විනාඩි 45ක විතර විරාමයකට පස්සෙ අපි ආයෙත් ගමන පටන් ගත්තෙ කෑම කලා ඉවරවෙලා හතර දෙනා ගල් තලාවෙ හතර පැත්තට ගිහින් බැස්ම කොහෙද කියලා බලලා ආවට පස්සෙ.
ඊටත් වාසිය සහ හිතේ නිදහස…? එතනින් පටන් ගත්ත ගමනෙ බට පඳුරු සහ ලඳු කැලෑ නොතිබිච්ච එක.
මහ කැලේ මැදින් අපි බැස්ම දිගේ… පිස්සො වගේ…
බැස්සා බැස්සා බැස්සා… පැයක් විතර එක දිගට. බැහැලා ආයෙත් පොඩ්ඩක් එළිපෙහෙලි තැනකට මතුවුණා. හැබැයි ටිකක් අමුතු.
“මෙහ්… මේක නං බං ගස් කපලා හදපු පොට් එකක් ආ. බලාංකො. අනික ළඟදි කපපු ගස් වගේම ටිකක් ඉස්සර කපපු ගසුත් තියෙනවා.”
“ආ… ඕවා එච්චර හිතන්නෙපා බං. ඒකෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි, අපි ඉන්නෙ ගමක ඉඳන් පයින් එන දුරක කියන එක. මොකද මේ ගස් ඔක්කොම දරට වගේ සුද්ද කරලනෙ අරගෙන ගිහිල්ලා තියෙන්නෙ. බලාං… කොළ රැහැලා වටේම දාලා තියෙන්නෙ”
එහෙම කියලා ඉතින් ෆෝන් එක අරගෙන බැලුවට සිග්නල් නම් නෑ. ඊටත් අපිට ඒ තැන නතර වෙන්න උවමනාවත් තිබ්බෙත් නෑ. හැබැයි පොඩි අසරණ විල්ලක් අසරණ වුණා. මොකද එතනින් එපිටට බැස්මක් නෑ අපිට පැත්ත හොයාගන්න. තනි තලාව.
“අවුලක් නැහ්. ඔන්න ඔහෙ මෙතනට ආපු එවුන් ආපු පාර දිගේ යමං”
කියලා ගියා…
තවත් පැයක් විතර.
අනේ… මෙන්න ඒ පාර කන්දක්!
“මෙහෙම කරමු. කට්ටියම ඕකෙ යන්න ඕන නෑ. මං හරා එක්ක ගිහින් බලන්නං.”
පැක් එක බාලා, හයිඩ්‍රේෂන් එක විතරක් දාගෙන පුංචි කඳු ගැටේට… හරයි මායි අඩියට දෙකට.
මතුවුණත් හරි මට පෙනිච්ච දේ…?
“ආච්චිට… දැං කාපංකො ගස්ලබු එක්ක පපඩං. යකෝ ආං ගම. අපි නහුතෙට ඇවිල්ලා තියෙන්නෙ. අර ආර දිගේ පහලට ආවාට මං හිතන්නෙ තැන්නෙත් තමා බුල වෙලා තියෙන්නෙ. මං කියන්නං. දැං මෙතනින් හරහට බහිමු. අරුන් දෙන්නා ඉඳපු තැනින් පහලට ගියා නං හරි කෙලින් පාර යන්නෙ නැතුව”
පහලට ගිහිල්ලා හිටං. යාළුවටත් විස්තරේ කියලා… ඒකාටත් බලන්න ඕන කියපු නිසා ආයෙ කන්දෙ බඩ ගාලා… කොහොමහරි, හරි පාරට දාගත්තා. දාගෙන පල්ලමට බැස්සා අස්සයො වගේ… වෙලාවට මහ කැලේ නම් ඒ හැටි සෙට්වුණේ නෑ. ඒත් වතුර පාරක් ලයින් වෙනකම් ගියා මොකද කෑම ටික හදාගන්න එපැයි.
ඒ ගමනෙ පුංචි දොළ පාරක් අපිට ලයින් වුණේ ඉමක් කොනක් ආයෙත් නොපෙනෙන ඉසව්වකදි. හැබැයි ඉතින් හිතේ විශ්වාසසෙ තිබ්බ නිසා නූඩ්ල්ස් ටිකත් හදාගෙන මස් එක්කම කෙලලා දාලා. සිගක් පත්තු කරගෙන නැමිච්ච ගස් කඳක ඇල වුණා විතරයි…
“මල්ලියා… මාන්සියි වගේ ඔන්ට”
“හෑ… ආහ්, අයියා.
ඕ අයියා අපි මේ කෑම ටිකක් කෑවා. දැං පහලට යන්න හදන්නෙ. අයියලා එළවළු ගෙනිච්චද?”
“නෑ මල්ලි මේ පොහොර ගේන්ට ගියා. ඉතින් මෙතන උයාන කෑවෙ පහල ගෙදරට යන්න එපෑ…”
“ආ… පහල ගෙදර?”
“ඕ… ඔතන පහල අපේ ගෙදර. එන්න එන්න. තේකක් එම බීලා ම යන්න බැරියැ”
“හා අයියා. අයියලා යන්න. අපි විනාඩි 10කින් විතර එන්නං”
එයාලා නං ගියා. අපේ වුන්!
“ලැජ්ජාවෙ බෑ ….ටෝ. ගෙයක් ළඟටම ඇවිල්ලා කැලේට වෙලා කෑම උයං කෑවා කිව්වාම. කාටවත් කියන්න එපා හොඳේ. ඒනං යමං.
ඒක නෙවෙයි බං. අර දන්න කියන මාමාටත් කෝල් එකක් ගහනවැයි. අපි ගොඩ බැස්සා කොහෙටද එන්න ඕන කියලා…”