ලෝකේ පුරා පැතිරෙන COVID-19 මේ වෙනකොට ලංකාවේත් පැතිරෙන්න පටන්අරන්. මේ ලියන මොහොත වෙනකොට ලංකාවේ 28 දෙනකුට මේ නව කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියල තවහවුරුවෙලා තියෙනවා. මේ වෙද්දි මේ ඉලක්කම් දවසෙන් දවසට නෙවෙයි පැයෙන් පැයට වෙනස්වෙන තත්ත්වයක් තියෙන නිසා මේක තවදුරටත් පැතිරීමේ ලොකු අවදානමක් තියෙනවා.
මේ වෙද්දි රජයේ ආයතන නිවාඩු දීලා, සිනමාශාලා, කෞතුකාගාර වගේ ජනතාව එකතුවෙන තැන් වහලා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සහ සමහර පෞද්ගලික ආයතන තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ වගේ කාලෙක එළියට ගිහින් කන එක නවත්තන්න බැරි නම් පුළුවන් තරම් අඩුකරන එක තමයි හොඳ. ඒත් රාජකාරි වැඩ හෝ වෙන හේතු නිසා ගෙදරට වෙලා උයාගෙන කාගෙන ඉන්න විදියක් නැති ගොඩදෙනෙකුත් ඉන්න බව අපි දන්නවා. ඉතිං එහෙම මොකක් හරි හේතුවකට එළියෙන් කනව නම් මේ දේවල් ගැන පොඩ්ඩක් බලන්න.
අත හෝදන්න
කන්න කලින් අත හෝදන්න කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නොවුණත් මේ දවස්වල ඒ ගැන වැඩි අවධානයක් යොමුකරන්න වෙනවා. අඩු ගානෙ තත්පර 20ක්වත් සබන් ගාලා අත් හෝදන්න කියලා තමයි වෛද්‍ය නිර්දේශය. විශේෂයෙන් සෙල්ෆ් සර්විස් වගේ තියෙන තැන්වල දි සල්ලි (හෝ කාඩ් එක සහ ඒක අස්සන් කරන පෑන වුණත්) ඇල්ලුවට පස්සෙ කෑම කන්න කලින් මේ විදියට අතහෝදන්න ඕන කියන එක අමතකකරන්න එපා.
හැමතැනින් ම කන්න එපා
අපි දන්නවා කොරෝනා තිබුණත් නැතත් ලංකාවේ සමහර කඩ ෆුඩ් සේෆ්ටි ගැන ලොකුවට හිතන්නෙ නෑ. කටින් පිඹල, කෙළ ගාලා ෂොපින් බෑග් එක දිගඅරින එකේ ඉඳන් හොටු හූරා හූරා කෑම බෙදන එක දක්වා මූලික සෞඛ්‍යාරක්ෂණ සිරිත්විරිත්වත් ගනංගන්නෙ නැති තැන් තියෙනවා. වෙන දවස්වලට කොහෙම වුණත් මේ වසංගත කාලෙවත් ඒ වගේ තැන් පුළුවන් තරම් මගෑරලා ටිකක් පිරිසිදු තැන්වලින් කෑම ගන්න පුළුවන් නම් හොඳයි.
පෝලිම් එපා
හැබැයි ඉතිං පිරිසිදුවට, කටට රහට කන්න තියෙන කඩවල තියෙන ප්‍රශ්නෙ තමයි පෝලිම. COVID-19 මූලික ව ම පැතිරෙන්නෙ පුද්ගලයගෙන් පුද්ගලයට නිසා එහෙම සෙනග ගොඩක් එක්ක පෝලිම්වල පොරකන්න වෙන තැනුත් මගාරින එක තමයි හොඳ.
ටේක් අවේ සහ ඩිලිවරි
මේස පුටු, හැඳි ගෑරුප්පු හරහා පවා වෛරසය පැතිරෙන්න පුළුවන් නිසා කඩේට ගිහින් කනවට නඩා ගෙදර අරන් ඇවිත් හරි ඩිලිවර් කරගෙන කන එකත් හොඳ අදහසක්. හැබැයි ඉතිං ඩිලිවර් කරන කෑම හදන සමහර තැන් මොන වගේද කියල දන්නෙ නැති නිසා දන්න කියන, පිරිසිදුකම ගැන විශ්වාසය තියන්න පුළුවන් කඩේකින් ඩිලිවර් කරගන්න බලන්න.
බුෆේ එපා
මේක නම් ඉතිං කියන්නත් දෙයක් නෙවෙයි නෙ. හැමෝම අල්ලන හැඳිවලින් (සමහර තැන්වල නම් හැන්ඳ තියෙන්නෙ හොද්ද ඇතුලෙ නෙ) බෙදාගෙන කන එක මේ වගේ වෙලාවකට එච්චර හොඳ අදහසක් නෙවෙයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේක ඉතිං බුෆේවලට විතරක් නෙවයි, අර ෂෝටීට්ස් ඉල්ලපුම බනිස් රෝල්ස් ඔක්කාම දාපු බන්දෙසියක් මේසෙ උඩින් ගෙනත් තියෙන කඩවලටත් අදාළයි.
(ලෙඩේ) බෙදාගන්න එපා
කඩේකට ගියත්, මොන දේ කෑවත් යාළුවගෙ පිඟානට අතදාලා ඒකෙත් රහ බලන එක අපේ පුරුද්දක් නෙ. හැබැයි මේ කාලේ ඒක ටිකක් සීමාකරන්න පුළුවන් නම් හොඳයි. මොකද COVID-19 ආසාදනය වෙලා, රෝග ලක්ෂණ මතුවෙන්න කලින් වුණත් ඒ අයගෙන් අනිත් අයට රෝගය බෝවෙන්න පුළුවන්. වෛරස්වලට යාළුකම් අදාළ නෑනේ.