සම නිරෝගිමත්ව තියාගන්න උපකාරී වෙනවා කියන වෙළෙඳපොළේ තියන බියුටි ප්‍රඩක්ට්ස් අරං බැලුවම තමයි තේරෙන්නෙ මේවයෙ අඩංගු වෙන්නෙත් ගෙදරදොරේ එදිනෙදාට අපි පාවිච්චි කරන අමුද්රව්යමයි නේද කියලා. ඉතින් ලොකු ගණන් දීලා ඒවා මිලට ගන්න වෙලාවෙ අපි ම ගෙදරදිම ස්කින් කෙයා ප්‍රඩක්ට් එකක් හදාගත්තොත් මොකද?
සම කියන්නෙ අපේ විශාලම ශරීරාංගය. ඒ නිසා ම ඒක නිරෝගිමත්ව තියාගන්න එක ඉතා වැදගත්. හැබැයි නිරෝගිමත්ව තියාගන්න ඕනෙ කියන්නෙ සම සුදු කරගන්න ඕනෙ කියන එක නෙමෙයි. වෙළෙඳපොළේ වැඩිපුර තියෙන්නෙ ‘සම පැහැපත් කරනවා’ය කියන ජාතියේ ආලේපන නේ. ඒවයෙ සිරුරට අහිතකර රසායනික එහෙම අඩංගු බව හැමෝම වගේ දන්නා කාරණයක්. ඒ නිසා ස්වාභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා අපිම හදාගන්න ප්‍රතිකාර ක්‍රම ගැන විශ්වාසය තියන එක කොහොමටත් හොඳයි.
දැන් අපි කියන්න හදන්නේ ඒ විදිහට සම නිරෝගිමත් කරගන්න පාවිච්චි කළ හැකි ස්වාභාවික අමුද්‍රව්‍ය කීපයක ගුණ සහ ඒවයින් හෝම්මේඩ් ස්ක්‍රබ් එකක් හදාගන්න විදිහ.
ග්‍රීන් ටී
සාමාන්‍යයෙන් ග්‍රීන් ටී බොන්න පුරුදු වෙලා ඉන්නේ ශරීරයේ බර අඩු කරගන්න උනන්දු වෙන අය වුණාට ග්‍රීන් ටීවලින් සමේ නිරෝගි බව රැකගන්නත් සෑහෙන උදව් ලැබෙනවා. සමේ තියන කුරුලෑ ඉවත් කරන්න, සම රැලි වැටෙන එක නවත්තන්න, හිරු එළියෙන් සමට වෙන බලපෑම අඩු කරන්න වගේම, සමේ පිළිකා ඇති වීමේ අවදානම අඩු කරන්නත් ග්‍රීන් ටීවලට පුළුවන්. තේ හැදුවට පස්සෙ, උණුසුම් ටී බෑග් එකක් හරි තේ කොළ හරි විසි කරන්න කලින් සමේ ආසාදන හෝ කුරුලෑ තියන තැනක තියන්න. එහෙම නැත්නම් පාවිච්චි කරපු ටී බෑග් ෆ්‍රිජ් එකේ දාල තියන්න. මූණ හොඳට හෝදලා, ඇස් උඩ මේ හොඳට කූල් වුණ ටී බෑග්ස් තියන්න. ඉදිමුම් අඩු කරගන්න පුළුවන්.
සීනි
මේ වෙද්දි සීනි කියන්නෙ කෑමක් විතරක් නෙවෙයි. ‘සීනි’ කියන්නෙ ලෙඩක්. ඉතින් හුඟක් අය සීනිවලට බයයි. ආහාරපාන පරිභෝජනය කරද්දි නම් අපි සිරුරට ඇතුළු කරගන්න සීනි ප්‍රමාණය ගැන ප්‍රවේසම් වෙන්න ඕන තමයි. ඒත් දන්නවද? සීනිවලට පුළුවන් අපේ සමේ තෙතමනය ආරක්ෂා කරලා රැලි වැටීම පාලනය කරන්න. මේ වැඩේට සීනි කන්න හෝ බොන්න ඕන නෑ. කරන්න තියෙන්නෙ සම මත ආලේප කරන එක. ඒ කොහොමද කියලා මේ ලිපිය අවසන් වෙද්දි කියනවා.
මීපැණි
සමේ ඇති වුණ කැළැල්, ආසාදන, තුවාල ආදිය සුවපත් කරලා සමේ පැහැය දීප්තිමත්ව මනාව පවත්වාගන්න පාවිච්චි කළ හැකි අමුද්‍රව්‍යයක් විදිහට මීපැණි හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපේ ප්‍රතිශක්තිය වඩවන බැක්ටීරියා එහෙමත් මීපැණිවල අඩංගු නිසා සිරුරට ඉතා හිතකරයි.
ඔලිව් ඔයිල්
අල්ට්රා වයලට් කිරණවලින් සම ආරක්ෂා කරලා, පිළිකාකාරක සෛල වැඩීම වැලැක්වීමට ඔලිව් ඔයිල්වලට හැකි බව පර්යේෂණවලින් ඔප්පු වෙලා තියනවා. ඊට අමතරව හිරු එළියෙන් පිළිස්සුණු සම සුවපත් කරන්න වගේම විටමින් ඒ, ඩී, කේ සහ ඊ ඇසුරින් විවිධ සමේ ආසාදන සුව කරන්නත් ඔලිව් ඔයිල්වලට පුළුවන්.
මේ ඔක්කොම අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ගෙදරදිම ස්ක්‍රබ් එකක් හදාගන්න විදිහ:
අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රීන් ටී බෑග් 2-4 හෝ වියළි ග්‍රීන් ටී තේකොළ මේස හැඳි 1
- සීනි කෝප්ප 1
- මීපැණි මේස හැඳි 1
- ඔලිව් ඔයිල් කෝප්ප බාගයක්
හදන ක්‍රමය
අමුද්‍රව්‍ය සියල්ල බෝල් එකකට දාලා හොඳින් මිශ්‍ර කරන්න. හුළං නොවදින වියළි, සිසිල් භාජනයක දාල තියන්න. මිශ්‍රණයෙන් හැන්දකින් එකක් අතට අරගෙන මුහුණ මසාජ් කරමින් තත්පර තිහක් ආලේප කරන්න. ඉන්පස්සේ වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් හෝ දෙවරක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.