මේකෙදී.. කොළඹ ගැන කතා නොකර ඉන්නම් ඈ. මොකද පැහැදිලිම ටාර්ගට් එක අපේ ට්රැවල් යාළුවොනෙ!
1. මාළු ඔළු, බාබත් කරිය සමඟ පාන් (බේරුවල – මාතර)
හික්කඩුව ස්නෝකෙලින්ග් ගියත්, උණවටුන ඩයිවින්ග් ගියත්, වැලිගම සර්ෆින්ග් ගියත්..
වැඩේ ඉවරවෙලා රයිස් එකක් කාලා, බියර් එකක් බීලා ෂැපේ ඉන්නව නේ. නිකමටවත් පොඩි හෝටලයකට ගොඩවෙලා, නැත්නම් නවාතැනේ උදවිය එක්ක කතා කරලා.. බැලුවද මෙහේ මොනවද තියෙන අමුතු කෑම කියලා?
ඒකනෙ කියන්නෙ. එහෙනම් අහගන්න යාළු ඔය දකුණු මුහුදු තීරයෙම, හොඳහැටි මාළු අහුවෙන කාලෙට නැගල යන කෑමක් තමයි මාළු ඔළු, මාළු බාබත් කරිය එක්ක පෝරණු පාන්. හැබැයි ඉතින් හදව ගන්නව නම් හදව ගන්නත් ඔ්න වැල්ලෙ ගෙදරකින් හරි ඒ ලඟ තැනකින් හරි කියලා. එතකොට තමයි ඒකෙ නියමම රස එන්නෙ. ම්.. එහෙම කිව්වාම ඉතින් අහන්න එපා ඒක සැරද එහෙම කියල. කොටින්ම කියතොත් ආයෙ දුම් දාන්න, ඇස් දෙකෙන් කඳුලු පනින්න.. හැබැයි තුනපහ අඩුම කඩුම එක්ක තෙල් ගතියත් හොඳහැටි තියෙන්න, ගොරක සුදුළූණු, ඇඹුලෙනුත් අඩු නැති නිසා.. උණු උණු පෝරණු පාන් එක්ක ඒකට තව යා වෙනවා පොල් රා කට්ටත්, හ්ම්..
2. වැව්මාළු කරවල තෙල් දැමුම සමඟ බත් (හම්බන්තොට – කතරගම)
හම්බන්තොට, තිස්ස පැත්තෙ හේන් අකුලුවල ගාටනව නේ ඔය සෆාරි එහෙම දාන්න..? අන්න ඒ වෙලාවක හේනකට ගොඩවෙලා නිකමට අහන්න!
තද නිවුඩ්ඩ තියෙන හේනෙ පැළේ රතු බතට.. වැව් මාළු කරවල පොඩි පොඩියට කපලා මැටි ඇතිලියෙ තෙලෙන් කර කරලා ලූණු, කොච්චි අඩුම කුඩුම දාලා ගැලපෙන තෙල් දැමුමත් එක්ක.. එයාලම හදන වංගෙඩියෙ කොටපු පොල් සම්බෝලෙ..
හම්මෝ.. වේලක් කෑවොත්, දෙවේලක් ඉඳියි හේනෙම නැවතිලා..!
3. නාන් රොටි සමඟ සැමන් (හපුතලේ – බදුල්ල)
මේක නම් බාග වෙලාවට කාලත් ඇති ඔයාලා. නැති අයට දැන ගන්න එහෙනම්.. හපුතලේ කන්දෙයි, කන්දෙන් උඩ පැත්තෙයි හැදෙන නාන් රොටි ඉතිහාසයේ ඉඳන්ම ප්රසිද්ධයි. ඒ වගේම තමයි ඒවා එක්ක දැන් එකතු වෙලා තියෙන සැමන් හොද්ද.. ආයෙ පංකාදු පහයි, කටට සැරට හායි හූයි ගාන්න තියෙනවා. හැරත් ඒවා උණු උණුවෙන් රස බලනකොට.. පොඩීයට පරිප්පු පොඩ්ඩකුත් ගලප ගත්ත නම්.. ගමකට කෑවා කියයි. හැබැයි ඒ කාලා, අනික් පැත්තටම බොන්න ඔ්න ප්ලේන්ටියක්. එතකොට තමයි ඒකෙ ගතිය තියෙන්නෙ, සීතල එහෙම කැපිලා යන්න.
4. මී පැණි සමඟ පුච්චපු බඩඉරිඟු (ගල්ඔය)
නිල්ගල, රතුගල ආදිවාසීන් බලන්න යන්න ගල්ඔය. යන අතරට.. ඔය පාර අයිනෙ තියෙන ප්ලේස් එකකින් අහන්නකො පුච්චපු බඩ ඉරිඟු ටිකක් එක්ක රස බලන්න මී පැණි එහෙම තියෙනවද කියල. ගොඩක් දුරට යාළු පායන කාලයක් අල්ලලා ගියා නම් බඩු ෂුවර්. මොකද.. වැස්ස කාලෙට මී කඩන්න යන්නෙ නෑනෙ. ඒ හැරුනාම සමහර වෙලාවට එයාලාගෙ ගෙවල්වල තියෙනවා ඔය තණහාල්, මෙනේරි එහෙම තම්බලා. පොඩ්ඩක් අහල කරලා, තියෙනව නම් කීයක් හරි දීලා ඉල්ලගෙන.. දස බස ගාලා දීලා අදින්න මී පැණි එක්ක..
5. දැල්ලො, කකුළු කරි සමඟ පිට්ටු (මඩකලපු – ත්රිකුණාමලය)
අනිවා රස බලන්න ඔ්න කෑමක්. නැගෙනහිර වෙරළෙ සීසන් කාලෙට ස්නෝකෙලින්ග්, ඩයිවින්ග්, සර්ෆින්ග් කරන්න යන යාළුවන්ට..
ගොඩක් මහන්සි වෙන්න ඔ්න නෑ. මේ ඩයට් එක එහේ කඩවල් වලත් තියෙනවා. නැත්නම් නවාතැන්පලට කිව්වත් සනිකවම ගන්න බැරි නෑ. ෆ්රෙෂ්ම ෆ්රෙෂ් දැල්ලො නැත්නම් කකුළුවො මිරිසට, තෙලට.. මදි නොකියන්න තුනපහ, ඉඟුරු සුදුලූණු දාලා ඝනේට හින්දපු හොද්දට හැදෙන්නෙ.. ඒකත් එක්ක පොල් එහෙම දාලා හදපු උණු උණු පිට්ටුවක් සෙට්වුනා කියන්නේ.. ආයෙ රඹටි හැලෙයි!