මේ අවුරුද්ද පටන්ගනිද්දි ‘මං අලුත් අවුරුද්දෙ ඉඳන් අලුත් වෙනවා, වෙනස් වෙනවා’ කියල හිතන් හිටපු අය කෝ අත උස්සන්න බලන්න.
ඔන්න අපි අලුත් අවුරුද්දෙ පළවෙනි මාසෙ අග්ගිස්සට ඇවිත්. අලුත් වෙන්න හිතපු අයගෙන් කී දෙනෙක් මේ වෙද්දි එහෙම වෙලා ද හැබෑට ම?
නිව් ඉයර් රෙසලූෂන්ස් හෙවත් අලුත් අවුරුද්දක ඉඳන් අලුතෙන් කරන්න හිතන් ඉන්න දේවල් මිනිස්සු ඒ විදිහට ම පිළිපදින්නේ සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දේ පළවෙනි දවස් තුන විතරයි ලු. ඊටපස්සෙ ආයෙමත් ඉතිං කට්ටිය අර සුපුරුදු රටාවට ම පරණ දින චර්යාව ම ගෙවනවා.
අවුරුද්ද මුල ගෙවල් දොරවල් එහෙම අතුපතු ගාල බඩුමුට්ටු අස් කරලා, මේ අවුරුද්දෙ ඉඳන් නම් ගෙදර පිළිවෙළට තියාගන්නවා කියල හිතපු අය, දැන් වෙද්දි ‘මොන මගුලක් ද! මේ අවුරුද්දත් මෙහෙම ම ඉඳල ඔන්න ඔහේ ලබන අවුරුද්දෙ ඉඳන් ම පිළිවෙළට ඉන්නවා’ කියල හිතෙන තත්ත්වෙකට පත් වෙලා ඇති. ඔන්න අපි කියන්න හදන්නෙ කොච්චර හිතුවත් ගේ පිළිවෙළට තියාගන්න බැරි අයට, ගේ හැඩි කරගන්නෙ නැතුව ඉන්න ක්‍රම 5ක් ගැන.
1 දකින දකින දේ
ගෙදරක වැඩිපුර ම තියන බඩුමුට්ටු තමයි රෙදි, ගෘහභාණ්ඩ, සැරසිලි, සෙල්ලම් බඩු, මුළුතැන්ගේ උපකරණ, විදුලි උපකරණ වගේ දේවල්. සාමාන්‍යයෙන් අපිට මේවා කොච්චර තිබුණත් මදි. දකින දකින තැනින් හිතෙන හිතෙන දේවල් ගන්න එක පුරුද්දට ගියාම පාලනේ කරන්නත් ටිකක් අමාරුයි. මෙහෙම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා බඩුමුට්ටු පාවිච්චි කරන එකට පැරණි සිංහල සාහිත්‍යයේ කියන්නෙ ‘බහුභාණ්ඩික’ කියල!
ඉතිං බඩුවක් මිලට ගන්න කලින් ‘මට මේක ඇත්තට ම ඕන ද?’ කියල නැවතිලා තප්පරයක් හිතන්න පුළුවන් නං තේරෙයි, අපි ආසාවට එක්රැස් කරගන්නෙ අපිට අත්‍යවශ්‍ය ම දේවල් නෙමෙයි කියලා. ඕන දෙයක් ගන්නකොට මුලින් ම තියන එක්සයිට්මන්ට් එක ටික කාලෙකින් අඩු වෙලා යනවා. ඉතිං අන්තිමේදි වෙන්නෙ, තේරුමක් නැතුව බඩු ගොඩගැහිලා ගෙදර හැඩි වෙන එක. කොච්චර අස් කරත්, කොච්චර බඩු අයින් කරත් වැඩක් නෑ ඒ වෙනුවට තව තව බඩු එකතු වෙනව නම්!
2 දවසට එකක්
ගෙදර තියන බඩුමුට්ටු එක පාර අස් කරන්න අමාරුයි වගේ නං මේක තමයි ඒකට උත්තරේ. දොඩං ගොඩ බදාගත්ත වගේ ඔක්කොම එක පාර කරන්න ඕන නෑ. දවසට එක ගාණේ මොකක් හරි අනවශ්‍ය බඩුවක් ගෙදරින් බැහැර කරන්න. ලොකු ලොකු බඩු නොවෙන, ලේසි දේවල්වලින් පටන්ගන්න ඔයාට පුළුවන්. අඳින්නෙ නැති ඇඳුමක්, අඬු කැඩුණු කෝප්පයක් වගේ දේවල් මේකට උදාහරණ.
ටික දවසක් යද්දි තේරෙයි ඕන කියල හිතන් හිටපු ගොඩක් දේවල් නැති වුණාට අඩුවක් වෙලා නෑ කියල. මේ ක්‍රමෙන් ලේසියෙන් ම මාසෙට අනවශ්‍ය දේවල් 30ක් අයින් කරගන්න පුළුවන්. අවුරුද්දට දේවල් 365ක්! කාලයක් යද්දි නොදැනී ම අවශ්‍ය දේවල් විතරක් ඉතුරු වෙයි.
3 පස්සෙ ඕන වෙයි!
මේක තමයි ලොකු ම උගුල. අපි අවශ්‍ය නොවෙන ගොඩක් දේවල් ගබඩා කරල තියාගෙන ඉන්නෙ ‘දැන් නැතත් පස්සෙ ඕන වෙයි’ කියල. මෙහෙම ගොඩගහපු අවුරුදු ගණන් පරණ බඩු, ගෝනි ගණන් ගෙවල්වල තියනව ඔයාල දැකල ඇති. හිතපු විදිහට ඒව කවදාවත් ඕන වෙලත් නෑ, හැබැයි විසි කරන්නත් ලෝබයි!
අද ඉඳන් මොකක් හරි විසි කරන්න ලෝබ හිතුණොත්, මේ භාණ්ඩය නිසා මම ඇත්තට ම සතුටු වෙනව ද, මම මේක පාවිච්චි කරනවද, මේ වෙනුවට පාවිච්චි කරන්න වෙන දෙයක් නැද්ද, වගේ දේවල් ටිකක් හිතමු ද? එතකොට පුළුවන් ගෙදර වගේ ම හිතත් පිරිසිදු කරගන්න.
4 තෑගි
හැම ගෙදරක ම වගේ අනුන් දීපු තෑගි, පාවිච්චි නොකරන බඩුභාණ්ඩ බවට පත් වෙලා ගේ මුල්ලට විසි වෙලා දූවිලි බැඳිල තියනව දැකල ඇති නේ. ආදරේ, හිතවත්කම පෙන්නන්න දීපු තෑගි නිසා විසි කරල දාන්නත් බෑ. හැබැයි ඇති වැඩකුත් නෑ. ඉතිං මොකද කරන්නෙ!
තෑගි කියන්නෙ භෞතික දේවල් කියල අපි හිතන් හිටියට, ඇත්තට ම හොඳ ම තෑගි කියන්නෙ භෞතික දේවල් නෙමෙයි! එහෙම අලුත් විදිහෙ තෑගි කීපයක් ගැන මෙන්න මේ ලිස්ට් එකේ තියනවා. ඔයාටත් මේ වගේ තෑගි දෙන්න පුළුවන් නම් ඔයා කැමති බව සාමාන්‍යයෙන් ඔයාට තෑගි දෙන අයට දනවන්න පුළුවන් නම් මරු! අනික් අතට ඔයා කාටහරි තෑග්ගක් දෙනකොටත්, වැඩකට නැති ඕනමන්ට්ස් වගේ දේවල් දෙනව නම් දෙපාරක් හිතන්න.
5 අනුන්ගෙ බඩු
අනුන්ගෙන් ඉල්ලගෙන, ගෙදර ගොඩ ගහගෙන ඉන්න බඩු ආපහු එයාලට ගිහින් දෙන්න. සමහර විට ඒ දේ ඔයා ළඟ කියල එයාලට අමතකත් ඇති. ඒත් කමක් නෑ, අනුන්ගෙ දෙයක් ඉල්ලගෙන ආව කියන්නෙ ඔයා පවරගත්ත වගකීමක්. ඉතිං ඒ වගකීමෙන් නිදහස් වෙන්න. උදාහරණයක් විදිහට, කියවල දෙන්නම් කියල අනුන්ගෙන් ඉල්ලගත්ත පොත් කියවල ඉවර නම් ගිහින් දෙන්න. කියවන්නෙ නැත්තං ඒත් ගිහින් දෙන්න. මේ පියවර අනුගමනය කළාම හිත් නොහොඳකම් අවම කරගන්නත් පුළුවන්.
එක දවසින් මුළු ගේ ම අස් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න ඕන නෑ. ටිකක් කල් අරං මේ පියවර 5 අනුගමනය කරල ගේ පිරිසිදු කරගන්න. ගෙදර බඩු අඩුවෙන් පිළිවෙළට නිදහසේ තියනකොට ඔළුවත් නිදහස් වෙයි…