කොරෝනා නිවාඩුව ගෙවමින් කම්මැලිකමේ ඈලිමෑලි වෙවී ද ඉන්නෙ? එහෙනං අනිවාර්යයෙන් කරන්න ඕන වැඩක් මේ.
කාමරේ අස් කරගමු ද?
ගෙදර ම ඉන්න මේ දවස් තමයි ඒකට හොඳ ම වෙලාව. මීට වඩා හොඳ අවස්ථාවක් ආයේ එයි ද කියල ෂුවර් නෑ ඒ වැඩේට. ඔයත් කාමරේ පිස්සන් කොටුව වගේ කියල නිතර ගෙදර අයගෙන් බැනුම් අහන කෙනෙක් නං, ඇත්තට ම අස් කරන්න ඕනෑකමත් තියනවා නං, ඒත් අස් කරන්න පටන්ගන්නෙ කොහෙන්ද කියල හිතාගන්නත් බැරි නං, ඔයාටයි මේ පුංචි උපදෙස් ටික..
1 ඇඳෙන් පටන්ගන්න
සාමාන්‍යයෙන් කාමරේක වැඩි ඉඩක් යන්නෙ ඇඳට නේ. ඒ නිසා ඇඳ අස් වුණා කියන්නෙ සෑහෙන කොටසක් ඉවර කරගත්ත කියන එක. ඇඳ උඩ දැනට තියන බඩුමුට්ටු තෝර තෝර ඉන්න අමාරු නම් ඔක්කොම එක ගොඩකට බිමට දාන්න. පස්සේ පුළුවන් වෙන් කරන්න. මුලින් ම ඇඳ පිරිසිදු කරගත්තම ඒ ඒ තැන්වලට යන්න ඕන බඩු වෙන වෙන ම ගොඩවල්වලට වෙන් කරන්නත් ඇඳ පාවිච්චි කරන්න පුළුවන්.
2 හිස් කරන්න
ඇඳ හිස් කරලා ඉවර වුණාම ටික ටික කාමරේ බඩු එළියට දාන්න පටන්ගන්න. තාමත් විසි කරන, නොකරන ඒවා තෝරන්න අවශ්‍ය නෑ. මුලින් ම කාමරේ හිස් කරගන්න එකයි වැදගත්. බඩු ඔක්කොම එළියට දාල කාමරේ අතුපතු ගාල මොප් කරලා පිරිසිදු කරගන්න. ඊටපස්සේ බලමු අර බඩු ලෝඩ් එකට මොකද කරන්නේ කියල.
3 ගොඩවල් දෙකක්
ඔන්න දැන් කාමරේ හිස්. නැත්තං සෑහෙන දුරට පිරිසිදුයි. දැන් තමයි බඩු ලොට් එකත් එක්ක ඔට්ටු වෙන්න තියන වෙලාව. මුලින් ම කරන්න ඕනේ ලොකු බාස්කට්/ වට්ටි/ පෙට්ටි දෙකක් ගන්න එක. ඒවා මදි වගේ නං පැදුරු දෙකක් හරි කමක් නෑ. අපි බඩු ටික ගොඩවල් දෙකකට වෙන් කරන්නයි හදන්නේ. ඔයා ගත්ත පෙට්ටි දෙක බිමින් තියල වැඩේ පටන්ගන්න. එක ගොඩක් නැවත කාමරේට යා යුතු දේවල්. අනික් ගොඩ නැවත කාමරේට නොයා යුතු දේවල්. තේරෙනව නෙ දැන් කරන්න ඕන දේ? අර බඩු ගොඩ ටික ටික අස් කර කර මේ ගොඩවල් දෙකට වෙන් කරන්න.
4 නැවත අසුරන්න
දැන් තියනවා බඩු ගොඩවල් දෙකක්. මේකෙන් කාමරේට නොයා යුතු බඩු ගොඩ ටිකකට අමතක කරලා, කාමරේට යා යුතු බඩු ටික අස්පස් කරන විදිහ බලමු. මේ ගොඩට අයිති ලොකු ලොකු බඩු තියන්න, ඔයාට ඒවට ම වෙන් කරපු තැන් ඇති. ඒ ඇර අනික් පොඩි පොඩි බඩු පිළිවෙළින් අහුරන්න. පුංචි පුංචි දේවල් නැති නොවෙන්න පිළිවෙළට අඩුක් කරන්න ලස්සන පොඩි පොඩි බොක්සස් පාවිච්චි කරන්න. එක ගොඩේ ගොඩ ගහල තිබ්බ දේවල්, ඒවට නියමිත තැන්වලට යනකොට කාමරේ පෙනුම බලන් ඉද්දි ලස්සන වෙන හැටි දැන් ඔයාට බලාගන්න පුළුවන්.
5 විසි කරන්න බැරි නං..
දැන් බලමු කාමරේට නොයා යුතු බඩු ගොඩට මොකද කරන්නේ කියල. ඔයාගේ කාමරේ නොවන, වෙන කාමරවලට, සාලෙට, කුස්සියට, කෑම කාමරේට, පොත් රාක්කෙට එහෙම අයිති දේවල් ඒ අදාළ තැන්වලින් ගිහින් තියන්න. විසි කරන්න පුළුවන් පරණ සහ අනවශ්‍ය බඩු, දෙපාරක් නොහිත විසි කරන්න. මොකද ඕනවට වැඩිය හිතුවොත්, පස්සේ ඕන වෙයි කියල ලෝබ හිතලා ඔයා ආයෙමත් ඕව ගොඩ ගහගන්නවා.
දැන් ඔන්න ඉතුරු වෙන්නේ ගෙදර කොහෙවත් තියන්නත් බැරි, විසි කරන්නත් බැරි බඩු.. බොහොම පොඩි ප්‍රමාණයක්. මේවට මොකද කරන්නේ? ඔයා ඒවා පාවිච්චි කරලා ඉවරයි නං, තව කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙක තියනවා නං, හොඳ ම දේ කාටහරි දෙන එක. ඒ විදිහට කාටහරි දෙන්න පුළුවන් බඩු තෝරලා වෙන් කරල තියලා, මතක ඇතිව ඩොනේට් කරන්න. අමතක වුණොත් ආයෙත් ඒවා ගේ ඇතුළෙ කොහෙහරි තැනක ගොඩ ගැහෙයි.
ඉතින් මේ විදිහට කාමරේ අස්පස් කරගත්තට පස්සේ හිතටත් සනීපයක් දැනෙයි. ඒ විතරක් නෙමෙයි, වෙනදට වඩා හොඳට නින්දත් යයි. කරල බලන්නකො බොරු ද කියල!