විට්ස් තුළ ගෙවුණ හැම මොහොතක් ම අපායක්. ඒ වගේ ම එතන තමයි මගෙ ජීවිතේට මට ලැබුණ හොඳ ම පන්ති කාමරය. අහිමි වීම්, වදහිංසා, බඩගින්න වගේ ම මරණය දරාගන්නත් මට කියා දුන්නෙ එතන. අදටත් ඒ පාඩම් මට ජීවිතය ගෙන යන්න ප්‍රයෝජනවත්.”
අවුෂ්විට්ස්හි ගෙවුණු අතිශය දරුණු අත්දැකීම්වලින් පිරුණු සාහසික අට මාසයකට පස්සෙ, එඩිත් සහ ඇගේ සොයුරියක් ඇතුළු 100කට අධික පිරිසක් වධ කඳවුරෙන් මුදා ගැනෙනවා. ඒ සෝවියට් හමුදා විසින්. ඒ අනුව ඔස්ට්‍රියාවට පැමිණෙන ඔවුන් 1945 දී පූර්ණ නිදහස ලබනවා.
“නිදහස ලැබුණු විට බලාපොරොත්තුවක් අවශ්‍යයි. කොයි තරම් නරක විඳවීමක් වුණත් තාවකාලික බවත්, ඊළඟට සිදු වන්නට නියමිත දේ ගැන මා තුළ කුතුහලයක් තියෙන බවත් මම තේරුම් ගත්තෙ මේ වෙලාවෙයි. අතීතයෙන් මිදිලා වර්තමානයේ ජීවත් වෙන්න අපිව පොළඹවන එක ම දේ තමයි බලාපොරොත්තුව. ඉතින් මම මනෝ විද්‍යාව හදාරන්න පටන්ගත්තා.
ඉන් ටික කලකට පසුව කුඩා පාසලක මම මනෝ විද්‍යා විෂයය උගන්වමින් හිටියා. ඒ වෙද්දි වසරේ ගුරුවරිය විදිහටත් තේරිලයි මං හිටියෙ. මේ කාලේ දවසක් මාව හම්බෙන්න ආපු මගේ අධීක්ෂණ නිලධාරිනිය, “එඩී ඔයා ආචාර්ය උපාධිය කරන්න ඕනේ” කියල කිව්වා. මම හිනා වුණා. මම කිව්වා මම ආචාර්ය උපාධිය ගන්නකොට අවුරුදු පනහක්වත් වෙලා තියෙයි කියලා. ඇය කිව්වා “ඒ නැතත් ඔයාට කවදාහරි පනහ ලබනවා” කියලා. මං ජීවිතේට අහපු බුද්ධිමත් ම වචන ටික තමයි ඒ.” එඩිත් කියනවා.
1978 දී ඇය සායනික මනෝ විද්‍යාව වෙනුවෙන් ආචාර්ය උපාධිය ලැබුවා. සිය විෂයය හා බැඳුණු පොත්පත් එහෙමත් රචනා කළා. දැන් ඇයට අවුරුදු 92යි. මේ වෙද්දි ඇය වසර 40කට වැඩි කාලයක් තිස්සෙ මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ, ලෝකය ම දන්න මනෝ විද්‍යාඥවරියක්.
“ආචාර්ය උපාධිය ගන්නකොට වයසට ගිහින් ඉඳියි කියලා හිතලා ඒක නොකර ඉන්න එක මෝඩකමක්. ඒක කළත් නැතත් මට පනහ ලබනවා. ඉතින් කළාම මොකද වෙන්නේ?” ඇය අහනවා.
අතීතයේ අමිහිරි අත්දැකීම් ගැන හිතමින් විඳවමින් හිටියා නම් ජීවිතය පියවරක්වත් ඉදිරියට නොයනු ඇති බවත්, ජය ලැබීමට නම් අපි මනසේ ගොඩනඟා ගන්නා වැටකඩොලු බිඳ දැමිය යුතු බවත් ඇය කියා සිටිනවා.
“අවුෂ්විට්ස් පරාජය කළ කෙනෙක් විදිහට සහ මනෝ විද්‍යාඥවරියක් විදිහටත්, ඒ වගේ ම මවක්, මිත්තණියක් සහ මී මිත්තණියක් විදිහටත් මට ලෝකයට කියන්න අවශ්‍ය මෙච්චරයි. ලෝකේ තියන නරක ම හිර කඳවුර නාසින් මාව දාල හිර කරපු කඳවුර නෙමෙයි. අපි අපේ ඔළුව ඇතුළේ හදාගන්න හිර කඳවුරයි.”