හැන්දෑවට, ස්නැක් එකට විතරක් නෙවෙයි දවල් කෑමට වුණත්.. හරි එකක් සෙට්වුණොත් ආයෙ කියාපු හොඳේ.
ඉස්සර නම් අපි ඕවට කිව්වෙ මස් රොටි කියල. ඒත් පස්සෙ ඒවට චීස්, එළවළු අඩුමකුඩුම ටිකක් එකතු වෙලා ෂවර්මා වුණානෙ. අන්න ඊට පස්සෙ තමයි සෝස්, ෆ්රෙන්ච් ෆ්රයිස් එහෙමත් එක්ක උණුඋණුවට පොෂ් එකේ සමාජෙ අතරට බැස්සෙ. දැන් ඉතින් කොල්ලො කෙල්ලො බේද නැතුව ෂවර්මා කනවා. ඒ විතරක් නෙවෙයි, එකඑක රසවල් ගලපලා අමුතු අමුතු ෂවර්මා හදාගන්නත් කට්ටිය අතරෙ තියෙන්නෙ මාර උනන්දුවක්. අර එකම අවුල තියෙන්නෙ ෂවර්මා හැදෙන්නෙ ගොඩක් දුරට බීෆ්, චිකන්, ටූනා වගේ ඒවයින් විතරයිනෙ.
කොහොම හරි ඉතින්.. ඒවා මේවා බලන්නෙ නැතුව අපි ගෙනාවා ඔයාලට අතේ තියෙන ගාණට සුපිරිම ෂවර්මා එකක් කන්න කියාපු කඩ ටිකක්. මොකද එතකොට කට්ටියටම පුළුවන්නෙ ලොකු බජට් එකක් නැතත්, මාසෙ මැද්දෙ බඩ කට පිරෙන්න පොඩි කෑම වේලක් රස බලන්න, නේ..
1. Sulthan Palace
ටවුන්හෝල්, කන්නන්ගර පාරෙ තියෙන ෂවර්මා කන්න කියාපුම ප්ලේස් එකක්. හැබැයි මෙතන තියෙන්නෙ නම් චිකන්, බීෆ් 2 විතරයි. ඒත් ඉතින් තියෙන ටිකෙන් දෙනව, දෙන ෂවර්ම එක… ඇඹරිලා යන්න. අවංකයෙන්ම සුල්තාන්ගෙ ස්පයිසි චිකන් ෂවර්මා එක එහෙම පංකාදුයි. කැරට්, ලීක්ස්, ලූණු, තක්කාලි, ෆ්රයිස් එක්ක පොඩි පොඩි චිකන් කෑලි තොගයයි.. ඒ විතරක් නෙවෙයි, චීස් එහෙමත් මදි නොකියන්න දාලා. කිව්වට විශ්වාස කරන්න යාළු චිකන් එකට දෙවනි නැති පෙපර් බීෆ් ෂවර්මා එකකුත් මෙයාලා ළඟ තියෙනව කියන්නකො. ඒක නම්…
2. Burgers Hut
දෙහිවල, ඇලන් ඇවිනියු එකේ තියෙන මේ ප්ලේස් එකෙත් තියෙන්නෙ නම් චිකන්, බීෆ් ෂවර්මා විතරයි. හැබැයි අඩු ගාණට සුපිරිම රසට දෙනව හොඳේ. විශේෂයෙන්ම මෙයාලගෙ ස්පයිසි බීෆ් ෂවර්මා එක එහෙම! වැඩිපුර චීස් ටිකක් ඉල්ලල දාලා ගත්තා කියන්නේ.. ටොපේ ටොප්. අනික ‘බර්ගර් හට්’ ෂවර්මාවල එළවළු අඩුයි මස් වැඩියිත් එක්කනෙ. අර කිව්වට බීෆ් එක වගේම තමයි තන්දුරි චිකන් ෂවර්මා එකත්, හ්ම්..!
3. Fazly’s Halal Refreshment
මේක තියෙන්නෙ කොම්පඤ්ඤවීදියෙ. ඔය ඉස්සර Burgers King කිව්ව තැන තමයි දැන් ඔය අලුත් නමකින් තියෙන්නේ. කොහොමහරි එයාලගෙ ෂවර්මා ඉස්සර වගේම තාමත් හරි රහට තියෙනව. රෝස්ට් බීෆ්, පෙපර් බීෆ්, තන්දුරි චිකන් වගේ රස කීපයකින්ම මෙතනින් ෂවර්මා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මදි නොකියන්න කැරට්, ලීක්ස්, ලූණු, ෆ්රයිස්, තක්කාලි එක්ක චීසුත් දාලා හැදෙන මේ ෆාස්ලිගේ ෂවර්මා එකක්, දන්නෙක්ට මදි නොකියන ගාණට තියෙනවත් එක්කනෙ.
4. El Janah
ගෝල් රෝඩ්, මවුන්ට්වල තියෙන මේ කඩෙත් හොඳ රහට හැදෙන ෂවර්මා ජාති 2, 3ක් තියෙනව. හැබැයි ඒවයෙ රස සුපිරියිම කියන්න නම් අමාරුයි. මොකද ෂවර්මා රොටියෙ පිටි ගතිය ටිකක් වැඩි ගතියක් තියෙනවනෙ. ඒත් අර මස්, එළවළු අඩුම කුඩුම වලින් අඩුවක් නැති නිසා රස කරකර කන්න පුළුවන්. ඒකත් උණුඋණුවෙන් මේසෙට ආවොත් නම් තවත් මරු. කොහොම වුණත් ඉතින් මෙතනත් තියෙන්නෙ නම් චිකන්, බීෆ් චීස් ෂවර්මා විතරයි.
5. Arabian Nights
මිල පොඩ්ඩක් වැඩි වුණාට යාළු.. මෙයාලගෙ ෂවර්මවල කොලිටිය නම් සුපිරි ආයෙ. ඒ විතරක් නෙවෙයි චිකන්, බීෆ්, ලැම්බ් වගේ මස් ජාති තොගයක, රස පේලියක ෂවර්මා මෙයාල ළඟ තියෙනවත් එක්කනෙ. අනික ඒ කොයි එකෙත් මස් පිරනේන දාලා නිසා දෙන්නෙක්ට වුණත් ඇතිවෙන ගාණයි. නැතත් චීස්, එළවළු පුරවල මේසෙට එද්දි ඉතින්.. තනියම වුණත් කන්නයි හිතෙන පාටක් තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ බීෆ් ෂවර්මා එක තමයි නැගලම යන්නෙ. මොකද ස්පයිසි චිකන් එක එහෙම චීස් රසින් වැඩි වෙච්ච ගතියක් එහෙම තියෙනවනෙ සමහර වෙලාවට.
කොහොම වුනත් ඒ නිසයි, අපි කියන්නෙ..
මේ වගේම ඔයාලා දන්න තව ෂවර්මා ප්ලේස් ටිකකුත් අපිට කියන්න කියල. එතකොට අපිට නැතත් අපේ යාළුවන්ට හරි යන්න බැරියැ, වෙලාවක් තියෙනව වෙලාවක නේ..!