මීට මාසෙකට හමාරකට කලින් පටන්ගත්ත වැහි කාලේ දැන් ටික ටික පහ වෙලා යන්න පටන් අරන්. ඒ නිසා ම ද කොහෙද දවල් කාලෙට හොඳට ම රස්නෙයි. එළියට බහින්න බැරි තරම් අව්වත් සැරයි. ඉතින් මේ රස්නේ කූල් වෙලා යන්න ගෙදරදිම හදාගන්න පුළුවන් කූල් කෑමක් ගැන කියන්නයි අපි හදන්නෙ. ගෙදර පොඩ්ඩෝ එහෙම ඉන්නව නං එයාල සතුටු කරන්නත් හොඳ ක්‍රමයක් මේක..
ඉතින් අපි බලමු ගෙදර ඉඳන් ම එක එක පලතුරු රසින් පොප්සිකල් හදන විදිහ. අපි මේ කියන පලතුරුවලට අමතරව ඔබ කැමති වෙනත් ඕනෑ ම පලතුරක් මීට ආදේශ කරගන්න පුළුවන් බවත් අමතක කරන්න එපා.
කොමඩු මින්ට් පොප්සිකල්
අවශ්‍ය ද්‍රව්‍ය
කොමඩු අවශ්‍ය පමණට
මිංචි කොළ කීපයක්
දෙහි යුෂ ටිකක්
වතුර ස්වල්පයක්
මීපැණි මේස හැන්දක්
හදන ක්‍රමය
කැබලි කපාගත් කොමඩු, මිංචි කොළ, දෙහි යුෂ, වතුර සහ මීපැණි ටික බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය පොප්සිකල් අච්චුවට පුරවන්න කලින් පොප්සිකල් එකේ උඩ ම ලේයර් එක විදිහට පුංචියට කපාගත්ත කොමඩු කෑලි කීපයක් අච්චුවට දාගන්න. ඉන් පස්සේ කොමඩු යුෂ මිශ්‍රණය පරිස්සමෙන් අච්චුවට පුරවන්න. දැන් හොඳින් වහලා පොප්සිකල් ස්ටික්ස් ටිකත් ගහලා මුළු රැයක් (පැය 12ක් පමණ) අධි ශීතකරණයේ තියන්න.
පැය 12කට පස්සේ අච්චුව ෆ්‍රිජ් එකෙන් එළියට අරං පොප්සිකල් ටික හෙමීට ගලවගන්න. ඊට පස්සේ රස බලන්න!
ස්ට්‍රෝබෙරි පීච් යෝගට් පොප්සිකල්
අවශ්‍ය ද්‍රව්‍ය
ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක්
පීච් ගෙඩි අවශ්‍ය පමණට
මීපැණි මේස හැඳි 2ක්
ග්‍රීක් යෝගට්
හදන ක්‍රමය
මුලින් ම ස්ට්‍රෝබෙරි සහ පීච් කැබලිවලට කපාගන්න. ස්ට්‍රෝබෙරි කැබලි සහ මීපැණි මේස හැන්දක් බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. දැන් ඒ මිශ්‍රණය පැත්තකින් තියලා, වෙන ම පීච් කැබලි සහ මීපැණි මේස හැන්දක් බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
දැන් තියෙන්නේ මිශ්‍රණ ටික තේ හැන්දක් වගේ පොඩි හැන්දකින් පොප්සිකල් අච්චුවකට දාන්න. අච්චුවට පුරවනකොට මුලින් ම ස්ට්‍රෝබෙරි මිශ්‍රණයෙන් ලේයර් එකක්, ඊට පස්සේ ග්‍රීක් යෝගට් ලේයර් එකක්, අන්තිමට පීච් මිශ්‍රණයෙන් ලේයර් එකක් කියන පිළිවෙළට දාන්න. ඉන් පස්සෙ අර පොඩි හැන්දෙන් ම පොඩ්ඩක් කලවම් කරන්න. එතකොට පාට ටික කලවම් වෙලා පොප්සිකල් එකට ලස්සන ටෙක්ස්චර් එකක් එනවා. දැන් අච්චුව වහලා ස්ටික්ස් ගහලා පැය 12ක් අධි ශීතකරණයේ තියන්න.
ඊළඟ දවසේ අච්චුව එළියට අරං පොප්සිකල් ටික හෙමීට ගලවලා කූල් එකේ රස බලන්න!
අඹ දොඩම් පොල් කිරි පොප්සිකල්
අවශ්‍ය ද්‍රව්‍ය
අඹ ගෙඩියක්
දොඩම් යුෂ ටිකක්
මීපැණි මේස හැන්දක්
පොල් කිරි ස්වල්පයක්
හදන ක්‍රමය
කපාගත් අඹ කෑලි, දොඩම් යුෂ සහ පොල් කිරි සමග මීපැණි බ්ලෙන්ඩරයට දාගන්න. හොඳින් පොඩි වන තුරු බ්ලෙන්ඩ් කරගන්න. මේ මිශ්‍රණය පොප්සිකල් අච්චුවට පුරවන්න කලින් පොප්සිකල් එකේ උඩ ම ලේයර් එක විදිහට පුංචියට කපාගත්ත අඹ කෑලි කීපයක් අච්චුවට දාගන්න. ඉන් පස්සේ අඹ යුෂ මිශ්‍රණය පරිස්සමෙන් අච්චුවට පුරවන්න. දැන් හොඳින් වහලා පොප්සිකල් ස්ටික්ස් ටිකත් ගහලා මුළු රැයක් (පැය 12ක් පමණ) අධි ශීතකරණයේ තියන්න.
පැය 12කට පස්සේ අච්චුව ෆ්‍රිජ් එකෙන් එළියට අරං පොප්සිකල් ටික හෙමීට ගලවගන්න. ඊට පස්සේ රස බලන්න!