චොක්ලට් බිස්කට් පුඩිං!
මතක් වෙද්දිත් කටට කෙළ උනන රස ම රස ශ්‍රී ලංකන් ඩෙසට් එකක් නේ. ශ්‍රී ලංකන් වෙන්න කලින් මේක අපිට ආවෙ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙදි කියලයි ආරංචි. කොහොම වුණත් දැන් ඉතින් මේක ‘අපේ’ කෑමක්. ඒ හින්ද හදන්නෙත් අපිට ඕන විදිහට!
කිව්වට මොකද චොක්ලට් බිස්කට් පුඩිං හැදීම හරි ම ලේසි වැඩක්. බේක් කරන්න උයන්න පිහන්න ඕනෙ නැති හින්දා අවන්, කුකර්, බ්ලෙන්ඩර් අනංමනං ඕනෙ ම නෑ. හදාගන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑනේ. උපරිම පැය බාගයයි. ඒකත් අර ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියල කූල් පිට කන්න ඕනේ හින්දයි.
ඉතින් මේක අමුත්තෙක්, නෑදෑයෙක් ගෙදරට එනකොට වැඩිය වෙහෙස මහන්සි නොවී සංග්‍රහ කරන්න එහෙම කියාපු අතුරුපසක්. පොඩ්ඩෝ වුණත් ආස ම කෑමක් නේ.
එහෙනං වැඩි කයිවාරු නැතුව හදන විදිහ බලමුකො.
අවශ්‍ය ද්‍රව්‍ය
මාගරින් ග්‍රෑම් 250ක්
අයිසිං ෂුගර් ග්‍රෑම් 500ක්
කොකෝවා පවුඩර් මේස හැඳි 3 – 4ක්
බිත්තරයක්
වැනිලා තේ හැන්දක්
මාරි බිස්කට් පොඩි පැකට් 3 – 4ක්
කිරි ටිකක්
කජු කෑලි ටිකක්
හදන විදිහ
ඉස්ඉස්සෙල්ලා ම මාගරින් ටික භාජනේකට දාල හොඳට බීට් කරගන්න. ක්‍රීම් එකක් වේගෙන එනකොට අයිසිං ෂුගර් එකතු කරන්න. ආයෙත් හොඳට බීට් කරලා කොකෝවා පවුඩර් ටික මිශ්‍ර කරන්න. හොඳ ක්‍රීමි ගතියක් එනකොට බිත්තරය සහ වැනිලා තේ හැන්ද මිශ්‍රණයට එකතු කරන්න. නැවත හොඳින් බීට් කරන්න. දැන් දුඹුරු පාට ලස්සන ක්‍රීම් එකක් ලැබිලා ඇති.
දැන් භාජනයක් අරං (වීදුරු භාජනයක් නම් වඩාත් හොඳයි. එතකොට පුඩිමේ බිස්කට් සහ චොක්ලට් තට්ටු ලස්සනට එළියට පේනව නේ.) ඒකට චොක්ලට් ක්‍රීම් එකෙන් ටිකක් දාල හොඳින් අතුරගන්න. වෙනත් භාජනේකට කිරි ටිකක් (පිටි කිරි හෝ දියර කිරි) දාලා මාරි බිස්කට් ඒකෙ පොඟවන්න. දැන් අර චොක්ලට් ක්‍රීම් තට්ටුව උඩින් පොඟවපු බිස්කට් ලේයර් එකක් අතුරන්න.
බිස්කට් පොඟවද්දි බලාගෙන! මාරි බිස්කට් ඉක්මනින් පෙඟෙන නිසා වැඩි වෙලාවක් කිරිවල තියෙන්න දෙන්න එපා. එතකොට කැඩිලා අහක යන්න පුළුවන්. ඒ හින්ද කිරිවල දාපු ගමන් ගන්නව නං තමයි හොඳ.
ඉතින් මේ විදිහට ක්‍රීම් ලේයර් එකයි බිස්කට් ලේයර් එකයි මාරුවෙන් මාරුවට අතුරගන්න. ඔයාගෙ භාජනේ උසේ සහ පළලේ ප්‍රමාණය අනුව ලේයර්ස් ගාණ වෙනස් වෙන්න පුළුවන්. අන්තිමට උඩින් ක්‍රීම් ලේයර් එකක් අතුරලා ඊට උඩින් කජු කෑලි ටිකක් ඉහින්න. එතකොට පෙනුම තරු පහයි. දැන් පැය බාගයක් ෆ්‍රීසර් එකේ තියන්න.
පැය බාගෙකින් පස්සෙ තියෙන්නෙ රස කර කර රස බලන්න!
ඇල්කොහොල් ඉන්ෆියුස්ඩ් චොක්ලට් බිස්කට් පුඩිං!
චොක්ලට් බිස්කට් පුඩිමට ඇල්කොහොල් ගතියක් එනවට කැමති අයට අත්හදා බලන්න පුළුවන් ක්‍රමයක් මේ.
බටර්, අයිසිං ෂුගර්, කොකෝවා පවුඩර් මිශ්‍රණය හදාගන්නකොට ඒකට බ්‍රැන්ඩි හෝ රම් ස්වල්පයක් එකතු කරන්න. එතකොට පුළුවන් හැම දාම කන පුඩිමට වෙනස්, අලුත් රහක් දෙන්න.
චොක්ලට් බිස්කට් පුඩිං වෙනස් වෙනස් රසට හදන තව ක්‍රම ඕගොල්ලො දන්නව නං අපිටත් කියන්නකෝ..