ඉස්සර කවුරු හරි අපෙන් ‘කොහොමද’ කියල ඇහුවම අපි සාමාන්‍යයෙන් උත්තර දෙන්නෙ ‘හොඳයි’ කියල නෙ. හැබැයි දැන් සාමාන්‍යයෙන් කවුරු හරි ‘කොහොමද’ කියල ඇහුවම අපිට කියවෙන්නෙ ‘වැඩ තමයි’ නැත්තං ‘බිසී මචං’ වගේ එකක්. ඒ තරමට ‘බිසී’ කියන එක දින චර්යාවෙ ම කොටසක් වෙලා. හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැති තරමට වැඩ.
වැඩක නොයෙදී, රස්සාවක් නොකර ජීවත් වෙන්න බෑ තමයි. ඒත් මේ අනික් අයට පෙන්නන තරම්ම අපි හැබෑටම කාර්යබහුල ද? මේ වෙද්දි වෙලා තියෙන්නේ ඇත්තටම බිසී වෙනවටත් වඩා, අපි බිසී කියල අපිටම සහ අනික් අයට ඔප්පු කරන්න අපි උත්සාහ කරමින් ඉන්න එක.
ඉතින් අපි පොඩ්ඩක් මේ කාර්යබහුලකමෙන් මිදිලා නිවාඩුවක්, විවේකයක් ගන්න උත්සාහ කළත් ඒක කරගන්න බැරි වෙන අවස්ථා බොහොමයි. අපේ කර පිට පැටවිලා තියන අනිවාර්ය වගකීම්, යුතුකම් හැරුණාම, බෑ කියන්න බැරි අවස්ථා, අපේ පුරුදු එහෙමත් මේකට හේතු වෙනවා. ඉතින් කාර්යබහුලකමෙන් ගැලවෙන්න ගන්න ඕන පුංචි පියවර 7ක් තමයි මේ තියෙන්නේ. මේ පියවර කීපය පුංචි වුණාට මේවා අනුගමනය කරන්න පටන්ගත්තාම ජීවිතේ ලොකු වෙනසක් වෙයි.
1 කාර්යබහුල වීම තෝරාගැනීමක්.
කාර්යබහුල වෙනවා කියන්නෙ තෝරාගැනීමක් බව තේරුම්ගන්න එක තමයි පළමුවෙනි පියවර. බිසී වෙනවා කියන්නෙ අපි ගන්න තීරණයක්. කවුරුත් අපි මත බලෙන් පටවපු එකක් නෙවෙයි. අපේ කාලසටහන් හදාගන්නෙ අපිමයි. අපි කරන රස්සාව තෝරගන්නෙ අපිමයි. ඒවයෙ වෙනස්කමක් කරනවා නම් කරන්න පුළුවන් අපිටමයි.
2 බිසී වීම වර්ණනා කරන්න එපා.
‘මම මාර බිසී අනේ මේ දවස්වල’ කියල අනික් අයට කියන හුඟක් දෙනා උත්සාහ කරන්නෙ තමන්ගෙ කාර්යබහුලකම උත්කර්ෂයට නඟන්න. ඒක ගෞරවයක් විදිහට හුවා දක්වන්න. හැබැයි බිසී කියන්නෙ එහෙම වර්ණනා කරන්න ඕන දෙයක් නෙවෙයි. තමන්ගෙ වැඩ ටික නියමිත වෙලාවට කරලා, නිසි විවේකයකුත් ලබලා, සතුටින් සැහැල්ලුවෙන් ඉන්න එකයි ඇත්ත ම ආඩම්බරයට කාරණය.
3 විවේකය සීරියස් ගන්න.
එක දිගටම රාජකාරිවල නිරත වෙන්න පුරුදු වෙලා ඉන්න අය තමන්ට රෙස්ට් එකක් අවශ්‍යයි කියන කාරණය ගැන ඒ තරම් තැකීමක් දක්වන්නෙ නෑ. ඒත් විවේකයත් දවසේ කාලසටහනේ කොටසක් කරගන්න එක ගතට, හිතට වගේ ම නිරෝගී ජීවිතයකට වැදගත්. අනික් දේවල්වලට වගේ ම විවේකයටත් දින චර්යාවේ ප්‍රමුඛ තැනක් දෙන්න. සතියේ දින පහ ම වැඩ කරලා වීක්එන්ඩ් එකෙත් වැඩ කරන්නෙ නැතිව, සතියකට එක දවසක් හරි සම්පූර්ණයෙන් විවේක ගන්න වෙන් කරන්න.
4 ප්‍රමුඛතා ගැන නැවත හිතන්න.
ඔබ දවසේ ප්‍රමුඛතාව ලබා දීලා තියෙන්නේ මොනවට ද කියන එක ගැන නැවත වතාවක් හිතා බැලීම වැදගත්. අත්‍යවශ්‍ය ම දේවල් මුල් තැන තියලා අනවශ්‍ය කාර්යයන් කපා හරින්න එතකොට පුළුවනි. අපි නොදැනුවත්ව, වැඩිය හිතන්නේ මතන්නේ නැතිව වැඩකට නැති දේවල්වලට බොහෝ කාලය වැය කරනවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්ක්‍රීන් ටයිම් එක. අපි වැඩි දෙනෙක් දවසේ බොහෝ වෙලාවක් ෆෝන් එක සහ කම්පියුටර් එක දිහා බලාගෙන ගෙවනවා. සෝෂල් මීඩියාවලට දන්නෙම නැතුව කාලය වැය වෙනවා. ඒ ගැන දැනුවත්ව නිසි පරිදි ප්‍රමුඛතා කළමනාකරණය කරගැනීමෙන් ඒ කාලය ඉතිරි කරගන්න පුළුවන්.
5 බඩුමුට්ටු අඩුවෙන් පාවිච්චි කරන්න.
අපි පාවිච්චි කරන බඩුමුට්ටු පරිහරණය කරලා විතරක් මදි නේ, ඒවා නඩත්තු කරන්නත් ඕනේ. ඉතින් පාවිච්චි කරන බඩුමුට්ටු වැඩි වෙන්න වැඩි වෙන්න, ඒවා සඳහා වැය කළ යුතු කාලයත් ඉහළ යනවා. ඒ නිසා අත්‍යවශ්‍ය ම දේවල් මිසක් දකින දකින දේ මිලට ගන්න එපා. උදාහරණයක් විදිහට ඔෆිස් යද්දි ෆෝන් එක, ටැබ් එක, ලැප් එක, අයිපොඩ් එක වගේ ජාති ගොඩක් අරං යනවා කියල හිතන්නකෝ. දැන් මේ බඩුමුට්ටු ඔක්කොටම අදාළ වයර්, චාර්ජර්ස්, කේබල්, හෙඩ්සෙට් අනංමනං තොගයකුත් යන යන තැන එහෙට මෙහෙට අරන් යන්න, මේන්ටේන් කරන්න එපැයි. ඒ විතරක් ද, ඒවා නැති නොවෙන්න පරිස්සම් කරන්න ඕනේ. දූවිලි බැඳුණම පිහදාන්න ඕනේ. නිසි පරිදි ගබඩා කරන්න ඕනේ. වැඩ කෝටියයි. එතකොට ඔළුව යකාගේ කම්මල වෙලා තමයි නවතින්නෙ.
6 ඉඩ හදාගන්න.
වැඩ කරන අතරෙ ම හුස්මක් ගන්න ඉඩ හදාගන්න එක තියෙන්නේ ඔබේ අතේ. ඔෆිස් එකෙන් විනාඩි පහකට එළියට යන්න. ලන්ච් බ්‍රේක්, ටී බ්‍රේක් වෙලාවටත් ඇතුළට ම වෙලා නොඉඳ ටිකක් එළියට ගිහින් ගහකොළ මඟතොට මිනිස්සු දිහා බලන්න. දවස ම එක තැන වාඩිවෙලා ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉන්න එක ශරීරයටත් හොඳ නෑනේ.
7 ‘බෑ’ කියන්න පුරුදු වෙන්න.
ජීවිතේ එපාම වෙන අවස්ථාවක් තමයි ‘බෑ කියන්න බැරිකමට’ කරන්න වෙන දේවල්. යාළුවන්ගේ, නෑයන්ගේ හොඳහිත පළුදු කරන්න බැරි නිසා එයාල කියන දේවල්වලට එකඟ වෙන්න ගිහින් හිතේ සාමය නැති කරගන්න අවස්ථා අපේ ජීවිතේ බහුලයි. ඒත් එයාල හැබෑ හිතවතුන් නම් ඔබ යම් කිසිවකට එකඟ වෙන්න බෑ කියනකොට ඒක තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඒ වගේ දෙයකින් ඔවුන්ට අපිත් එක්ක තියන මිත්‍රකම පළුදු වෙනවා නං ඒක හැබෑ මිත්‍රකමක් නෙවෙයි. ඔබ ඔබට මුල්තැන දෙන්න. අනික් අය පිනවන්න සතුටු කරන්න ගිහින් ඔබේ ජීවිතේ කලබලය වැඩි කරගන්න එපා.