ඉස්සර නම් මේවා සෑහෙන්න නැගල ගියපු කෑම තමයි. ඒත්… දැන් දැන් හොයා ගන්න හරි අමාරුයිනෙ. ඒකත් හොඳ රහට උණු උණුවට රස බලන්න තියෙන තැන් එච්චරටමත් නැති තරම්.
හැබැයි ඉතින් එහෙමයි කියල අපි වැඩේ අතඇරියෙත් නෑ. කොළඹ වටේ පීරල පීරල හොයා ගත්තා…
කටට රහට බාබත් කන්න කියාපුම තැන් 5ක්. ඒ හැරුණාම තව එක තැනක් තියෙනවා… ලැයිස්තුවට නොදාන. ඒ තමයි ‘අළුත්කඩේ කෑම කඩ’. ඇත්තටම ඒක අපි මේ ලැයිස්තුවට නොදාන්නේ… කොයි කොයි, මස් මාංස කෑම ලැයිස්තුවක වුණත් උඩින් ම ‘අළුත්කඩේ’ තියෙන නිසා.
ආ… ඒවට මෙව්වට කාරි නෑ. එහෙනම් බලන්නකො මේ තැන්වලින් ඔයාට සෙට්වෙන තැන මොකක්ද කියල. බලලා… හෙමින් සැරේ හැන්දෑවක් අල්ලල ගොඩවෙලා…
හිතේ හැටියට, බඩේ තරමට…
කන්න බාබත් ඉස්මුරුත්තාව එනකම්…
හරිය!
1. Malay Restaurant
දෙහිවල හිල්ස්ට්රීට් එකේ තියෙන පරණම රෙස්ටුරන්ට් එකක්. ඒ වගේම තමයි මෙයාලා ළඟ තියෙන කෑම බීම ටික බලන්න එපැයි. හප්පේ… මෙනුව ගත්තාම මොනවද ඕඩර් කරන්නෙ කියල හිතා ගන්න බැරි තරම්. කොටින්ම කියතොත් බාබත්වලින් ගත්තත්, බාබත් නූඩ්ල්ස්, රයිස්, කරි, ෆ්රයිඩ් බාබත්… එක තොගයයි. ඒ නිසා ඉතින්… මැලේ රෙස්ට් එකට ගොඩ වෙලා නම් ඒ හැටි කල්පනා කර කර ඉන්න දෙයක් නෑ. පටස් ගාලා ගත්ත බාබත් කැමති රසකින්, ඒත් එක්කම ගත්ත ඒකටම හරියන ප්රධාන කෑමකුත්…
දෙසන්න තියෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න!
2. Gold Star Hotel & Bakery
මවුණ්ට්වල තියෙන්නෙ. ලොකු පොෂ් ප්ලේස් එකක් නෙවෙයි. හැබැයි ටොප් එකට මස් මාළු ටික නම් හදනව. විශේෂයෙන්ම මෙයාලගෙ බාබත් කරිය. ඇත්තටම කඩේට බාබත් කියල තියෙන්නෙත් එච්චරමයි. ඒත් රස? පංකාදු පහයි. වැඩිය ඕන නෑ යාළු, දෙන්නෙක්ට ඇතිවෙන්න දෙන ඒ බාබත් කරියට… පිට්ටු ගත්තත් වෙන මොනවහරි රොටි ගත්තත්… කන්න නම් පුළුවන්, බඩ අතේ අරන් යන්න වෙන ගානට.
3. KKY Hotel
මේක දෙහිවල. කාත්තන්කුඩි කඩේ කිව්වාම කවුරුත් දන්නව. ඒ වගේම තමයි මෙයාලගෙ කෑම. මඩකලපු පැත්තෙ යන විදියටම කියන්නකො. ටිකක් ජැෆ්නා ස්ටයිල් එකට වගේ, හැබැයි මිරිස් අඩුම කුඩුම ටික දාලා මදි නොකියන්න… හප්පේ… කනකොට හායි හූයි ගෑවෙන්න හොඳේ. පිට්ටු නෙවෙයි, ඒ බාබත් කරියට නම් බතක් තිබ්බත් වාෂ්පයි. ඒ අතරට… පරිප්පුවක, හරි අල හොද්දක හරි කලවමකුත් සෙට් වුණොත් එපැයි බලන්න… මල් හතයි!
4. Serandib Hotel
කලබල වෙන්න එපා, කලබල වෙන්න එපා… මේ කඩේ දැන් ඉස්සර වගේ නෙවේ.
එහෙම කිව්වෙ හැමෝම බැනපු කඩයක් නිසා, කෑම සවුත්තුයි කියල. ඒත් අපි දෙතුන් පාරක්ම චෙක් කරලයි ඔයාලට කියන්නෙ. ඇත්තටම මෙයාලගෙ කෑම දැන් හොඳයි යාළු. විශේෂයෙන්ම ටොප්… බාබත් කරි එකක් තියෙනවා, සයිස් එකත් ලොකුයි, කෑලිත් හෙන තොගයයි. පිට්ටු කෙසේ වෙතත් දෙන්නෙක්ට පැහැදිලිවම බතක්ම ඉවර කරන්න පුළුවන් ගානයි, ඕන්න.
5. Hotel Lanka & Bakers
ලිස්ට් එකේ ටිකක් උඩින් තියෙන්න ඕන ප්ලේස් එකක් තමයි. වැඩේ තියෙන්නෙ මෙයාලගෙ ඔක්කොම හොඳයි, බාබත් එක විතරක් ටිකක් මදි වගේ. ඒ කිව්වෙ රස පදමට නූලට තිබ්බට සයිස් එක… ටිකක් පොඩියි. ඉතින් එක්කෙනෙක්ට විතරයි ඇති වෙන්නෙත්. අනිත් කාරණය තමයි, මෙයාලගෙ බාබත් එකට නම් බීෆ් හරි මට්න් හරි හොදි ටිකකුත් ඕනම වෙනව. මොකද ඒක ටිකක් වේලිච්ච ගතියටනෙ මේසෙට එන්නෙ.
හැබැයි ඉතින්…
එහෙම ආවත් කොහොම ආවත්,
රසම රස බාබත් කරියක් එක්ක… පිට්ටුවක් දෙසාබාද්දි එන ගතිය…?
වෙන නම් නෑ…මයි!