අපි ඉන්න කලබල ජීවිතේ ඇතුළෙ ස්ට්‍රෙස් කියන්නෙ දැන් නිකං දින චර්යාවෙ කොටසක් වගේ හරිම සාමාන්‍ය දෙයක්. අහන අහන හැමෝටම ස්ට්‍රෙස් නිසා වැඩිය කවුරුත් ස්ට්‍රෙස් කිව්වට දැන් ගණන් ගන්නෙත් නෑ.
හැබැයි ස්ට්‍රෙස් වෙලත් ඒක ගණන් නොගෙන ඉන්නකොට අපි කරන වැඩ අවුල් වෙන්න/ බාධා වෙන්න/ මඟ ඇරෙන්න තියන ඉඩ හුඟක් වැඩියි. ඒ හින්ද එදිනෙදා ජීවිතේදි එන මානසික ආතතිය අවම කරගන්න, කරන්න පුළුවන් සරලම දේවල් 10ක් ගැන කියන්න අපි හිතුවා. මේ ඔක්කොම දේවල් කරන්න කලින් ‘මං ස්ට්‍රෙස් වෙලා’ කියල අඳුනගත්තට පස්සෙ මුලින්ම කරන්න ඕන දෙයක් තියනවා.
එළියට බහින්න.
එළියට බහින්න කියන්නෙ ගෙදර ඉඳන් ඔෆිස් යන්නයි ඔෆිස් එකෙන් ගෙදර එන්නයි පාරට බහින එක විතරක් නෙමෙයි. අපිව ස්ට්‍රෙස් කරන ෆෝන් එක, ලැප්ටොප් එක වගේ දේවල් ටිකකට පැත්තකින් තියල එදිනෙදා දින චර්යාවෙන් පොඩ්ඩක් එළියට බහින්න. ඊටපස්සෙ මේ අපි පහළින් කියල තියන දේවල් උත්සාහ කරල බලන්න..
1 චලනය වෙන්න
එක තැනම ගල් වෙලා නොඉඳ නැගිටලා ටිකක් ඇවිදින්න. ආතතිය අඩු වෙන්න හෙල්ලෙන එක, නැත්තං චලනය වීම ඉතාම වැදගත්. දුවන එක, ව්‍යායාම කරන එක, නටන එක, වෙලාව අරං නාන එක, මසාජ් එකක් ගන්න එක, යෝගා කරන එක එහෙම මේකට හොඳ ඔප්ෂන්ස්.
2 ඇහැ පිනවන්න
පරණ ෆොටෝ ඇල්බම් එකක් පෙරළන්න. ආසම මල් පැළයක් නිතර පේන්න ළඟින් තියාගන්න. වටපිට ගහකොළ දිහා බලන්න. මුහුද දිහා බලන් ඉන්න. චිත්‍රයක් අඳින්න. පාට කරන්න. පොඩි සැහැල්ලුවක් දැනෙයි.
3 හුස්ම ගන්න
පිරිසිදු වාතය වගේම තමන් කැමති සුවඳක් ආඝ්‍රාණය කරන එක ආතතිය අඩු වෙන්න උදව් වෙනවා. ඒක මල් සුවඳක්, නැත්තං විලවුන් සුවඳක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සජීවී ආලෝකය ඉපදෙන විදිහෙ ඉටිපන්දමක්, පහනක් හෝ හඳුන්කූරක් දල්වන්න පුරුද්දක් ඇති කරගන්න පුළුවන් නං තවත් වැදගත්.
4 මියුසික් අහන්න
තමන් ආස විදිහේ සංගීතයට ඇහුම්කන් දෙන එක රිලැක්ස් වෙන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කියල අපි හැමෝම දන්නව නෙ. අනෙක් අයට කරදර බාධා නොවෙන විදිහට මියුසික් අහන්න, හොඳ හෙඩ්සෙට් එකක් හැම වෙලේම ළඟ තියාගත්ත නං ලේසියි. නැත්තං හුළඟේ සද්දෙට, මුහුදේ සද්දෙට, කුරුල්ලන්ගේ සද්දෙට සවන් දෙන්න.
5 කෑම කන්න
මානසික පීඩනය නිසා එදිනෙදා කෑමවේල් මඟ ඇරෙන්න ඉඩ දෙන එක හුඟක් අය අතින් වෙන අතපසු වීමක්. ස්ට්‍රෙස් වුණාම නිතර කැවෙන්නේ ඇඟට එච්චරම හිතකර නොවෙන ක්ෂණික ආහාර නෙ. ඒ වෙලාවට මූඩ් ෆික්ස් වෙන්න චොක්ලට් කෑල්ලක්, පලතුරක්, කර කර ගාල හැපෙන දෙයක් කන එක හොඳයි. කොහොම වුණත් රස වගේම ගුණත් සැලකිල්ලට ගන්න නම් ඕනෙමයි.
6 ආස අය එක්ක ඉන්න
කැමතිම කෙනෙක් හෝ අයත් එක්ක ගැවසෙන්න. කතා කරන්න. හිනා වෙන්න. අතින් අල්ලන් ඉන්න. හග් කරන්න. මේ කෙනා යාළුවෙක්, පවුලේ කෙනෙක්, හෝ කැමති ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මනුස්සයෙක් නොවෙන්නත් පුළුවන්! සුරතල් සතුන් එක්ක ගැවසීම ස්ට්‍රෙස් අඩු වෙන්න හොඳම බෙහෙතක්.
7 නිදාගන්න
දවසක් නිවාඩු දාලා දවසම සැපට පෙරවගෙන නිදාගන්න. හැමදාම වැඩ කරන එකේ නිදාගන්න එකම එක දවසක් වෙන් කළාට පාඩුවක් වෙන්නෙ නෑ. අඩු නින්ද වැඩ කිරීමේ වේගය වගේම මතකයත් අඩු කරනවා.
8 ලියන්න
තමන්ගෙ බකට්ලිස්ට් එක, සපුරන්න බලාපොරොත්තු වෙන ඉලක්ක, හෙට කරන්න තියන දේවල්වල ලිස්ට් එකක්, නැත්තං ස්ට්‍රෙස් වුණු හේතු, තමන් ඒ වෙලාවෙ හැසිරුණු විදිහ, පොඩි පොඩි සිදුවීම්, ලොකු ලොකු කතා වගේ ඕනෑම දෙයක් නෝට් බුක් එකක ලියන්න. කාටහරි ඒක කිව්වම දැනෙන සැහැල්ලුවම ලිව්වමත් දැනෙයි.
9 බෑ කියන්න
තමන් ආතතියට පත් වෙන දේවල් කරන්න වෙන අයගෙන් එන බලපෑම්වලට බෑ කියන්න පසුබහින්න එපා. අකැමැති දේවල් අකැමැත්තෙන් කරනවට වඩා ඒවා මඟ අරින්න, නොකර ඉන්න හේතුවක් හොයාගන්න එක අපේ මානසික සෞඛ්‍යයට හොඳයි.
10 සමාව දෙන්න
තමන්ව ස්ට්‍රෙස් වෙන්න ප්‍රශ්න ඇති කරන අය ගැන කේන්තිය හිතේ තියන් ඉන්න එපා. ඒ අයටත් තම තමන්ගේ ප්‍රශ්න ඇති. ඒ නිසා අනෙක් අයට ප්‍රශ්න ඇති කරනව වෙන්න ඇති. ඒ අය අපිට මානසික පීඩා ඇති කරපු විදිහ මතක තියාගෙන විඳවන්නෙ නැතුව ඔළුවෙන් අතාරින්න. අපේ ‘පීස් ඔෆ් මයින්ඩ්’ ඊට වඩා වැදගත්!
මේ කියපු දේවල් එක එක්කෙනාගේ කැමැත්ත අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේවට අමතරව අපි එක එක්කෙනාට ස්ට්‍රෙස් අඩු වෙන පර්සනල් ක්‍රම තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහරුන්ට උයන එක, මල් වවන එක උදව්වක් වෙන්න පුළුවන්. තව අයට ෂොපින් යන එක ආතතිය අඩු වෙන ක්‍රමයක් වෙන්නත් පුළුවන්.
කොහොම වුණත් ඔයා ස්ට්‍රෙස් වෙලා කියල ඔයා දන්නව නං මයින්ඩ්ෆුල් වෙන එක හුඟක්ම වැදගත් බව තමයි අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ. මොකද ඔයාගෙ හිතේ පාලනය ඔයා අතින් ගිලිහුණොත් ස්ට්‍රෙස් එක දුරදිග ගිහින් තත්වය භයානක වෙන්න ඉඩ තියන නිසා. ඉතිං රිලැක්ස් වෙන්න!