ආහාර නාස්තිය කියන්නෙ මුළු ලෝකෙට ම එක වගේ බලපාන, ඒත් තාමත් හරියට අවධානය ලැබිල නැති බරපතළ ගැටලුවක්. කෑමබීම අපතේ යැවීමෙන් මුදල් නාස්ති වෙනව විතරක් නෙමෙයි, පරිසරයත් දූෂණය වෙනවා. නිවැරදිව බැහැර නොකරන අපද්‍රව්‍ය නිසා නිපදවෙන මීතේන් වායුව ලෝකයේ කාලගුණ වෙනස් වීම්වලට දරුණු ලෙස බලපානවා.
මේ දිනවල උද්ගත වෙලා තියන කොරෝනා ව්‍යාප්තියත් එක්ක තනි පුද්ගලයන්ගේ විතරක් නෙමෙයි, මුළු රටේ ම ආර්ථිකය අයහපත් අතට හැරිලා. තව මාස ගණනක් යනකන් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් බවට ඉඟියක් වත් පළ වෙන්නෙ නෑ. මේ නිසා ආහාරපාන ඇතුළු ඔබේ නිවසේ එදිනෙදා වියදම් පාලනය කරගන්න ඔබ දැන් ම ඉඳන් ම කටයුතු කරන එක නුවණට හුරුයි.
අපි කලින් කිව්ව වගේ, ගෙදර නිතර කෑමබීම අපතේ යනව කියන්නේ මුදලුත් අපතේ යනව කියන එක. මේ ලිපියෙන් අපි කියන්න උත්සාහ කරන්නෙ නිවසේ සිද්ධ වෙන එදිනෙදා කෑමබීම නාස්තිය අවම කරගන්න අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රම 7ක් ගැන..
ආහාර නිවැරදිව ගබඩා කරන්න
ඉස්ඉස්සෙල්ලා ම කරන්න ඕන හරියට කෑමබීම අසුරලා තියන විදිහ ගැන දැනුවත් වෙන එක. නිවැරදිව ගබඩා නොකිරීමෙන් පැහෙන්න කලින් ඉදීම, නරක් වීම වගේ තත්ත්වයන්ට මූණ දෙන්න සිද්ධ වෙන්න ඉඩ තියනවා. සමහර එළවළු, ලූනු, තක්කාලි, සුදු ලූනු, පිපිඤ්ඤා, අල වගේ දේවල් කාමර උෂ්ණත්වයේ තමයි ගබඩා කරන්න ඕන. ඒ වගේ ම කුළුබඩු වගේ ජාති වාතයට විවෘත නොවෙන විදිහට බඳුන්වල අසුරන්න ඕන.
කෙසෙල්, අලිගැටපේර, අඹ වැනි පලතුරු ඉදීමේ දී එතිලීන් වායුව බහුලව නිෂ්පාදනය කරන නිසා ඒවා එතිලීන් වායුව නිපදවන්නේ නැති පලතුරුවලින් වෙන් කොට ගබඩා කළ යුතුයි. එහෙම නැතිව එකට ඇසිරුවොත් එතිලීන් වායුව නිපදවන්නේ නැති පලතුරු නරක් වෙන්න ඉඩ තියනවා.
ආහාර කල් තබා ගැනීමේ ක්‍රම ගැන දැනුවත් වෙන්න
ආහාර කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය කිරීමෙන් ආහාරවල ආයු කාලය වැඩි වෙනව විතරක් නෙමෙයි, ඒවට අලුත් රසකුත් එකතු වෙනවා. වැඩිපුර තියන දෙහිවලට සහ අඹවලට ලුණු දාල, ලුණු දෙහි සහ ලුණු අඹ බවට පත් කරලා කල් තියාගන්න පුළුවන්. ඒ වගේ ම මාළු වියළීමෙන් කරවල බවට පත් කිරීමත් කල් තියාගැනීමේ ක්‍රමයක්. තව දකුණු පළාතේ උදවිය අතරෙ ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි ජාඩි දැමීම. මාළුවලට ගොරකයි ලුණුයි දාල කල් තියාගැනීම තමයි ඒකෙදි සිද්ධ වෙන්නෙ.
මස් වර්ග කල් තියාගැනීම සඳහා බොහෝ විට කෙරෙන්නේ ස්මෝක් කිරීම හෝ මීපැණිවල බහාලීම. මේ මීපැණිවල දාන ක්‍රමය වැදි ජනතාව අතරේ ප්‍රකට ක්‍රමයක්. සීනි දමා තැබීම මඟින් පලතුරු කල් තියාගන්න පුළුවන්. (ජෑම්/ චට්නි සෑදීම) කිරි නරක් වෙන්නේ නැතුව තියාගන්න ක්‍රමය තමයි කිරිවලින් යෝගට් හෝ මුදවපු මීකිරි හැදීම.
මීට අමතරව අච්චාරු දානවා කියන්නෙත් එළවළු/ පලතුරු කල් තියාගන්න හොඳ ක්‍රමයක්. කොස් ඇට වගේ ඇට ජාතිවල ආයු කාලය වැඩි වෙන්න නං වැලි යට දාන්න. ආහාර කල් තබාගැනීම ගැන තවත් විස්තර දැනගන්න කැමති නං මේ ලිපිය කියවන්න.
ශීතකරණය පිළිවෙළ කරගන්න
අවශ්‍ය අඩුවැඩිය සියල්ල ෆ්‍රිජ් එකේ ගබඩා කරගත්තම මේ වගේ කාලෙක සෑහෙන ප්‍රයෝජනවත්. හැබැයි ගබඩා කරද්දි පිළිවෙළට අසුරන්න අමතක කරන්න එපා. ඒ කියන්නේ කලින් ගෙනාපු දේවල් ඉස්සෙල්ලා පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට අසුරන්න. වැඩිපුර තියන දේවල් පිටිපස්සට කරලා අඩුක් කරන්න. කෑමබීම නරක් නොවෙන්න, පරණ නොවෙන්න, අපතේ නොයන්න නං ෆ්‍රිජ් එක පිළිවෙළට තියාගන්න එක ඉතා ම වැදගත්.
ඉතිරිය ඉතිරි කරන්න
ඉතිරි වෙන කෑම එවෙලේ ම විසි කරන්නෙ නැතිව, අරන් තියන්න. උදාහරණයක් විදිහට එක වේලකට උයපු බත් ඉතුරු වුණොත් ඒ බත් ටික පෑන් එකකට දාල එළවළුවක් දෙකක්, බිත්තරයක්, ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරල තෙම්පරාදු කරලා, ඊළඟ වේල විදිහට ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න ඔබට පුළුවන්. හදන්නත් ලේසියි, වැය වෙන අඩුමකුඩුමත් අවමයි, ව්‍යංජන ගොඩක් හදන්න ඕනෙත් නෑ.
නිර්මාණශීලී වෙන්න
නරක් වෙන්න ඔන්න මෙන්න තියන එළවළු ටිකක් තියනව කියමුකෝ. දැන් මොකද කරන්නෙ? එහෙම පිටින් ම විසි කරලා දානවද නැත්තං ප්‍රයෝජනයක් ගන්නවද? ඔක්කොම එකට දාල හත් මාළුවක්/ සුප් එකක් වගේ අලුත් නිර්මාණයක් කරන්න හොඳ ම වෙලාව තමයි ඒ. ඕන නං ඉන්ටනෙට් එකෙන් මේ වගේ දේවල් හදන්න රෙසිපි එහෙමත් ඕන තරං හොයාගන්න පුළුවන්.
පංගුවක ප්‍රමාණය
අද උයපු ප්‍රමාණයෙන් කොච්චරක් විසි කළා ද කියල අවධානයෙන් ඉන්න. හෙට ඒ පංගුව අඩු කරල උයන්න. ඒ විදිහට අහක යන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. කෑම බෙදාගන්නකොට වුණත් මේ ගැන හිතනවා නං වඩාත් හොඳයි. කෑම ඉතුරු කරගන්න වගේ ම තමන්ගේ ශරීර සෞඛ්‍යය රැකගන්නත් එතකොට පුළුවන් වේවි.
ගෙදර හදන සුප්
වැඩිපුර තියන එළවළු කොටස්, මස් කෑලි වගේ දේවල් විසි නොකර, ඒවා පාවිච්චි කරලා ගෙදර දී ම රහට බ්‍රොත් එකක් එකක් හදාගන්න ඔබට පුළුවන්. පස්සේ මේක සුප් එකක් බවට හරවන්න වගේ ම, බත් උයන්න පාවිච්චි කරන්නත් හැකියාව තියනවා. ඒ විතරක් ද? ඉතිරි කොටස් බ්‍රොත් එකක් බවට පත් කිරීමෙන් ෆ්‍රිජ් එකේ ඉඩ ඉතුරු කරගන්නත් ලැබෙනවා.