කවුරු හරි මරු පෙනුමක් තියන රස පාට කේක් ගෙඩියක් ගෙදරට හරි ඔෆිස් එකට හරි ගෙනාවම, ඇරල බලනකන් ඉවසිල්ලක් නෑ නේද? ඇරල බැලුවම රස බලනකන් ඉවසිල්ලක් නෑ නේද?
උපන්දිනයක් නම් බර්ත්ඩේ කේක්, මගුල් ගෙයක් නම් වෙඩිං කේක්, සංවත්සරයක් නම් ඇනිවසරි කේක්, නත්තල් නම් ක්‍රිස්මස් කේක් විතරක් නෙමෙයි, අලුත් අවුරුද්දට අවුරුදු කේකුත් හදන තරමට දැන් වෙද්දි අපේ එදිනෙදා ආහාර පිළිවෙතට කේක් එකතු වෙලා. ඒ හින්ද ම දැන් කේක් කියන්නෙ අතුරුපසක් විතරක් නෙමෙයි.
ඉතිං මේ කියන්න හදන්නෙ අපි කවුරුත් ආස කේක් ගැන වැඩිය කවුරුත් නොදන්න, හැංගුණු කරුණු කීපයක්.
1 මුල් ම කේක්
ලෝකේ මුලින් ම හදපු කේක් අද අපි කන කේක්වලට වඩා සහමුලින් ම වෙනස් ලු. මේවයේ තිබිල තියෙන්නේ පාන් වගේ ස්වභාවයක්. පැණි දාල තමයි රස කරල තියෙන්නේ. ඊට අමතරව සමහර වෙලාවට කේක් එකට පලතුරු කෑලි වගේ දේවල් එකතු කරල තියනවා. කේක් දැන් තියන තත්ත්වෙට, ඒ කියන්නෙ අයිසිං දාපු රවුම් කේක් බවට පත් වෙලා තියෙන්නෙ 17 වෙනි සියවසේ මැද භාගයේ යුරෝපෙදි.
2 වෙඩිං පාන්!
මේ කියන්න යන්නෙ වෙඩිං කේක්වල උපත ගැන. ඉස්සර කාලෙ රෝමයේ තිබිල තියනවා මනාලියගේ ඔළුවට උඩින් පාන් ගෙඩියක් කඩන විවාහ චාරිත්‍රයක්. එහෙම කළාම යුවලට වාසනාව පෑදෙනවා කියල ලු කියන්නේ. සිංහල විවාහ ක්රමයේ තියන පොල් බිඳීම වගේ තමයි ඉතිං. පස්සේ ටික ටික කේක් බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ පාන් ගෙඩිය.
සම්පූර්ණයෙන් ම කන්න පුළුවන් විදිහේ මොඩර්න් කේක් ගෙඩියක් පළමු වතාවට හදල තියෙන්නේ 1882 දී ඔල්බනිවල ලියෝපෝල්ඩ් කුමරාගේ විවාහ මංගලෝත්සවයට. වෙඩිං කේක්වලට තට්ටු එකතු වෙලා තියෙන්නේ මීටත් වසර 20කට විතර පස්සෙයි.
3 කප්වල දාපු කේක්
කප්කේක් මුලින් ම හඳුන්වා දීල තියෙන්නේ 1796 තරම් ඈත කාලෙක ලු. හැබැයි කප්කේක් පරිණාමය වුණේ 19 වෙනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයෙ දී. කප්කේක් හදන්න ගත වෙන කාලය හුඟක් අඩු නිසා මේක හරි ම වේගයෙන් ජනප්‍රිය වුණා. දැන් වෙද්දි කප්කේක් කියන්නෙ ඩෙසට් අතර ජනප්‍රිය ම අංගයක්. ගූගල් සමාගමට අනුව අන්තර්ජාලය භාවිත කරන්නන් වේගයෙන් ම සොයන කෑම රෙසිපිය තමයි කප්කේක්.
4 රතු වෙල්වට් පළිගැනීම!
මෑත කාලේ කේක් පෙරේතයො අතර වේගෙන් ජනප්‍රිය වුණ කේක් වර්ගයක් තමයි රෙඩ් වෙල්වට් කේක්. හැබැයි දන්නවද මේක ලෝකේ පැතිරුණේ පළිගැනීමක ප්‍රතිඵලයක් විදිහට කියල?
ඔන්න මෙහෙම ලු වුණේ. රෙස්ටොරන්ට් එකකින් රෙඩ් වෙල්වට් කේක් කාල ඒකට ආස වුණ ගෑනු කෙනෙක් රෙස්ටොරන්ට් එකෙන් කේක් එකේ රෙසිපි එක ඉල්ලලා තියනවා. රෙසිපි එක ලබා දෙන්න රෙස්ටොරන්ට් එක ඇයගෙන් ඩොලර් 100ක මුදලක් අය කළා ලු. මේ අසාධාරණයට පළිගැනීමක් විදිහට ඇය රෙඩ් වෙල්වට් කේක් රෙසිපිය වේගයෙන් එකිනෙකා අතර බෙදාහැරිය බව තමයි කියැවෙන්නේ.
5 උපන්දින කේක්
ලෝකේ පළමු උපන්දින කේක් එක ඇත්තට ම උපන්දිනේ සමරන්න හදපු කේක් එකක් නෙමෙයි. මේක කෙනෙකුගේ උපන්දිනේකට තව කෙනෙකුගෙන් ලැබුණ තෑග්ගක් ලු. උපන්දිනයට කේක් කැපීමේ සිරිත පටන් අරන් තියෙන්නේ එතනින්. ‘උපන්දින කේක්’ කියන යෙදුම පළමු වරට පාවිච්චි වුණේ 1785 දී.
6 කොට්ටේ යට කේක්!
පැරණි ඉංග්‍රීසි මිථ්‍යා මතයකට අනුව අපි නිදාගන්න කොට්ටේ යටින් පලතුරු කේක් තියාගත්තම, අපි කවදහරි විවාහ වෙන කෙනා ගැන සුබ සිහින දකින්න ලැබෙනව ලු. කොට්ටේ යට කේක් තියල රෑට ඇඟ පුරාම කූඹි කනකොට හීන කෙසේ වෙතත් තරු නං පෙනෙයි!
7 කන්දෙන් පහළට!
කේක් එක්ක බැඳුණු අමුතු චාරිත්‍ර කීපයක් අපි උඩත් කිව්වා. කෙල්ටික් ජනතාව පවත්වන Beltane කියන උත්සවයේ දී කරන මේකත් ඒ වගේ. මේගොල්ලො මේ උත්සවේ පවත්වන්නෙ කඳු මුදුන්වල. කන්ද උඩ ගිනිමැල ගහල රවුම් කේක් රෝල් කරල කන්දෙන් පහළට අතාරින එක තමයි චාරිත්‍රය. කේක් ගෙඩිය කැඩිල බිඳිල ගියෙ නැත්තං ඒක සුබ ලකුණක් කියල මෙයාලා විශ්වාස කරනවලු!