* පොඩි පොඩි ස්පොයිලර්ස් තියෙන නිසා තාම චිත්‍රපටිය බැලුවෙ නැත්නම් මේක නොකියෙවුවට කමක් නෑ.
එම් සී එකේ සහ ලිබර්ටි ලයිට් එකේ මේ දවස්වල පෙන්වන ඩියර් සින්ධගි චිත්‍රපටිය අපි දකින ගොඩක් හින්දි චිත්‍රපටිවලට වඩා ටිකක් වෙනස්.
නැගී එන චිත්‍රපටි කැමරාකාරියක් වන කයිරාගේ ජිවිතේ වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. පිරිමි පිරුණු චිත්‍රපටි කර්මාන්තය ඇතුළෙ චිත්‍රපටි කැමරාකාරියෝ වගේ ම ප්‍රධාන කාන්තා චරිතයක් මුල්කරගත්ත චිත්‍රපටිත් ඉන්දියාව (සහ ලංකාව) වගේ රටවලට තාමත් අමුතුයි. එතනින් පටන්ගත්ත ම මේ චිත්‍රපටිය පුරා ම අපිට දකින්න ලැබෙන්නෙ සාමාන්‍ය සාම්ප්‍රදායික හින්දි චිත්‍රපටිවලට වඩා වෙනස්, ඉන්දියාවේ අලුතින් හැදීගෙන එන තරුණ පරම්පාරාවේ අසම්ප්‍රදායික ජීවිත ගැන.මේ කාලෙ එන ගොඩක් හින්දි චිත්‍රපටිවල වගේ මේකෙත් සමහර සිද්ධිවල ටිකක් “බොරු පොෂ්” ගතියක් තියනව කියල මුල් හරියෙදි හිතුණත් ඒකත් එක්ක ඔළුවෙන් හැප්පෙන්න යන්නෙ නැතුව චිත්‍රපටිය බලන්න ගත්තා ම ටික වෙලාවකින් ඒක ගාණක් නැති වෙලා යනවා.
කලිනුත් කීව වගේ ඉන්දියාවේ නාගරික මධ්‍යම පන්තික මිලේනියල්ස්ලගේ ජීවිත සහ ඒ ගොල්ලො මුහුණ දෙන ප්‍රශ්න වටේ තමයි මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නෙ. ලංකාවේ නම් තවමත් යම් තරමකට හරි මේ වගේ ජීවත්වෙන්නෙ කොළඹ පැත්තෙ ඉන්ටර්නැෂනල් ස්කූල්වලින් එළියට ආපු ගොඩක් පොඩි පිරිසක් වුණාට ඉන්දියාවෙ නම් මේ වෙනකොට මේක සෑහෙන්න පැතිරිලා. ඒත් තාමත් ඉන්දියානු සමාජයේ බහුතරයක් දෙනා ජීවත්වෙන (සමහර වෙලාවට ලංකාවටත් වඩා) ගතානුගතික අදහස් සහ පරණ පරම්පරාවේ සිතුම් පැතුම් එක්ක මේ අලුත් පරම්පරාවේ ජීවිත ගැටෙන විදිය ගැන මෑතක ඉඳන් ටිකක් වැඩිපුර චිත්‍රපටි හැදෙනවා.
ආදරය, විවාහය, රැකියාව, සමාජ තත්ත්වය වගේ දේවල් ගැන අපේ අම්මලාගේ පරම්පරාවේ අය දේවත්වයෙන් සලකපු අදහස් කුඩුවෙලා යන මේ කාලේ අපේ පරම්පරාවේ අය අලුතින් ජීවිතේ හොයාගන්නෙ කොහෙමද කියන තේමාව තමයි මේ ගොඩක් චිත්‍රපටිවල වැඩපුර කතාවෙන්නේ.
හැබැයි ඒ විදියට හැදුණු බැංගලෝර් ඩේස්, වේක් අප් සිඩ් වගේ චිත්‍රපටිවලට වඩා මේක වෙනස් වෙන්නේ, අර කලින් කීව චිත්‍රපටි වගේ ‘සියලු දෙනා සතුටින් විසිර යන’ සාම්ප්‍රදායක විදියට වඩා පොඩ්ඩක් වෙනස් විදියට කතාව අවසාන කරන්න උත්සාහ කරන එක.
මේකේ ප්‍රධාන චරිතය කරන්නෙ ආලියා බාත්. කැමියෝ එකක් කරනව කිවට මොකද ඉන්ටර්වල් එකෙන් පස්සේ ෂාරුක් ඛානුත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් වෙනවා. දෙන්නම තමන්ගේ චරිත දෙක හොඳට ම කරනවා. විශේෂයෙන් ලොකු රේන්ජ් එකක් චරිත කරන්න සහ කැමරාව ඉස්සරහා හරිම රිලැක්ස් විදියට හැසිරෙන්න ආලියාට තියෙන හැකියාව මේකෙදිත් හොඳටම පේනවා. ශාරුක් නම් එයාගේ සුපුරුදු “ශාරුක් ඛාන්” චරිතයේ ම ටිකක් වෙනස් වර්ෂන් එකක් තමයි කරන්නේ. හැබැයි ඉතිං “ශාරුක්” කීවම කවුරුත් බලාපොරොත්තු වෙන්නෙත් ඒකමනේ.
ඩියර් සින්ධගි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ කලින් ඉංග්ලිෂ් විංග්ලිෂ් කරපු ගවුරි ෂින්දේ. සමහර විචාරකයො නම් කියන්නෙ ඉංග්ලිෂ් වින්ග්ලිෂ් වගේ ම හොඳ චිත්‍රපටියක් කරන්න පුළුවන් විදියේ ප්ලොට් එකක් තිබුණත් මේ පාර ගවුරි ඒ ප්ලොට් එක හරියට පාවිචි කරල නෑ කියලා. ඇත්තට ම චිත්‍රපටිය මැදහරියේ දි කණට ගහනව වගේ “සමාජ පණිවිඩ” තොගයක් අතාරිනවා. ෆිල්ම් එකක් හැටියට මේ සමාජ පණිවිඩවලින් දමලා ගහන එක ටිකක් අවුල් වුණත්, මෙයාලා (සහ ළගදි ආපු ගොඩක් චිත්‍රපටි) මෙච්චර නොඉවසිල්ලෙන් පණිවිඩ දෙන්න උත්සාහ කරන එකෙන් පේන්නේ ඉන්දියාවෙ සමාජයේ ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධවෙන බව. 80-90 දශකවල චිත්‍රපටිවල හිටපු, දිවි හිමියෙන් ලව්කරලා මරාගෙන මැරලා අවසානයේ කසාද බඳින “නොඉඳුල්” “පළමු පෙම්වතුන්” වෙනුවට ලිවින් ටුගෙදර්, ත්‍රීසම්වල ඉඳන් සමලිංගික අයිතීන් වගේ මාතෘකා දක්වා දේවල් කතාකරන තැනකට ඉන්දියාවේ පොප් සිනමාව ඇවිත්. ඒත් තනිකඩයන්ට ගෙවල් කුලියට දෙන්නෙ නැති එකේ ඉඳන් කපල් එකක් රූම් එකකට යද්දි මුහුණදෙන ප්‍රශ්න දක්වා ගොඩක් දේවල්වලදි ලංකාවටත් වඩා ටිකක් විතර ගතානුගතික මට්ටමක තමයි ඉන්දියාවේ පොදුජන සංස්කෘතිය තාමත් තියෙන්නේ. හැබැයි මෙතනදි ඉන්දියාවෙයි ලංකාවෙයි එක වෙනසක් තියෙනවා. ඒක තමයි ඉන්දියන්කාරයෝ ටිකෙන් ටික හරි තමන්ගේ තියෙන අවුල් ටික විසඳගන්න උත්සාහ කරන එක.